IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


අනුන්ගේ කරපිටින් යන ට්‍රම්ප් බද්ද

ට්‍රම්ප් තීරු බදු පැනවීම පසුපස ඇති යථාර්ථය ඇමෙරිකානු ආර්ථිකය මුහුණ දී තිබෙන අධික ණය බරයි. 2024 අවසන් වනවිට එරටේ මුළු ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 35 කි. මීට වසර විස්සකට පෙර එය දැක්වුණේ ඩොලර් ට්‍රිලියන 20 ක් ලෙස ය. අදින් වසර පනහකට ඉහත දී ණය ප්‍රමාණය වාර්තා වූයේ ඩොලර් ට්‍රිලියන භාගයකටත් වඩා අඩුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ විශාල ණය බරක් වැඩි වී ඇති බවයි.

ඇමෙරිකානු ආර්ථිකය වටා මේසා ණය බරක් ගොඩ නැගෙන්නේ අයවැය හිඟය සහ වෙළෙඳ ශේෂයේ හිඟය අඛණ්ඩව ඉහළ යෑම නිසා ය. ණය සීමා පනවා ගෙන තිබුණ ද ඇමරිකාව සෑම වසරක දීම ණය සීමා ඉහළ දමාගෙන තිබේ. එසේ නොකළහොත් ණය ගෙවීම පැහැර හැරීමට එරටට සිදු වේ. මුදල් නෝට්ටු අච්චු ගැසීම ණය ගෙවීම සඳහා තවත් ණය ගැනීම ආදී ක්‍රියා මාර්ග ඔස්සේ ඇමරිකානු ආර්ථිකය ඉදිරියට ඇදේ. මේ චක්‍රය නැවැත්වීමට උත්සාහ ගත් පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඒ අනුව බොහෝ වියදම් කපා දැමීමත් වෙළෙඳ ශේෂයේ හිඟය අඩුකර ගැනීම පිණිස වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සිදු වේ. ඒ වෙනුවෙන් මත භේදාත්මක තීරු බදු පනවනු ලැබීය.

මෙම තීරුබදු පනවා තිබෙන්නේ එක් එක් රටවල් ඇමරිකාව සමග පවත්වන ද්වීපාර්ශ්වික වෙළෙඳාමට අදාළ වෙළෙඳ හිඟය මත පදනම්ව ය. ඇමෙරිකාව සමග ධන වෙළෙඳ ශේෂයක් පවතින රටවලට සියයට 10 ක ඒකීය තීරු බද්දක් පනවා තිබේ. ඒ අනුව සිංගප්පූරුව හා ධන වෙළෙඳ ශේෂයක් පවතින රටවලට පනවා ඇති තීරු බද්ද සියයට 10 කි. සෙසු රටවලට වෙළෙඳ ශේෂයේ ප්‍රතිශතය මත පදනම්ව සියයට 40 දක්වා තීරු බදු පනවා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය සියයට 20 කි. වෙනත් රටවලට පනවා ඇති තීරු බදු ප්‍රතිශත සමග සැසඳීමේ දී එය නරක එකක් නොවේ. මේ තීරු බදු පැනවීමෙන් වෙළෙඳ ශේෂයේ හිඟය අවමකර ගැනීම ඇමරිකාවේ අපේක්ෂාවයි. ණය බර අඩු කරගෙන නැවත ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට එරටට අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු වෙළෙඳපොළට අපනයනය කරන භාණ්ඩ සඳහා පවතින තරගකාරීත්වයෙහි විශාල වෙනසක් සිදු වෙතැයි මම නොසිතමි. බංග්ලාදේශය, වියට්නාමය, මැලෙසියාව, ඉන්දුනීසියාව වැනි අපේ තරගකාරී රටවල් සමග විශේෂ වාසි සහගත හෝ අවාසි සහගත තත්වයක් ඇති වෙතැයි සිතිය නොහැකි ය. එබැවින් මේ තීරු බදු ප්‍රතිශත හේතුවෙන් රටවල් අතර තරගකාරීත්වයෙහි විශාල වෙනසක් සිදු වීමට ඉඩක් නැත. එහෙත් මේ තීරු බදු පැනවීම ඔස්සේ ඇමරිකානු වෙළෙඳපොළෙහි භාණ්ඩ මිල ඉහළ ගොස් ලෝක ආර්ථිකය යම් ප්‍රමාණයකට සංකෝචනය වුවහොත් වෙනසක් ඇති විය හැකි ය. එවැනි සන්දර්භයක ලංකාවෙන් ඇමරිකාවට කරනු ලබන අපනයනවලටත් අහිතකර බලපෑම් එල්ල වනු ඇත. අපනයන වර්ධනය ඉදිරියට ගෙන යෑම අභියෝගාත්මක විය හැකි ය. හේතුව මෙරට සමස්ත අපනයනවලින් හතරෙන් එකක ප්‍රමාණයක් ඇමරිකානු වෙළෙඳපොළට යන නිසා ය.

තරගකාරී භාණ්ඩ ඇමරිකානු වෙළෙඳපොළට අපනයනය කරනු ලබන්නට මේ තීරු බදුවලින් සැලකිය යුතු තරමේ අහිතකර බලපෑම් එල්ල නොවුණත් තරගකාරී නොවන අපනයනකරුවන්ට යම් අහිතකර බලපෑමකට මුහුණ දීමට සිදු වනු ඇත. ඒ අනුව කාර්යක්ෂමතාව අතින් ඉහළ එකතු කළ අගය වැඩි ඇඟලු‍ම් රබර් වැනි අපනයනකරුවන්ට මේ තීරු බද්දෙන් එල්ල වන පීඩනය යම් පමණකට දරාගත හැකි වනු ඇත. එහෙත් සමස්තයක් වශයෙන් ගත් විට මේ තීරු බදු පැනවීමත් සමග අපනයන වැඩිකර ගැනීම සම්බන්ධයෙන් අපට ඉදිරියේ දී අභියෝගාත්මක තත්වයකට මුහුණ දීමට සිදු වේ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ඇද වැටී එයින් එළියට පැමිණෙමින් සිටින රටක් හෙයින් අපනයන වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. විදේශ විනිමය ඉහළ නංවා ගැනීම පිණිස අපනයන ආදායම් වැඩිකර ගත යුතුමය. ඩොලර් බිලියන 5 ක් දක්වා විදේශ සංචිත වැඩි කරගෙන තිබුණ ද එය සුළු ප්‍රමාණයකි. 2028 වසරේ සිට විදේශ ණය ගෙවීම ආරම්භ කළ යුතු හෙයින් අපනයන ආදායම් වැඩි කර ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඇමරිකානු තීරු බදු පැනවීමටත් පෙර සිට අපනයන ආදායම් වැඩිකර ගැනීම නමැති අභියෝගය ශ්‍රී ලංකාව හමුවේ තිබිණි. මෙම තීරු බදු පැනවීමත් සමග එය වඩාත් අභියෝගාත්මක වී තිබේ.

ශ්‍රී ලංකාව අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූයේ ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් එම ප්‍රතිපත්ති හඳුන්වා දීමට බොහෝ කලකට ඉහතදී ය. එහෙත් ශ්‍රී ලංකාව අබිබවා යමින් එම රටවල් අපනයන අංශයෙන් සෑහෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ඉන්දියාව 2024 වසරේ දී ඩොලර් බිලියන 450 කට ආසන්න අපනයන ආදායම් උපයා ඇත. වියට්නාමයේ එම අගය ඩොලර් බිලියන 400 කට ආසන්න ය. ඉතා කුඩා රටක් වුවත් සිංගප්පුරුව එම වසරේ දී ඩොලර් බිලියන 500 ඉක්මවන වටිනාකමක් සහිත භාණ්ඩ අපනයනය කර තිබේ. එසේ වුව ද ශ්‍රී ලංකාව වාර්ෂිකව උපයන අපනයන ආදායම පවතින්නේ ඩොලර් බිලියන 12 ත් 13 ත් අතර මට්ටමක ය. එය සුළු ප්‍රමාණයකි. වසර 40 කට පමණ ඉහත දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ආරම්භ කළ රටක් හැටියට එය ලජ්ජාවට කාරණයකි. එබැවින් ඩොලර් බිලියන 200 ඉක්මවන අගයක් දක්වා අපනයන ආදායම් වැඩිකර ගත යුතු ය.

ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව විවෘත වෙළෙඳ ප්‍රතිපත්ති දශක හතරකට පෙර ආරම්භ කළ ද එම ප්‍රතිපත්ති ආපසු හරවන ලදී. එවක දී අපි ඒ වෙනුවෙන් උදම් ඇනුවෙමු. දේශීය ආර්ථිකය නිෂ්පාදන ආරක්ෂා කළ යුතුය, රටේ සියලු‍ ප්‍රශ්නවලට මුල විවෘත ආර්ථිකය යනාදී වශයෙන් අපි නොයෙක් කතා කියමින් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ආපසු හැරවීමු. එම හැරවුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට අපනයන දුර්වල විය. ආයෝජනත් දුර්වල වී තිබේ. ලංකාවේ තිබෙන්නේ විවෘත ආර්ථිකයක් යැයි කතාවට කීව ද එය එසේ නොවේ. ශ්‍රී ලංකාව දැඩි නීති රෙගුලාසි සහිත ආවෘත ආර්ථිකයකි.

වසර 2028 සිට විදේශ ණය පියවීමට සූදානම් වන්නේ නම් සහ දුප්පත්කම ඇතුළු රට අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට නම් ගොඩ යෑමට ඇති එකම මග අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම ය. ඇමරිකානු තීරු බද්දෙන් අපනයනවලට කරනු ලබන හානියට වඩා වැඩි හානියක් අප විසින් පසුගිය වසර 30 ක කාලයේ දී මෙරට අපනයන අංශයට කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාව මෑත කාලයේ දී නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කළේ ඉන්දියාව සහ පාකිස්තානය සමග පමණි. ආර්ථික අර්බුදය උද්ගත වූ කාලය තෙක් ලංකාව වෙනත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වූයේ නැත. සිංගප්පූරුව සහ තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත්ත ද ඒවා අතරමග ඇනහිට තිබේ. පසු කාලයේ දී සේවා අංශයත් ඇතුළත් කර ගනිමින් ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීමට උත්සාහ රැසක් ගත්ත ද ඒවා අසාර්ථක විය. ඒ අරබයා දේශපාලන අධිකාරියෙන් සහාය නොලැබිණි. බොහෝ වෘත්තීය සමිති එම උත්සාහයට විරුද්ධව කටයුතු කළේ ය. එවායෙහි ප්‍රතිඵලයක් ලෙස විස්තීර්ණ ආර්ථික හවුල්කාර ගිවිසුම (සීපා) හා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) බලාත්මක කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව මුල්වරට නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගත් ඉන්දියාව එම මාර්ගයෙහි ගමන් ගත් ආකාරය විමසා බැලීම වැදගත් ය. ඉන්දියාව මේ වෙනවිට රටවල් 15 කට වැඩි ප්‍රමාණයක් සමග පුළුල් නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කර ඇත. පසුගියදාක බ්‍රිතාන්‍ය සමගත් එවැනි ගිවිසුමක් අස්සන් කළේ ය. විවිධ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණ ද ඒවා මගහැර ගෙන තිබේ. ශ්‍රී ලංකාව චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඇතුළත් වීම සඳහා සාකච්ඡා ආරම්භ කළේ 2014 දී ය. එහෙත් මේ දක්වා ගිවිසුමකට අස්සන් තැබීමට නොහැකි වී ඇත. බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වූ අවස්ථාවේ බ්‍රිතාන්‍යය ආසියාවේත් අප්‍රිකාවේත් සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල සංඛ්‍යාවක් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත්තේ ය. අපට ද ඒ වෙනුවෙන් අවස්ථාව තිබුණ ද බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කිසිවෙක් උනන්දු නොවූහ.

යුරෝපා හවුල රටවල් 27 කින් සමන්විත ය. මිලියන 600 කට වැඩි ජනගහනයක් සහිත පුළුල් වෙළෙඳපොළක් එයට හිමි ය. යුරෝපා හවුල සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අවස්ථාව තිබුණ ද අපි එයද මගහැර ගත්තෙමු. ආසියාන් සංවිධානය සමග අත්දැකීමත් ඊට සමාන ය. මෙපරිදි වෙළෙඳාමට ඇති බිය නිසා ශ්‍රී ලංකාව දුප්පත්කමේ පහළට වැටෙමින් සිටියි. නිදහස් වෙළෙඳ ගිවිසුමකින් අපේක්ෂා කරන්නේ ඊට ඇතුළත් වන රටවල් දෙකෙහි වෙළෙඳපොළවල් වෙළෙඳාම සඳහා නිදහස් කර ගැනීම පමණක් නොව රට අභ්‍යන්තරයට ගලා එන විදෙස් ආයෝජනත් වැඩි කර ගැනීම ය. එබැවින් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම වැදගත් ය.

නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් විය යුත්තේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සමග ය. නිදසුනක් ලෙස සිංගප්පූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමට එළැඹීම වෙනුවෙන් සාකච්ඡා කරද්දී සිංගප්පූරුවට සාකච්ඡාවලට ප්‍රවිෂ්ට වීමේ දී කිසිදු ගැටලු‍වක් නොතිබුණි. හේතුව එරට විවෘත ආර්ථිකයක් සහිත රටක් නිසා ය. මෝටර් රථ, මත්පැන්, දුම්වැටි ඇතුළු භාණ්ඩ කිහිපයකට හැරුණු විට ආනයනවලට තීරු බදු අය නොකරන රටකි. එහෙත් ලංකාවේ බදු ව්‍යුහය ඉතා සංකීර්ණ ය. තීරු බදු, අතිරේක තීරු බදු වශයෙන් බදු වර්ග රැසක් ආනයනික භාණ්ඩවලට පනවනු ලැබේ. ආසියානු කලාපයේ ප්‍රබල ආර්ථිකයන් පහළොවක් ඇතුළත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමනමැති නිදහස් වෙළෙඳ ගිවිසුම පිහිටු වූ පසු එහි සාමාජිකත්වය අයැදුම් කරමින් ශ්‍රී ලංකාව ලිපියක් ද යොමු කළේ ය. එහිදීත් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත එකක් නොවීමයි. කවය නියෝජනය කරන රටවල් නිදහස් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඒවාය. එහි ජපානය සහ ඔස්ට්‍රේලියාව ද සිටියි. නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන රටවල් සමූහයකට ඇතුළත් වී එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වෙන්නේ කෙසේද යන භීතිය ශ්‍රී ලංකාවට තිබේ.

තීරු බදු පැනවීම හමුවේ ඇමරිකාව සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම ගැන සාකච්ඡා වේ. එවැනි ගිවිසුමක් ඇති කරගන්නේ නම් ඇතුළත් කළ යුතු අංශ ගණනාවක් තිබේ. එය ඇමරිකාව සමග පමණක් නොව මේ වෙනවිටත් ක්‍රියාත්මක ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමටත් සාකච්ඡා මට්ටමේ පවතින ලංකා-චීන නිදහස් වෙළෙඳ ගිවිසුමටත් අදාළ විය යුතු ය. ඉන්ධන හැරුණු විට අපට ඇමරිකාවෙන් ආනයනය කළ හැකි වෙනත් භාණ්ඩ නොමැති තරම්ය. හේතුව ඇමරිකාව ඉහළ තාක්ෂණික මට්ටම් සහිත රටක් නිසා ය. වෙළෙඳ ගිවිසුමක දී සේවා අංශය ගැනත් පුළුල් ලෙස සලකා බැලිය යුතු ය. ඇමරිකාවට විශාල හැකියාවක් සහිත සේවා අංශ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, මුල්‍ය සේවා, තාක්ෂණය පෙරමුණේ පසුවේ. තාක්ෂණික ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම ද වැදගත් ය. මෙපරදි භාණ්ඩ වෙළෙඳාමට පමණක් සීමා නොවී සේවා වෙළෙඳාම, ආයෝජන ප්‍රවර්ධනය, තාක්ෂණික සහයෝගීතාව යනාදී අංශත් ඇතුළත් කර ගනිමින් පුළුල් නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම වැදගත් ය.

(*** සාකච්ජා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

අනුන්ගේ කරපිටින් යන ට්‍රම්ප් බද්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1057 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site