IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වදින පොලිස් දෙපාර්තමේන්තුවේ ‘වටිනා ආභරණය’’

සමාජයේ වරදින් අසරණ වන දරුවන්ට ඇය සෙනෙහෙබර මවකි. පිරිමින් නිසා ජීවිතයේ අතරමං වන කාන්තාවන්ට ඇය දයාබර මිතුරියකි. එමෙන්ම අසාධාරණය දුෂණය කොතැනද ඊට එරෙහිව නැගී සිට සාධාරණය වෙනුවෙන් ඇය යුක්තිය ඉටු කරන එඩිතර කාන්තාවකි. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වරුණී කේෂලා බෝගහවත්ත (35) මහත්මිය නම් ඇයයි. ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඇය මාතර මහාමායා බාලිකා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත. සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන්නේ වරුණි බෝගහවත්ත මහත්මියයි. පියා ඔවිනල් බෝගහවත්ත (63) මහතා විශ‍්‍රාමික පොලිස් සැරයන්වරයෙකි. මව දයානි සුබසිංහ (60) මහත්මිය ගෘහණියකි. එකම සහෝදරිය වූ රුවනි බෝගහවත්ත (28) දැනට විවාහ වී  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටීන්නීය. එකම සහෝදරයා වූ උදයංග වර්ණ කුමාර බෝගහවත්ත (30) නීති විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකි. පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ සැමියා දිමුතු ඉන්දික ප‍්‍රසාද් (36) මහතා පෞද්ගලික ආයතනයක සේවය කරයි. අවුරුදු පහක් වයසැති  ඕෂධ, අවුරුදු තුනක් වන ඔනුදිත හා මාස නවයක් වයසැති ඔමංජිත් ඇයගේ ආදරණීය පුතුන් තිදෙනාය. මෑත කාලයේ මෙම චරිතය පිළිබඳව බොහෝ දෙනකු කතා බහ කරන්නට පටන්ගෙන ඇත්තේ අකුරැස්ස ළමා අපචාර සිද්ධීන් නීතියේ රැහැනට කොටුකර ගැනීමත් සමගය. ඒ නිසා පසුගිය කාලය තුළ විවිධ ආකාරයට අසාධාරණයට අතවරයට අපයෝජනයට ලක් වූ බොහෝ දෙනෙක් මේ දිනවල සාධාරණය ඉටු කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂකා වරුණි බෝගහවත්ත මහත්මිය සොයා ගෙන පැමිණෙති. කුඩා දරුවන්ද අතැතිව පැමිණෙන කාන්තාවන් සිය ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීමටත් පෙර ඇය විමසන්නේ ”කාල දැයි ඇවිත් තියෙන්නේ” කියාය. ප‍්‍රශ්නය විසඳීමටත් පෙර පැමිණිලිකරුවන්ගේ කුස ගැන සිතීම ඇයගේ සාමාන්‍ය සිරිතකි. එසේ ආහාර නොගෙන යම් කෙනකු සිටීනම් කවුරුන් හෝ ආපන ශාලාව වෙත යවා කෑම බීම ගෙනවිත් දීම වරුණි බෝගහවත්ත මහත්මියට අලූත් අත්දැකීමක් නොවේ. මාසිකව ලබා ගන්නා වැටුපෙන් රුපියල් දෙදහසක් තුන් දහසක් අතර ප‍්‍රමාණයක් ඇය ආපන ශාලාව වෙත වෙන් කරන්නේ ඒ නිසාවෙනි. පොලිස් දෙපාර්තමේන්තුව සතු මෙම වටිනා ආභරණය පිළිබඳව කතා බහ කිරීමට ”ඉරිදා ලංකාදීපයට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ යන මහත්වරුන්ට පළමුව ප‍්‍රශංසාව හිමි කළ යුතුය. 1996 වර්ෂයේදී ආධුනික උප පොලිස් පරීක්‍ෂකාවක ලෙස ඇය ශ්‍රී ලංකා දෙපාර්මේන්තුව වෙත ඇතුළත් වූවාය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු විස්සකටත් අඩුය. මහනුවර අස්ගිරිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මාස හයක පුහුණුව ලබාගත් වරුණි බෝගහවත්ත මහත්මිය පළමු පත්වීම ලෙස වව්නියාව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය ආරම්භ කළාය.යුද සමයේදී එහි රාජකාරී කරන අතරතුර ඇය පොලිස් කොස්තාපල්වරියන් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග මහියංගනයට ගොස් යුද හමුදා පුහුණුව ලබා පසුව අනුරාධපුර මහවිලච්චිය ප‍්‍රදේශයේ එම අනුඛණ්ඩයට නායකත්වය දෙමින් එහි ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළේ සැබෑ දක්‍ෂතා පෙන්නුම් කළ නිසාවෙනි. 1998 වර්ෂයේ දී සිය උපන් ගම් ප‍්‍රදේශය වූ මාතරට පැමිණ සේවය කිරීමට ඇය වාසනාවන්ත වූවාය. ඒ අනුව මාතර මූලස්ථාන පොලීසියට අනුයුක්තව දුෂණ වැටලීම් විශාල සංඛ්‍යාවක් සිදු කිරීමට පොලිස් පරීක්‍ෂකා වරුණි බෝගහවත්ත මහත්මිය සමත් වූවාය. නීති විරෝධී හෙරොයින් මත්කුඩු, ගංජා, කසිප්පු හා බලපත‍්‍ර නොමැතිව රජයේ අරක්කු විකුණන තැන් සොයා ගිය ඇය ඒවා මාතරින් තුරන් කිරීම සඳහා විශාල මෙහෙවරක නිරත වූයේ සිය ජීවිතය ද අවදානමකට ලක් කරමිනි. 2001 වසරේදී කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර නාදුගල ප‍්‍රදේශයෙන් ඇය නිල්වලා ගඟට පැන්නේ සිය එඩිතරකම ප‍්‍රදර්ශනය කරමිනි. එහෙත් එම අවස්ථාවේදී මඩ වගුරක ගිලී අනතුරට පත්වන අවස්ථාවේ ඇය හිස් කසිප්පු බැරලයක එල්ලී ජීවිතය බේරා ගැනීමට සමත් වූවාය. වැටලීමට ගිය මාතර පොලීසියේ සැරයන් මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ සහාය මත පොලිස් පරීක්‍ෂිකාව යළි ගොඩට ආවාය. එහෙත් එම වැටලීම සාර්ථක කර ගැනීමට ඔවුහු සමත් වූහ. ”මම ඒ දවස්වල වැඩට ආවේ පාපැදියෙන්. මාතර වෙරළ පාරේ පොලිස් නිවාසවලයි අප පදිංචි වී සිටියේ. දවසක් මම ඇතුළු කණ්ඩායම නීති විරෝධී ලෙස බලපත‍්‍රයක් නොමැතිව රජයේ අරක්කු මුදලට විකුණන පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ආවා. ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර අවසන් වී මම පා පැදියෙන් තනිවම නිවස වෙත යමින් සිටියා. ඒ අතරතුරදී ත‍්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් මග හරස්කොට මට යම් බලහත්කාරකමක් කරන්න උත්සාහ කළා. මම පාපැදිය පැත්තකට දාලා පළමුව ත‍්‍රීරෝද රථ රියදුරාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ජීවිත ආරක්‍ෂාව සඳහා එහි සිටි හය දෙනාටම පහර දී ත‍්‍රීරෝද රථයේම දමාගෙන පොලිසිය වෙත රැගෙන ආවා. අතවර කිරීමට තැත් කිරීම යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඞ් භාරයට පත් කළා. පසුව දැන ගත්තා ඒ අය කරන්දෙණියේ පදිංචිකරුවෝ පිරිසක් බව. ඒ පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය 2002 වර්ෂයේදී සිය රාජකාරි ජීවිතයේදී මුහුණ දුන් එක්තරා අමිහිරි සිද්ධියක් විස්තර කළ අයුරුයි. 2004 සුනාමි ව්‍යසන කාලයේදී ඇය අපිරිමිත මෙහෙවරක නිරත වූවාය. මාපියන් සුනාමි රකුසාට බිලි වූ දකුණු පළාතේ දරු දැරියන් 360 දෙනකු ඇය අතට පත් වන්නේ නිසි භාරකාරත්වයක් නොමැතිවීම නිසාය. මව හෝ පියා හෝ ඒ දෙදෙනාම අහිමි දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ශිෂ්‍යත්ව වැඩසටහන අද වන තෙක්ම පවත්වාගෙන යන්නේ පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියගේ සෘජු අධීක්‍ෂණය යටතේය. මාතර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන වික‍්‍රමරත්න මහතාද ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නේය. කිතුලේවෙල විහාරස්ථාන අවතැන් කඳවුරේ සිටි නදීරාගේ වයස අවුරුදු හතකි. රුදුරු සුනාමිය ඇයගේ මව හා පියා බිලි ගත්තේ සිත් පිත් නැති රකුසකු ලෙසය. අවතැන් කඳවුරේම සිටි වෙනත් කාන්තාවක් නදීරාගේ මව ලෙස පෙනී සිටිමින් ඇය හදා වඩා ගැනීමට උත්සාහ කළාය. ඒ පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව ක‍්‍රියාත්මක වූ වරුණි බෝගහවත්ත මහත්මිය නිසි විමර්ශනයක් ආරම්භ කොට ව්‍යාජ අයිතිවාසිකම් කියාපාන කාන්තාව ඉවත් කොට නදීරා පොලිස් භාරයට ගත්තාය. දැනට ඇය මාතර බෞද්ධ කාන්තා ළමා නිවාසයේ හැදී වැඩෙන්නීය. නදීරාගේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හතක මුදලක් පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත බැංකු ගිණුමක තැන්පත් කිරීමට වරුණි බෝගහවත්ත මහත්මිය ක‍්‍රියා කර තිබේ. මාතර කඹුරුගමුවේ පදිංචි ඔහු ෆර්නිචර්ස් ආයතනයක කළමනාකරුවෙකි. බිරිඳ ගුරුවරියකි. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ රාජකාරි කටයුතුවලට ගිය පසු ඔහුගේ බිරිඳගේ යම් වෙනසක් දැක ගන්නට විය. ටික කාලයකට පසු හත් හැවිරිදි දරුවා හා සැමියා අතහැර ඇය අතුරුදන් වූවාය. පසුව හෙළි වූයේ ඡන්ද රාජකාරි සඳහා ගාමිණී පොලිස් කොස්තාපල්වරයකු සමග ජංගම දුරකතන අංක හුවමාරු කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ සම්බන්ධතාවක් මත මෙම සිද්ධිය වූ බවයි. එකම දරුවා අම්මා  ඕනෑ යයි නිතර හඬා වැළපෙන විට ඔහුට කළ හැකි දෙයක් නොවීය. ඔහු වැලිගම පොලිසිය හා මාතර පොලීසිය වෙත පැමිණිලි කළේය. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණිලි කළේය. සාධාරණයක් ඉටු නොවනු තැන පොලිස්පති සහන මැදිරියට ගොස් සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේය. මාස ගණනක් යන තෙක්ම ඔහුට බිරිඳ ගැන තොරතුරක් සොයා ගත නොහැකි විය. සැක කරන කොස්තාපල්වරයා වගඋත්තරකරුවී ඒ සෑම තැනකටම පැමිණ ප‍්‍රකාශ ලබා දුන්නද තමාගෙත් අදාළ ගුරුවරියත් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව හැම විටම කීවේය. අවසානයේ මේ පැමිණිල්ල මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය වෙත ද පැමිණියේය. වෙනත් තැන්වලදී මෙන්ම කොස්තාපල්වරයාගේ සුපුරුදු වදන් පේළිය වූයේ එවැනි අනියම් සම්බන්ධතාවකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. දෙපාර්ශ්වයෙන්ම කරුණු හුවමාරු වෙද්දී පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය වගඋත්තරකාර කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය සිය අතට ඉල්ලා ගත්තාය. එහි අංක බැලූවේය. ඡායාරූප පරීක්‍ෂා කරන්නට වූවාය. ප‍්‍රියමනාප කාන්තාවක් දැක ගන්නට ලැබුණි. ඒ කව්රුන්දැයි ඇසූ විට තම බිරිඳ යයි කොස්තාපල්වරයා කීවේය. ඒ සැකය තුරන් කර ගැනීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කළ කළමනාකරුගෙන් අදාළ ඡායාරූපයේ සිටින තැනැත්තිය හඳුනනවා දැයි ඇසූ විට ඒ සිය බිරිඳ බවට ඔහු මහ හඬින් කෑ ගැසුවේය. අවසානයේ දී කොස්තාපල්වරයාගේ කුරුමානම පොලිස් පරීක්ෂිකාව ඉදිරියේදී පරාද විය. ඔහු සියලූ දේ විස්තර කළේය. අදාළ ගුරුවරිය ඉදිරි දිනක කැඳවා විසිරී ගිය කැදැල්ල යළි සමගි කරවීමට වරුණි බෝගහවත්ත මහත්මිය සැලසුම් කර ඇත. අපකීර්තිමත් හැසිරීම යටතේ අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට ද දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියගේ තීක්‍ෂණ විමර්ශන බුද්ධියත් අපක්‍ෂපාතීත්වයත් පෙන්වන ලද එක් අවස්ථාවක් පමණි. ඊට අමතරව කුඩා දරුවන් හා සැමියන් අතහැර දමා යන කාන්තාවන්ට එරෙහිව ද ඇය තදින් නීතිය ක‍්‍රියාත්මක කරන්නීය. අවුරුදු 02, 04 හා 07 වයසේ පසුවන දරුවන් තිදෙනකු මාතර ප‍්‍රධාන බස් නැවතුම් පොළේ අතහැර දමා මවක් වෙනත් පුරුෂයෙකු සමග පසුගියදා පැන ගියාය. ඇයගේ සැමියා ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කළේය. පොලිස් පරීක්ෂිකාව එම දරුවන් ද්වේෂ සහගත ලෙස හැරයාම සම්බන්ධව අධිකරණය වෙත කරුණු වාර්තා කළාය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොළඹට ආසන්න ප‍්‍රදේශයක දී සැකකාර මව පොලිස් අත්අඩංගුවට පත් විය. මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇය රිමාන්ඞ් භාරයට පත්ව සිටින්නේ අසරණ දරුවන්ට කළ වරද වෙනුවෙනි. ඒ ආකාරයට පිරිමින් වෙනුවෙන් ද සාධාරණය ඉටු කිරීමට පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය කටයුතු කරන්නීය. ඉකුත් පොසොන් පොහොයට ජංගම භක්ති ගීත සංදර්ශනයක් පවත්වන ලෙස උසස් පොලිස් නිලධාරීන් මාතර පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබුණි. අංශ භාර ස්ථානාධිපතිවරුන්ට වෙන් වෙන් වශයෙන් වැඩ පවරන ලදී. පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියට භාර දී තිබුණේ පොලිස් ට‍්‍රැක් රථය අලංකාර කිරීමය. ඒ සඳහා වාහනය මල් සරසන ස්ථානය වෙත රැුගෙන යාමට ඇය සූදානම් වූවාය. සවස 7.00 වනතෙක්ම පොලිසිය වටේ ඇවිද පොලිස් රියදුරකු සොයා ගැනීමට වෙහෙසුන ද ඔවුන් දැක ගත නොහැකි විය. වෙලාව ද ප‍්‍රමාද වෙමින් තිබුණි. වැඬේ හරියන්නේ නැති බව තේරුම් ගත් වරුණි බෝගහවත්ත මහත්මිය යතුර ද රැගෙන විශාල ට‍්‍රක් රථයේ රියදුරු අසුනට ගොඩ වී එය පණගැන්වූවාය. විශාල පිරිසක් මග දෙපස බලා සිටියදී ඇය පොලිස් නිල ඇඳුමින් ට‍්‍රැක් රථය පදවාගෙන ගොස් එය අලංකාර කොට මාතර නගරය මැදින් ධාවනය කරමින් අදාළ අංශ වෙත එය භාර දුන්නේය.ඒ තරමටම ඇය රාජකාරියට මෙන්ම වෙනත්  ඕනෑම දෙයකට දක්‍ෂ තැනැත්තියකි. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය සමග කළ සංවාදයකි මේ. ප‍්‍රශ්නය: කොහොමද ජීවිතය? පිළිතුර: බොහොම හොඳයි. මේ දිනවල ටිකක් කාර්ය බහුලයි. වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා.   ප‍්‍රශ්නය: පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන්න හිතුවේ ඇයි? පිළිතුර: මගේ තාත්තා පොලිස් සැරයන්වරයෙක්. ඒ නිසා කුඩා කාලයේ ඉඳලා පොලිසියට ආසාවක් තිබුණා. මම ඉස්කෝලේ ඇරිලා තාත්තා එක්ක පොලිසියට ඇවිත් ඉන්නවා. 08 වැනි වසරේ ඉන්නකොට පත්තරේක පළවෙලා තිබුණ ලංකාවේ ප‍්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණිය ලෙස පත්වූ ප‍්‍රමිලා දිවාකර මහත්මිය පිළිබඳ වාර්තාවක්. ඒ වෙලාවේ මටත් හිතුනා පොලිස් නෝනා කෙනෙක් වෙන්න. මම තාත්තගෙන් ඇහුවා මට පොලිසියට යන්න පුළුවන්ද කියලා. තාත්තා කීවා ඞී.අයි.ජීලගේ ළමයින්ට විතරයි.   ප‍්‍රශ්නය: ඉතිං කොහොමද පොලිසියට බැඳුනෙ? පිළිතුර: උසස් පෙළ දෙවැනි වරට පෙනී සිටින්න උපකාරක පන්ති යන විට පොලිසියට බඳවා ගන්න සම්මූඛ පරීක්‍ෂණයක් පවත්වනවා කියලා ආරංචි වුණා. මගේ යාළුවා වූ චමිලත් එක්ක පන්ති පොත් ටික අරගෙන සම්මුඛ පරීක්‍ෂණයට ආවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුණි ගෝමස් මහත්තයා එතැන හිටියා. එතැන ඉඳපු තවත් නිලධාරියෙක් මා පෙන්වා කීවා. මේ සාජන් බෝගහවත්තගේ දුව කියලා. ඊට පසුව සහතික නෑනේ. ඒක නිසා ගෙදර ගිහං හොඳට ඉගෙන ගන්න කීවා. ඒ ගිහින් සහතික ටික සූදානම් කර ගත්තා. පසු දින ආපසු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණ සමත් වුණා. මගේ යාළුවා චමිලා ආවේ නැහැ. මගේ අම්මා ටිකක් විරුද්ධ වුණා. තව ටිකක් ඉගෙන ගන්න කීවා.   ප‍්‍රශ්නය: වව්නියාවේ දී සිදුවූ බිහිසුණු අත්දැකීම් කුමක්ද? පිළිතුර: රිවිරැස මෙහෙයුම කාලයේදීයි පළමු පත්වීම ලෙස වව්නියාවට ගියේ. තාන්ඩිකුලම්වල වෙඩි පුහුණුව සඳහා අපව රැගෙන ගියා. ඒ යද්දී ඉදිරියෙන් පැමිණි  එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අපට වෙඩි තියන්න පන් ගත්තා. පොලිස් රාළහාමි කෙනෙක් මා ඉදිරිපිටම වෙඩි වැදී මැරී වැටුණා. මම බිම පාත් වුණා. මා සමග සිටි උප පොලිස් පරීක්‍ෂිකාවන් දෙදෙනකුටත් වෙඩි වැදී තුවාල වුණා. ඔවුන් තවමත් ජීවතුන් අතර සිටිනවා.   ප‍්‍රශ්නය: රාජකාරිය ගැන තෘප්තිමත්ද? පිළිතුර: අවංකවම තෘප්තිමත්. සතුටින් වැඩ කරන්නේ. මගේ පෞද්ගලික ජීවිතයට වඩා මම රැුකියාවට ආදරෙයි. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ රටේ විනය පවත්වාගෙන යන ඉතා හොඳ ආයතනයක්. මහජනතාවට සේවය කරන සේවය කළ හැකි ගෞරවනීය ස්ථානයක්. එහි සිටින ඇතැම් අයගේ ක‍්‍රියා කලාපය නිසා මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන්. එහෙත් බහුතරයක් ඉන්නේ හොඳ නිලධාරීන්. මේ ආයතනය එක දවසක් වැහුවොත් ජනතාව කොපමණ අසරණ වේද කියලා හිතා ගන්න බැරි වේවි.   ප‍්‍රශ්නය: පසුගියදා අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමත් සමග ඔබ ගැන රටේම අවධානය යොමු වුණා. ඒ ගැන යමක් කීවොත්? පිළිතුර: ඒ පිළිබඳව තවමත් විමර්ශන සිදු කරන නිසා වැඩිදුර යමක් කියන්න බැහැ. ඒත් ඒ සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු කිරීමට මට අවස්ථාව ලබාදුන්නා. මම එය අපක්‍ෂපාතීව කළා. කිසිදු බාහිර බලවේගයකට උපදෙසකට යටත් වුණේ නැහැ. අතවරයට පත් දැරියන්ගේ ප‍්‍රකාශ මත ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමේ අරමුණින් ක‍්‍රියා කළා. පක්‍ෂ පාට භේද කිසිවක් නීතියට අදාළ නැහැ.   ප‍්‍රශ්නය: අකුරැස්ස තෙවැනි අපචාර සිද්ධියට ලක් වූ දැරිය ඔබට එරෙහිව මානව හිමිකම් කොමිසමට පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා. ඒක ඇත්තක්ද? පිළිතුර: ඔව්, අසත්‍ය ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා කියලා. පොලිසිය භාරයට ගත් පසු කන්න දුන්නේ නැහැ. අසත්‍ය වීඩියෝ දර්ශන පෙන්නුවා කියලා.” ප‍්‍රශ්නය: ඒක ඇත්තක්ද? පිළිතුර: එහෙම දෙයක් මම කළා කියලා කවුරුවත් විශ්වාස කරයි කියලා මා හිතන්නේ නැහැ. අනිත් එක තමාට සිදුවූ අතවරය ගැන අපට කියපු කරුණ ඇය පරිවාස නිලධාරිණියටත් අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් තහවුරු කර තිබෙනවා. ඒ ස්වාධීන සාක්‍ෂි තුළින්ම එය පට්ටපල් බොරුවක් කියා ඔප්පු වෙනවා. මෙය කිසියම් පිරිසකගේ බලපෑම හා අදාළ පරීක්‍ෂණ යට ගසන්න කරපු ක‍්‍රියාවක් විතරයි. මම කවදාවත් ළමයින්ට කන්න නොදෙන්නේ නැහැ. අසභ්‍ය දර්ශන පෙන්වන්නේ කුමකින්ද? මම ජංගම දුරකතනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ.   ප‍්‍රශ්නය: ඊට එරෙහිව ඔබ යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නවාද? පිළිතුර: කුඩා දැරියක් කිසියම් බලපෑමකට හා අසරණ කමට කරපු දෙයක්. මම ඊට අනුකම්පා කරනවා. කවදාවත් වෛර කරන්නේ නැහැ. ඒ අයගේ හෘද සාක්‍ෂිය ඇත්ත දන්නවා. මට ඒ ඇති   ප‍්‍රශ්නය: ළමා අපරාධ අඩු කිරීමට යම් ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවාද? පිළිතුර: දැනට, පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කර ගෙන යනවා. අකුරැස්සෙ සිද්ධියෙන් පසු පැමිණිලි ලැබීම වැඩි වෙලා. යට ගියපු ගොඩක් දේවල් උඩට ඇවිල්ලා. ඒකයි අපරාධ වැඩි වී තිබෙන බව පේන්නෙ. මාතර නගරයේ සියලූ ලැගුම්හල් පරීක්‍ෂා කරනවා.   ප‍්‍රශ්නය: මීට සිව් වසරකට පෙර අභිරහස් ලෙස මිය ගිය අකුරැස්ස මානින්ගොඩ දිලිනි මධුෂානි (16) පාසල් සිසුවියගේ පරීක්‍ෂණවල තත්ත්වය කොහොමද? පිළිතුර: ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. වැදගත් තොරතුරු දැනටමත් ලැබෙමින් පවතිනවා. රහස් පොලිසියත් ඒ ගැන පරීක්‍ෂණ කරගෙන යනව. ඉදිරි කාලය තුළ යම් සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වේවි.   ප‍්‍රශ්නය: අකුරැස්ස අපචාර සිද්ධීන් සමග ඔබට යම් තර්ජනයක් එල්ල වී තිබෙනවද? පිළිතුර: සෘජුව නැහැ. යම් යම් විදියට තොරතුරු ලැබෙමින් පවතිවනවා. ඒත් මා ඒ කිසිදු දෙයකින් සැලෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. මම රාජකාරිය හරියට කරලා තියෙනවා. ඒ නිසා කිසිදු බයක් නැහැ.   ප‍්‍රශ්නය: ඔබට එරෙහි අය කියනවා. තරු දෙක ගලවනවා. පටි ගලවනවා කියලා. ඒ ගැන කුමක්ද කියන්න තියෙන්නේ. පිළිතුර:  ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන් ඒක ප‍්‍රශ්නයක් නැහැ. ඔය කියන කව්රුවත් මට තරු දීලා නැහැ. කළු හරස් පටිය දීලා නැහැ. මගේ සුුදුසුකම් දක්‍ෂතා නිසා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු දේවල් ඒවා ඔය කියන අයට ගලවන්න පහසු නැහැ.”   ප‍්‍රශ්නය: වර්තමානයේ පවුල් ආරවුල් වැඩි වෙලාද? ඒ ගැන යමක් කීවොත්? පිළිතුර: ඇත්තටම ඔව්, ඒ සම්බන්ධව ලැබෙන බොහෝ පැමිණිලිවලට හේතුව ජංගම දුරකතනය තමයි. එය අනිසි ලෙස යොදා ගැනීම මගින් අනියම් සම්බන්ධතා වැඩි වෙලා. එය නිසි පරිදි භාවිත කරනවා නම් ඒ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මාපියන් හැම විටම දරුවන් ගැන අවධානයෙන් සිටින්න. ඔවුන් වැරදි ක‍්‍රියා කරන විට දරුවන් හදා ගන්නත් බැරි වෙනවා. බුද්ධිමත්ව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ.   ප‍්‍රශ්නය: රාජකාරියට මුල්තැන දීම මගින් ඔබේ පෞද්ගලික ජීවිතයට බාධාවක් නැද්ද? පිළිතුර: ඇත්තටම අවුරුදු පහට අඩු පුතාලා තුන්දෙනෙක් ඉන්නේ. ඔවුන් බලා කියා ගන්න මගේ අම්මා තාත්තා ක‍්‍රියා කරන නිසා රාජකාරි කරන්න පහසුයි. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම දරුවන් හා සැමියා වෙනුවෙන් සිටිනවා. මම හවස 4.00 වැඩ ඇරිලා ගියොත් පහට හයට අසරණවෙලා එන කාන්තාවන්ට දරුවන්ට මොකද වෙන්නේ. ඒකයි රාත‍්‍රී වනතෙක්ම වැඩ කරන්නේ. ඒ අයට පිහිටක් වෙන්නයි හැම විටම මට  ඕනෑ.   ප‍්‍රශ්නය: උසස් නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ සැහීමට පත් වෙනවාද? පිළිතුර: ඇත්තටම ඔව්, මුල් අවදියේ ඉඳලා, පොලිස් අධිකාරී පේ‍්‍රමතිලක හෙට්ටිආරච්චි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න යන මහත්වරු මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. වර්තමානයේදී දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් පොලිස් අධිකාරී සිසිර කුමාර, මූලස්ථාන පොලිස් පරීක්‍ෂක හේමාල් ප‍්‍රශාන්ත යන මහත්වරු ලබා දෙන සහයෝගය විශිෂ්ටයි. පොලිස්පතිතුමාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පසුගියදා අපේ කාර්යාංශයට ජිප් රථයක් ලබා දුන්නා. ස්ථීර නිලධාරීන් දස දෙනෙකු ලබා දී තිබෙනවා.   ප‍්‍රශ්නය: අවසන් වශයෙන් ඔබට යමක් කියන්න තිබේද? පිළිතුර: විශේෂ යමක් නැහැ. අසරණවෙලා සිටින  ඕනෑම අයකුට පැය විසිහතර පුරාම වුණත් සේවය ලබා දෙන්න මා සූදානම්. මම පොලිසියට ආදරෙයි. එය මගේ ලේවල තිබෙන දෙයක්. පොලිස් දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය කීර්තිනාමය ආරක්‍ෂා වන  ඕනෑම දෙයක් නිර්භයව අපක්‍ෂපාතීව කරන්න සූදානමින් සිටිනවා. කෙසේ වෙතත් වසර පහළොවක සේවා කාලය තුළ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය දහස් ගණනක කාන්තාවන්ද දරු දැරියන් ඇතුළු විශාල පිරිසකට පිහිට වී ඇත. විසිපස් වසරකටත් වැඩි සේවා කාලයක් ඉටු කිරීමට ඇයට ඉතිරිව තිබේ. එම කටයුතු තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ද ඊළඟ තනතුර වූ සහකාර පොලිස් අධිකාරිණියක් වීමේ භාග්‍යය ද ලැබේවායි ප‍්‍රාර්ථනය කරමින් ඇයට සමු දුන්නෙමි.

ඡායාරූප හා සටහන:  මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්
සුනාමියෙන් දෙමාපියන් අහිමි උමාෂා දැරියට සෙනෙහස පාමින් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත විවාහ වූදා මව හා පියා



අදහස් (0)

අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වදින පොලිස් දෙපාර්තමේන්තුවේ ‘වටිනා ආභරණය’’

Kukulegama Gunarathana Sunday, 02 September 2012 04:49 PM

සැබැවින්ම ඔබ අපේ කාලයේ වීරවරියකි.. තෙරුවන් සරණයි..!!(නු)

:       0       0

රුවනි Friday, 07 September 2012 11:18 AM

දකුණේ කාන්තාවන් වන අපිට ඔයා ලොකු ශක්තියක් අක්කා (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 September 2012 02:48 PM

සොයුරිය, ඔබට දිගු ගමනකට ආසිරි! (නි)

:       0       0

චතුර Monday, 03 September 2012 03:29 PM

ඔබට තව තවත් ශක්තිය ලේබෙව !!! (දී)

:       0       0

එස්.කේ. කන්කානම්ගේ Tuesday, 04 September 2012 04:29 PM

මේ වගේ නිලධාරින් අපේ රටට මහඟු සම්පතක්.පොලිස් දෙපාර්මේන්තුවට හොඳ ආදර්ශමත් කාන්තාවක්.මේ වගේ අයව රැක ගැනීම අපේ යුතුකමක්. (ස)

:       0       0

ශෂික Tuesday, 04 September 2012 10:01 AM

හැම පොලිස් වසමකම මේ වගේ නිලධාරිනියක් ඉන්නවානම් ගොඩක් ප්‍රශ්න ලේසියෙන් විසඳා ගන්න පුළුවන් වෙනවා....(ස)

:       0       0

හර්ෂණ කටාර් Tuesday, 04 September 2012 07:13 PM

ඇත්තෙන්ම ඔබ පොලිසියේ අනෙකුත් නිලධාරීන්ට හොද ආදර්ශයක්..! බුදුසරණයි.. මුළු රටේම ආශිර්වාදය ඔබ තියෙනවා..!!(නු)

:       0       0

සමීර Sunday, 02 September 2012 08:35 PM

ඔබට බුදුසරණයි..!!(නු)

:       0       0

සඳා Tuesday, 04 September 2012 11:38 AM

ඔබ වැනි වීර කාන්තාවන් රටට සම්පතක්..කරන කියන හැම හොඳ දෙයක්ම සාර්ථක වේවා!!.(ස)

:       0       0

අශෝක් Sunday, 02 September 2012 08:35 PM

අනේ වාසනාවන් අක්කේ.. ඔබට තව තවත් ශක්තිය ලැබේවා.. බුදුසරණයි..!!(නු)

:       0       0

අන්ජලී Tuesday, 04 September 2012 11:55 AM

සොයුරිය ඔබ ‍අපේ රටට ආඩම්බරයක් .ඔබට තව තවත් ශක්තිය ලැබේවා‍.....(ස)

:       0       0

දුමින්ද Sunday, 02 September 2012 12:46 PM

සොයුරිය ඔබ අපසැමට ආඩම්බරයකි.. ඔබේ සියලු උතුම් බලාපොරොත්තුවම ඉටුවේවා..!!(නු)

:       0       0

ජනක Tuesday, 04 September 2012 12:42 PM

දකුණේ අපිට‍ ගොඩක් ආඩම්බරයි අක්කේ ඔයා ගැන .(ස)

:       0       0

අමරා අයිරාංගනී Sunday, 02 September 2012 02:07 PM

ඔබට දිරිය ශක්තිය ලැබේවා. (ත)

:       0       0

වසන්ත Monday, 03 September 2012 01:43 PM

ඔබ උතුම් කෙනෙක් (දී)

:       0       0

ගයන්ත Monday, 03 September 2012 04:20 AM

අපේ ආශිර්වාදය ඔබට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 247 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 616 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4826 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site