IMG-LOGO

අල්ලස් දූෂණ මැඬීමට දේශපාලන වුවමනාවත් ඕනෑ

ශ්‍රී ලංකාවට අලු‍තෙන් හඳුන්වා දීමට නියමිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් කළේය. දූෂණ මර්දනයට නව පනතක් ගෙන ඒමට සිදු වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් නොවන නිසා බවත් එම කොමිසමෙන් ජනතාවට සේවයක් සිදු නොවන අතර එය විශ්‍රාම ශාලාවක් බවත් එම ප්‍රකාශයේ සඳහන් විය. අල්ලස් කොමිසමට පත් කෙරෙන පුද්ගලයන්ට තිබෙන බලතල පිළිබඳවත් ඔවුන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙනුත් ප්‍රශ්න තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

අල්ලස් කොමිසම විශ්‍රාම ශාලාවක් වශයෙන් හඳුන්වනු ලැබුවේ එයට පත් කෙරෙන සාමාජිකයන් වයස්ගත අය වීම හේතුවෙන් දැයි අපි නොදනිමු. එහෙත් එකී කොමිසමට ද සාමාජිකයන් පත් කෙරෙන්නේ පිළිගත් ක්‍රියා පටිපාටියට අනුවය. එහිදී පත්කරන ලද සාමාජිකයන් වයස්ගත ද ඔවුන් ස්වාධීන අය නොවන්නේ ද යන්න තෝරා බේරා ගැනීම ආණ්ඩුවේ වගකීමය. කොමිසමෙන් ජනතාවට සේවයක් නොවන්නේ නම් කොමිසම ඵලදායී කාර්යක්ෂම ආයතනයක් බවට හැරවීමේ හැකියාව තිබෙන්නේද ආණ්ඩුව අතේමය. අල්ලස් කොමිසම ආණ්ඩුවට නොව රටේ ජනතාවට වගකියන ආයතනයක තත්ත්වයට ඔසොවා නොතබන තාක් එයින් සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. අනවශ්‍ය ලෙස දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව තම රාජකාරිය ඉටු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හැකිනම් එය තවදුරටත් විශ්‍රාම ශාලාවක් හෝ ජනතාවට සේවය නොකරන ආයතනයක් වශයෙන් සැලකීමට අවශ්‍ය නොවනු ඇත.

මේ අඩුපාඩුකම් මගහැර ශක්තිමත් යාන්ත්‍රණයක් සහිත අල්ලස් කොමිසමක් ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් ගෙන එන ලද නව දූෂණ විරෝධී පනත ද පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත කෙරුණේ ඊට අදාළ සංශෝධන පසුව ඉදිරිපත් කිරීමට යටත්වය. මේ පනතේ ඇතැම් යෝජනාවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇති බවද ඒ සමග සඳහන් විය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අදාළ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමකින් තොරව එය සම්මත කිරීම නොකළ යුතු බව ද පෙන්වා දී තිබිණි. මේ සංශෝධන කොතරම් ඉදිරිපත් වුවත් සැබෑ දේශපාලන වුවමනාවකින් තොරව මේ රටේ මුල් බැසගෙන තිබෙන අල්ලස සහ දූෂණය මැඩ පැවැත්වීමට හැකියාවක් නැති බව යථාර්ථයයි. එම දේශපාලන වුවමනාව නැතිව ඉදිරිපත් කෙරෙන දූෂණ විරෝධී පනතක් යනු හුදු ලියැවිල්ලක් පමණක් වීම වළක්වා ගත නොහැක. අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි විශ්‍රාම ශාලාවක් නොවන ජනතාවට සේවයක් සලසන අල්ලස් කොමිසමක් බිහි වෙන්නේ සැබෑ ජනතාවාදී දේශපාලන අභිලාෂ සමඟ සම්මිශ්‍ර වූ ශක්තිමත් කෙටුම්පතක් නීතිගත කිරීමෙන් පමණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කිරීමට නම් කොමිසමට පැමිණිල්ලක් ලැබිය යුතුය. පැමිණිල්ලකින් තොරව කොතරම් රටට දැනෙන අල්ලසක් හෝ දූෂණයක් හෝ සිදුවුවත් ඒ පිළිබඳ විභාග කිරීමට කොමිසමට බලයක් නොමැතිවීම බලවත් අඩුපාඩුවකි. එසේම පැමිණිල්ලක් ලැබීමෙන් පසුව හෝ සිදු කෙරෙන විමර්ශනවල දී ඇතැම් විට සිදුවන්නේ ප්‍රකාශ සටහන් කර ගැනීම පමණි. එය අල්ලස් කොමිසම සම්බන්ධයෙන් මේ රට තුළ දීර්ඝ කාලීනව පවතින එක් මතයකි. ඒ සමඟ පසුගිය කාලයේ බොහෝ දුෂ්කරතා මැඩ ගනිමින් පවරන ලද ඇතැම් අල්ලස් හෝ දූෂණ චෝදනා නඩු තාක්ෂණික හේතු මත ඉදිරියට ගෙන යා නොහැකි විය. චූදිතයෝ නිදහස් කරනු ලැබූහ. රටේ අභ්‍යන්තරයටම කිඳා බැස තිබෙන අල්ලස, වංචාව සහ දූෂණය මැඩ පැවැත්වීම එවැනි ආකාරයේ දියාරු වගන්ති යටතේ ක්‍රියාත්මක වන අල්ලස් කොමිසමකින් බලාපොරොත්තු නොවිය යුතුය. එහිදී කොමිසමේ සාමාජිකයන්ට ඇඟිල්ල දිගු කිරීමෙන් පළක් වෙන්නේ නැත.

අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ දූෂණ මර්දනයට නව පනතක් ගෙන ඒමට සිදු වූයේ ඉහත කියන ආකාරයේ පවතින අඩුපාඩු මගහැරීම සඳහා බවය. අලු‍ත් පනතේ පැහැදිලි අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් බවත් පනත අවලංගු කළත් ඒ පනතේ තිබුණු ඕනෑම වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි. නව පනත සම්මත කිරීමෙන් පසුව පවතින නීතියේ තිබෙන ඕනෑම වරදක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එය එසේ විය යුතු බව අපගේද වැටහීමය.

(***)



අදහස් (3)

අල්ලස් දූෂණ මැඬීමට දේශපාලන වුවමනාවත් ඕනෑ

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Sunday, 16 July 2023 08:58 AM

මම වසර 12ක් පමණ සේවය අහිමි කර සිටි රාජ්‍ය නිලධාරියෙක්. කරපු අසාධාරණකම්, වංචාවන් සහ දූෂණයන් පිළිබඳ මේ වනවිට අල්ලස් කොමිසමට පැමිණිලි 25ක් විතර කරලා තියෙනවා. මම ගිහිං සාක්ෂි දුන් වාර ගණන ඊටත් වැඩියි. නමුත් එකම පැමිණිල්ලකටවත් වෙච්චි දෙයක් නැහැ. ඇත්තටම මේ කරන්නේ මහජන බදු මුදල් වලට කරන මහා අපරාධයක්... එක්කෝ මේවා විසුරුවා හරින්න. නැත්නම් හරියට වැඩේ කරන්න. මේ වනවිට මම දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අය නීති විරෝධි විදියට තීරුබදු රහිත වාහන බලපත් ලබාගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් වැඩක් වේවිද දන්නේ නැහැ.

:       0       4

cc Monday, 17 July 2023 09:28 AM

මේ රටට ගැලපෙන සැබෑවටම අල්ලස හා දූෂණය පිටුදැකිය හැකිවන ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට සැබෑවටම ආදරේ කරන රටට ආදරය කරන අනෙකාගේ දුක කඳුල හඳුනන අනෙකා කෙරෙහි සහකම්පනය ඇතිවන සැබෑ ජනතාවාදී අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට පමණි... එය මාලිමාව වටා ඒකරාශි වී ඇති උගත්, බුද්ධිමත් සෑම බලයට පත් රජයන් විසින් කළ කී දෑ පිළිබඳ හොඳ අත්දැකීම් සහිත දෑ හිතකාමී පිරිස විසින් නුදුරු අනාගතයේදී ඉටුකරනු ඇත්නම් එය මේ රටේ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ප්‍රගමනයේ හැරවුම් ලක්ෂය වනු ඇත. කිසිදිනක දේශපාලනය, ආකර්ශණීය රැකියාවක් කරගෙන රටේ මහජන ධනය හොරාකන සොරුන්ගෙන් කිසිඳු දිනක අල්ලස හා දූෂණය පිටුදැකිය හැකි සැබෑ යාන්ත්‍රණයක් බිහිවීම සිතීමටවත් නොහැකි සැබෑ නොවන දවල් සිහිනයකි. මොවුන් දූෂණ විරෝධී පනත් හදයි... එයින් පොදුජනයා රවටයි, අන්දයි, ජාත්‍යන්තරයද අන්දයි... නමුත් කිසිදිනක අල්ලස, දූෂණය, සම්පත් අවභාවිතය, වංචාව, හොරකම තිබුණාටත් වඩා හොඳින් සිදුවනු ඇත. රටේ අසරණ ජනයා තවදුරටත් දුක්විඳිනු ඇත. මෙය මොවුන් එදා යහපාලන රජය හඳුන්වාදුන් ස්වාධීන කොමිෂන් සභාවලින්ද කළ හැකිව තිබිණි.. නමුත් සිදුවූ දේ මුලු රටටම පැහැදිලි විය. ස්වාධීන විගණන කොමිෂමට කළදේ දනිමු...

:       0       3

LGP. JATHUNARACHCHI. Friday, 21 July 2023 06:51 AM

ඇත්තෙන්ම... දේශපාලන කණ්ඩායම් ලෑස්තියි වැඩිදියුණු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site