IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අන්තවාදයෙන් වතුකරය මුදාගත් තොණ්ඩමාන්

තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි. ඒ වෙනුවෙන් අනවරත අරගලයක නියැළුණ සටන්කාමී වෘත්තීය සමිති නායකයකු හෙට සිය දිවි ගමන නිමා කරන්නේය. ඔහු ආරුමුගම් තොණ්ඩමාන් මහතාය. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා මෙන්ම අමාත්‍යවරයකු ද වන ආරුමුගම් තොණ්ඩමාන් මහතා බහුතර ජනයාගේ ආදරය දිනූ සුළුතර මිනිසුන් අතර ප්‍රමුඛයෙකි.

රජුන් තනන්නා ලෙස විරුදාවලිලත් සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් මහතාගේ අභාවයෙන් පසුව ඒ අඩුව පිරිමැසීමට ආරුමුගම් තොණ්ඩමාන් මහතා දේශපාලනයට පිවිසියේය. එය අභියෝගාත්මක පියවරක් විය. මන්දයත් එම හිඩැස පිරවීම පහසු කටයුත්තක් නොවූ හෙයිනි.

19 සහ 20 වැනි සියවස්වල වතු වැඩ සඳහාම මෙරටට ගෙන්වූ ඉන්දීය දෙමළ ජනයාගෙන් බහුතරයක් කන්ද උඩරට රාජධානිය තමන්ගේ ජනාවාසය බවට පත් කර ගත්හ. එහෙත් ඔවුන්ට ජීවත්වීමට සිදු වූයේ අල්ප වූ පහසුකම් මැදය. එය වූ කලී නරකාදියකින් වෙනස් නොවූවකි. නිවාස නමින් හැඳින් වූ ලැයිම් කාමරවල දිවි ගෙවූ එම ජනතාවට මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වීමට වත්කමක් නොවුණු අතර දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස ජීවත්වීමට සිදුවී තිබිණි. සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් මහතා එම ජනතාවගේ වීරයා බවට පත්වන්නේ එම නරකාදියෙන් තම ජනයා මුදාගැනීමට ඔහු තමන් සතු සියලු කුසලතා ප්‍රදර්ශනය කළ හෙයිනි. එම වතුකරයේ ජනතාවට පුරවැසි හිමිකම දිනා දී සමාජයේ සම අයිතීන් සහිත මිනිසුන් බවට පත් කිරීමට සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් මහතාට හැකිවිය.

සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් මහතාගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වන ආරුමුගම් තොණ්ඩමාන් මහතාට අභියෝගය වූයේ තම සීයා නැවතූ තැනින් සටන ඉදිරියට ගෙන යාමට සිදු වූ හෙයිනි. එම ජනයාට වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කර දීම ඔහුගේ වගකීමක් වූ හෙයිනි.

ආරුමුගම් තොණ්ඩමාන් මහතා සුවිශේෂී වන්නේ එම වගකීම යම් ප්‍රමාණයකට හෝ ඉටු කිරීමට ඔහු සමත් වූ හෙයිනි. වතු ජනයාගේ මුට්ටි කාසිවලින් නඩත්තුවන ලංකා කම්කරු කොංග්‍රසය හරහා පෙරළා එම ජනතාවට සහන දිනාදීමට ඔහු සමත් වූ හෙයිනි.

වඩාත් වැදගත්ම කාරණය වන්නේ තිස් වසරක යුද්ධයේ දී මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමට ඔහු සමත්වීමය. මධ්‍යම කඳුකරය, වතුකරයේ ජනතාව තම ග්‍රහණයට ගැනීමට එල්.ටී.ටී.ඊය විශාල වෙහෙසක් දැරූ බව සත්‍යයකි. එහෙත් වතුකරයේ දෙමළ තරුණයා එම අන්තවාදී මාවතට පිවිසීම ඔහු වැළැක්වූයේය. එම තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ රැගෙන යාමට ඔහු සමත් විය. යම් හෙයකින් එල්.ටී.ටී.ඊ සංවිධානයට වතුකරයට රිංගීමට හැකි වූයේ නම් නිර්මාණය වන භයානක තත්ත්වය තේරුම් ගැනීම අසීරු නැත. ඒ මහා විපතෙන් මධ්‍යම කඳුකරය රැකගැනීමේ ගෞරවය ආරුමුගම් තොණ්ඩමාන් මහතාට හිමිවිය යුතුය.
වතු හාම්පුතුන්ගේ සම්මේලනය කැඳවා සාකච්ඡා කර වතුකම්කරුවාගේ දෛනික වැටුප සියයට 20කින් වැඩි කිරීමට ආරුමුගම් තොණ්ඩමාන් මහතා සමත් වූයේ 2000 වසරේදීය.

වතු ජනතාවගේ ජීවන අරගලය සම්බන්ධයෙන් සංවේදී වූ ආරුමුගම් තොණ්ඩමාන් මහතා වතු හාම්පුතුන් සමඟ නිබඳව ගැටෙමින් රුපියල් 121ක් වූ වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 147ක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය.

රජය විසින් පෞද්ගලික අංශයට දෙන ලෙස නියම කළ වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට ද ලබාදෙන ලෙස ආරුමුගම් තොණ්ඩමාන් මහතා වතු හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් වතු හාම්පුත්තු එයට එකඟ නොවූහ. වතු හාම්පුතුන්ගෙන් ඇතැමෙකුට අවශ්‍ය වූයේ වතු කම්කරුවන් වහලුන් ලෙස තබා ගැනීමටය. වතු කම්කරුවාගේ අයිතිවාසිකම් දීම වෙනුවට ඔවුන් වහල් සේවයේ යෙදවීමට ඇතැමකුට අවශ්‍ය විය. පෞද්ගලික අංශයට වැටුප් වැඩිවීමක් කරන ලෙස රජය කරන ලද ඉල්ලීම වතු කම්කරුවාට දිනා දීමට ආරුමුගම් තොණ්ඩමාන් මහතාට අවශ්‍ය වූවද වතු හාම්පුතුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නොවීය.

තනතුරු පදවි වලට වඩා තම ජනතාවගේ අයිතිවාසිකම් වැදගත් යැයි සැලකූ ආරුමුගම් තොණ්ඩමාන් මහතා පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප වතු කම්කරුවාට ද ලබා දෙන ලෙස ඉල්ලා හැටන් නගරයේ මහා සත්‍යග්‍රහයක් ඇරැඹුවේය. සීතල මධ්‍යම කඳුකරය එම ප්‍රාණවත් සටනින් උණුසුම් වී ගියේය. අවසානයේ දී වතු හාම්පුතුන්ට එම ඉල්ලීම ඉදිරිපිට දණ නැමීමට සිදු විය. රජුන් තනන්නා ලෙස විරුදාවලිලත් සිය සීයාගේ හිඩැස ඔහු පිරවීමට සමත් වූයේ එසේය.

ආරුමුගම් තොණ්ඩමාන් මහතා දිවියට සමු දුන්නේ 55 වැනි වියේදීය. ඒ හදිසි හෘදයාබාධයකිනි. ඔහු මිය යාමට දෙතුන් පැයකට පෙර අගමැති නිල නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බවත් වතුකරයේ ජනතාවට සැලසිය යුතු සහන සම්බන්ධ යෝජනාවලියක් එහිදී අගමැතිවරයාට ආරුමුගම් තොණ්ඩමන් මහතාම පිළිගැන් වූ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ක්‍රියාවට නංවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. ආරුමුගම් තොණ්ඩමාන් මහතා සිය ජීවිතයේ අවසන් පැය කිහිපයේදී ද තම ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියා කළේ එසේය.



අදහස් (0)

අන්තවාදයෙන් වතුකරය මුදාගත් තොණ්ඩමාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site