IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


ආර්ථික අභියෝග මහජන අපේක්ෂා

ශ්‍රී ලංකාව මේ වන විට පසු කරමින් සිටින්නේ සිය ආර්ථික ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකි. 2021 වර්ෂයේදී නිල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බව ප්‍රකාශ කිරීමේ සිට වරින් වර විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලනික මැදිහත්වීම් හමුවේ ශ්‍රී ලංකාව යථා තත්වයට පත්වීමට උත්සාහ කළේය.

එ‍හෙත්, දැඩි ගෙවුම් ශේෂ අර්බුදය, ස්වෛරී ණය පැහැර හැරීම් මෙන්ම 2022 දී මුහුණපෑ වාර්තාගත උද්ධමනය හමුවේ රටේ ආර්ථික පසුබිම ස්ථාවර කිරීම අභියෝගාත්මක ස්වරූපයක් ගැනිණි. එහිදී සාමාන්‍ය පුරවැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණපෑ අතර, විශේෂයෙන්ම ජීවන වියදම, රැකියා අවස්ථා අහිමි වීම්, ඉහළ බදු අනුපාතවලට මුහුණ දීම කැපී පෙනුණි.

මෙම ගැටලු‍ හමුවේ දැඩි පීඩනයකට පත් මහජනතාව පැවැතියා වූ පාලන ක්‍රමය හෙළාදකිමින් සිවිල් අරගල ආරම්භ කළ අතර, එහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2024 වර්ෂයේදී නව පක්ෂයකට පාලන බලය හිමි කරමින්, නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීම සිදු විය. ඉන් නොනැවතී නව ආණ්ඩුවක් පත් කරගැනීම සඳහා ඔවුන්ට ඓතිහාසික විජයග්‍රහණයක් තුනෙන් දෙකක බලයක් සහිතව ලබා දුන්නේය. විශේෂයෙන්ම, ඔවුන් ජීවන වියදම පහළ හෙළීම, නව රැකියා උත්පාදනය, නිෂ්පාදන ඉහළ දැමීම, අපනයනාභිමුඛ කර්මාන්ත සංවර්ධනය, ආනයන නීති ලිහිල් කිරීම, නව නීති රීතිවලින් සමන්විත කාර්යක්ෂම හා අදූෂිත පාලන තන්ත්‍රයක් මෙන්ම පෙර තත්වයට වඩා වෙනස් පරිපාලන සංස්කෘතියක් උදෙසා අපේක්ෂා සහගත විය.

එහෙත්, බලයේ රැඳී සිටින ආණ්ඩුවට ක්ෂණිකව පොදු ජන අපේක්ෂා සාක්ෂාත් කිරීම අභියෝගාත්මක කරුණකි. මන්ද යත්, 2023 වර්ෂයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වූ අතර, එහිදී ඔවුන් ලබා දුන් කොන්දේසි සමග වර්තමාන ආණ්ඩුවට ඉදිරි පරිපාලන කටයුතු සිදු කරගෙන යාමට සිදු වී තිබීමයි. මෙම තත්වය හමුවේ පවත්නා ආණඩුවට ජනතා අභිලාෂ සියයට 100ක් ඔවුන් අපේක්ෂිත ආකාරයෙන් ඉටු කිරීම අපහසු වී ඇති අතර, ආණ්ඩුව ජනතා අපේක්ෂා සපුරාලීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කොන්දේසි අතර දෝලනය වෙමින් පවතී. අනෙක් අතට, පොදු ජනතාව තම ගැටලු‍ සඳහා අපේක්ෂා කළ ක්ෂණික ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඉච්ඡා භංගත්වයට පත්වී ඇති බවක් දැකගත හැකි වේ.

 

ඉහළ ජීවන වියදම

ලාංකීය කුටුම්භ සඳහා පවත්නා වඩාත්ම දැවෙන ප්‍රශ්නය වන්නේ අධික ජීවන වියදමයි. 2022 වර්ෂයේ සියයට 45 ඉක්ම වූ අධි උද්ධමනයේ ප්‍රතිඵලය දෛනික ජීවිතයට දැඩි බලපෑමක් දිගින් දිගටම සිදු කරන ලද අතර, 2024 වර්ෂය වන විට එය යම් සැලකිය යුතු මට්ටමකට පහළ බැස ඇතත්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පවතින ඉහළ මිල ගණන් හමුවේ පැන නැගී ඇති ගැටලු‍ පූර්ව වර්ෂවලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එහිදී රුපියල වරින් වර අවප්‍රමාණය වීම, ගෝලීය අර්බුද හා ඔවුන්ගේ විවිධ ප්‍රතිපත්ති හමුවේ ඇති වන භාණ්ඩ මිල උච්චාවචන, ආනයන සීමා, වක්‍ර බදු පැනවීම හරහා ප්‍රධාන ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස් සහ ඖෂධ යනාදියෙහි මිල අධික වී ඇත. විශේෂයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලැබිය යුතු බදු ප්‍රතිපත්ති හඳුන්වා දීම හරහා භාණ්ඩ හා සේවාවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම සිදු විය. 2022 ජූනි 1 වැනිදාට පෙර සියයට 8ක එකතු කළ අගය මත බදු අනුපාතයක් පවත්වාගෙන ගිය ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමග අනුගත වීම සඳහා 2024 ජනවාරි 1 වැනිදා සිට බලපවත්නා පරිදි එය සියයට 18 දක්වා ඉහළ අගයක් කරා රැගෙන ගොස් ඇත. මේ හරහා ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාමකට මහජනතාවට මුහුණපෑමට සිදු වී ඇත. එසේම, 2025 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන ඩිජිටල් සේවා සඳහා සියයට 18ක වැට් බද්ද සමග තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍ර දැඩි අර්බුදයකට මුහුණපා ඇත.

 

විරැකියාව සහ රැකියා අනාරක්ෂිත බව

කොවිඩ් 19 වසංගතයත් සමග විශාල පිරිසක් සේවා වියුක්ති තත්වයට පත් වූ අතර, මෑතකාලීනව විශේෂයෙන්ම තරුණයන් සහ උපාධිධාරින් අතර මෙම තත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2024 මුල් කාර්තුව තුළ සේවා වියුක්ති අනුපාතය සියයට 4.5ක් විය. එය තරුණ ප්‍රජාව නියෝජනය කරන වයස අවුරුදු 25-29ත් අතර සියයට 22.3ක කැපී පෙනෙන අගයක් සනිටුහන් කර ඇත. මෙවන් පසුබිමක් තුළ විශාල බුද්ධි ගලනයකට ශ්‍රී ලංකාවට මුහුණපෑමට සිදු විය. විශේෂ වශයෙන්, ආසන්න වසර කිහිපය තුළ 300,000කට අධික පිරිසක් වඩාත් ස්ථාවර සහ වෘත්තීය දියුණුව අපේක්ෂාවෙන් වෙනත් රටවල් කරා ගමන් කර ඇත.

පවත්නා ආර්ථික පසුබිම හරහා පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය කිරීමේ හැකියාව අඩු වීම, ඇඟලු‍ම් සහ තේ වැනි අපනයන කර්මාන්ත පහත හෙළීමත් සමග රාජ්‍ය අංශයේ රැකියා පුළුල් කිරීම සඳහා රජය වෙත දැඩි පීඩනයක් මහජනතාවගෙන් එල්ල වී ඇත. විශේෂයෙන්, උසස් අධ්‍යාපනය ලැබූ පිරිස් සඳහා යෝග්‍ය රැකියා අවස්ථා නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවක් පෙනී යයි. ඔවුහු නිරන්තරයෙන් ස්වකීය දැනුම උපයෝගි කරගත හැකි ඉහළ ප්‍රතිලාභ සහිත රැකියා අවස්ථා අපේක්ෂාවෙන් පසු වෙති.

 

ණය සහ මූල්‍ය පීඩනය

පොදු මහජනතාව බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ දෛනික කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා මහා පරිමාණ සුභසාධන වැඩසටහන් අපේක්ෂිතව කටයුතු කරනු ලැබේ. එහෙත්, මෙවැනි යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපාර සඳහා පවතින වාතාවරණය යටතේ අරමුදල් වෙන් කිරීමේ හැකියාව සීමාසහිතය. මන්ද යත්, ශ්‍රී ලංකාව ඉහළ රාජ්‍ය ණයවලින් මිරිකී සිටින කාලවකවානුවක් වශයෙන් මෙම කාල සීමාව හැඳින්විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලත් ප්‍රතිසංස්කරණ මගින් සාර්ව ආර්ථික ස්ථායිකරණ ඇති කිරීමේ ප්‍රයත්න අභිමුඛව සිටින රජය මූල්‍ය විනය, බදු ඉහළ දැමීම් සහ වියදම් පාලනය අවධාරණය කර ඇති පසුබිමක අනෙක් අතට ක්ෂණික සහන සහ සුභසාධන වැඩසටහන් සඳහා මහජනතාවගේ ඉල්ලීම් අතර ඔවුන් ආතතියට පත්වී ඇති බවක් දිස්වේ. මක්නිසාද යත්, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර ණය හිමියන් සමග සාකච්ඡා කිරීමත්, මූල්‍ය ප්‍රසාරණය සඳහා ඇති ඉඩකඩ සීමා වීමත් හරහා ජනතාවගේ අපේක්ෂා සමග මෙම තත්වය තුලනය කිරීම අතර උභතෝකෝටික ගැටලු‍වක් පැන නැගී ඇති බව පැහැදිලි වේ.

 

සමාජ සුබසාධන ඉල්ලීම්

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2023 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25.9ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇත. මේ සඳහා ශ්‍රම බළකා සහභාගිත්වයේ අඩු වීම කැපී පෙනෙන අතර, විශේෂයෙන්, කාන්තාවන් සහ නාගරික ප්‍රදේශවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වසා දැමීමෙන් මෙම තත්වය තවත් උග්‍ර වී ඇත. ඉහළ උද්ධමන අනුපාතිකයත්, විවිධ බදු ප්‍රතිපත්ති සමඟ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමත්, ආදායම් උත්පාදන අවස්ථා සීමාසහිත වීමත් මෙන්ම රැකියා විරහිතභාවය හේතුවෙන් කුටුම්භ බහුවිධ පීඩන සමග පොර බදමින් සිටී. සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය දක්වන පරිදි ලක්ෂ 1,894,140ක පමණ අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, 2025 ජූනි මාසය සඳහා 1,430,775ක් වූ ප්‍රතිලාභින් ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා ඇත. ඒ සඳහා රජය රුපියල් 11,339,507,500ක් වැය කර ඇත. මෙවැනි සංක්‍රාම ගෙවීම් පොදු ජනතාව නිරන්තරයෙන් අපේක්ෂා සහගත වේ. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා පියවර හේතුවෙන් සුභසාධන කටයුතු සඳහා වැය කපා හැරීම සිදු කළ යුතු වේ. ඒ හරහා අඩු ආදායම් ලබන ජනතාව යම් පීඩනයට ලක්ව සිටිති.

 

දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය

මහජන විරෝධතා හමුවේ 2022 වර්ෂයේ ඇති වූ දේශපාලන පෙරළියෙන් පසුව, රජයේ නායකත්වයේ වෙනසක් ඇති කිරීමට හේතු වූ අතර, ඒ හරහා මහජනතාව වර්තමානයේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙමින් සිටී. ඒ සඳහා ස්ථාවර නායකත්වයක් සහ ස්ථාවර ප්‍රතිපත්ති සම්පාදනය අවශ්‍යතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනු දැකගත හැකි වේ. එහෙත්, ප්‍රතිපත්තිවල නිරන්තර වෙනස්වීම්, ප්‍රතිපත්තිමය එකඟතාවක් නොමැතිකම නිසා මහජන විශ්වාසය පළුදු වී ඇත.

මේ අනුව පැහැදිලි වනුයේ, පවත්නා නෛතිකමය බැඳීම් හරහා ජනතා අභිලාෂ ක්ෂණික මුදුන් පමුණුවාලීමේ හැකියාවක් නොමැති බවය. විශේෂයෙන් පවත්නා ආණ්ඩුවට බලයට පත්වී කෙටි කාල සීමාවක් ගත වී තිබියදී පොදු ජනතාව අපේක්ෂිත ආර්ථික, දේශපාලන, සමාජ වෙනස්කම් ඇති කිරීම පහසු නොවේ. කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් අප ඉලක්කගත කරගත යුතු ප්‍රමුඛ කරුණකි. එනම්, 2027 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම් අවසන් වීමට නියමිතය. එතැන් සිට ස්වාධීනව ප්‍රතිපත්ති රාමුවක් ඇති කරගත යුතු අතර, එහිදී කාලීන හා නව්‍ය ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමත්, ජනතා අපේක්ෂා සපුරාලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත්, සුපිරිසුදු පාලන තන්ත්‍රයක් ඇති කිරීමත් අවශ්‍ය වේ. මේ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් ක්‍රමානුකූලව සකසන ලද ස්වයං රාමුවක් හරහා අපේක්ෂිත ආර්ථික ඉලක්ක ළඟා කරගන්නා ආකාරය සැලසුම් කිරීම වැදගත් වේ. ඒ අනුව නව උපායමාර්ගික සැලැස්මක් මගින් සෑම අමාත්‍යාංශයක් ඉලක්ක සහගත වැඩසටහන් යටතේ ඒකාබද්ධ ඉදිරි අවුරුදු 5 තුළ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ඒ සඳහා ක්‍රමානුකූල සහ නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දීමත්, මැනවින් ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය වේ. උදාහරණ ලෙස; කෘෂි අංශය සලකා බැලීමේදී හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති මගින් ආනයන සීමා කිරීමත්, අපනයන සංවර්ධනය කිරීමටත් අවශ්‍ය ඍජු ප්‍රතිපත්ති දැක්විය යුතු අතර, එහි අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව වඩාත් පුළුල් දැක්මකින් යුක්ත විය යුතු අතර, ඒවා මැනවින් සමාජගත කිරීම වැදගත් වේ. එසේම, අධ්‍යාපනික අංශය දෙස අවධානය යොමු කිරීමේදී විවිධ ප්‍රතිසංස්කරණ හරහා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ අපේක්ෂිත වෙනස්කම් පිළිබඳ නිසි අයුරෙන් සමාජ දැනුම්වත්භාවය ඉහළ නැංවිය යුතු වේ. එසේම, ස්ථාවර ප්‍රතිපත්තියක රජය කටයුතු කිරීම අනිවාර්ය වේ. එපමණක් නොව, ඉදිරි 2027 වර්ෂයෙන් පසු එළැඹෙන වසර කිහිපයක් තුළ විදේශ වත්කම් ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛ අවධානයක් ලබා දිය යුතුය. එහිදී විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා ආකාරයත්, දිගුකාලීන ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතු වේ.

එසේ වුව ද, මෙහිලා සැලකිය යුතු වැදගත් කරුණ වනුයේ, ඍජු මෙන්ම දෘඩ ප්‍රතිපත්ති රාමුවක් වෙත ළඟා වීමට වඩා පොදු මහජන අපේක්ෂා ද සලකා බලමින් ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමට කේන්ද්‍රගත වන අතර, සාර්ව ආර්ථික ස්ථායිකරණ ක්‍රියාවලියට අවශ්‍ය පසුබිම සකසන නම්‍ය ආකෘතියකට ප්‍රවේශ වීම යෝග්‍ය වන බවයි. එහිදී බහුවිධ අංශවල තිරසර සංවර්ධනය සලකුණු කළ යුතු වේ. විශේෂයෙන් අධ්‍යාපනය, සොඛ්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම අභිමුඛ කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගාසිටුවීම, අපනයන ශක්තිමත් කිරීමට යෝග්‍ය පසුබිම සකස් කිරීම, ධීවර අංශය නගාසිටුවීම වැනි දිගු කාලීන දැක්මකින් යුක්ත සහ ආර්ථික සංවර්ධන ඉලක්ක හා ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

(***)



අදහස් (0)

ආර්ථික අභියෝග මහජන අපේක්ෂා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 118 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1058 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site