IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


අන්තර්කාලීන ආණ්ඩුව හොඳ ප්‍රවේශයක්

අරගලයේ ගිනි දැල් රටපුරා තැනින් තැන බුර බුරා නගිමින් පවතී. කොළඹ ගාලුමුවදොර පිටියේ දින ගණනාවක් තිස්සේ එක දිගට විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, පිම්මේ ඉහළ නැග ඇත. අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් තවමත් වෙනසක් නැත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය ඔස්සේ කළ විශේෂ ප්‍රකාශයෙන් ද මේ තත්ත්වය සමනය කිරීමට කිසිම තල්ලුවක් නොලැබිණි. පාර්ලිමේන්තුව ඇතුළේ බලය උරගා බලන දේශපාලන කඹ ඇදිලිවල අවසානයක් ද නොපෙනෙයි.

මේ වාතාවරණය යටතේ අපේ රටට ඉදිරි ගමනක් නැති බව ආණ්ඩුව, විපක්‍ෂය පමණක් නොව විරෝධතා ව්‍යාපාරවල නියැලෙන සියලු ජනකොටස් ද වටහාගත යුතුය. රට ඉදිරියට ගෙන යාම සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. එම ආණ්ඩුවට මහජනතාවගෙන් බහුතරයකගේ සහාය ලැබීම ද අවශ්‍යය. එහෙත් පවතින ආණ්ඩුව ඇතුළු පාර්ලිමේන්තුව කෙරෙහි පැවැති පොදුජන විශ්වාසය දැඩිව ගිලිහී යමින් පවතී. රටේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට සිදු කෙරෙන ජන ඝෝෂාව ද විපක්‍ෂයේ නියෝජිතයෝ කෙරෙහි විශ්වාසයක් නැති බව අඟවමින් 225 දෙනාට අස්විය යුතු බවට විරෝධතා පුවරු ප්‍රසාරණය වීමෙන් ද ඒ බව මනාව පෙනී යයි. මේ තත්ත්වය යටතේ රටේ පාලනය කෙසේ සිදුවිය යුතුද? යන්න තවදුරටත් ව්‍යාකූල වෙමින් සංවාදයට බඳුන් වෙමින් පවතී.

ඒ සංවාද අතුරින් ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද අර්බුදය විසඳීම සඳහා වන යෝජනාවලියේ සඳහන් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව කාලීන සහ ප්‍රායෝගික යෝජනාවක් වශයෙන් අපි දකිමු. තවමත් කළල අවස්ථාවේ පවතින මේ යෝජනාව පිළිබඳ අදහස් පළවීම තවදුරටත් පුළුල් වී කාටත් පිළිගත හැකි විසඳුමක් දක්වා වර්ධනය කරගත හැක. නම් එය අවස්ථාවේ හැටියට රටට ආශිර්වාදයක් විය හැක. ඒ සම්බන්ධයෙන් විද්වතුන්ගේ අදහස් ද පළ වෙමින් තිබීම යහපත් ප්‍රවණතාවකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අතුල විතානවසම් මහතා අපගේ ‘‘ලංකාදීප’’යට ලබා දී තිබූ සම්මුඛ සාකච්ජාවේ අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳ පුළුල් අර්ථ දැක්වීමක් කර තිබේ. එම අදහස් අපේ රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට අන්තර්වාර හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බවට ඉදිරිපත්ව ඇති යෝජනාවට සියලු දේශපාලනඥයන්ගේ අවධානය යොමුවීම අවශ්‍යය. ඒ මහතාගේ අර්ථ දැක්වීමට අනුව අන්තර්වාර ආණ්ඩුවක් යනුවෙන් අදහස් වන්නේ රාජ්‍යයක් අභ්‍යන්තරයේ ඇතිවන සිවිල් යුද්ධයක් හෝ රාජ්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇතිවන සංග්‍රාමයක් නිසා කිසියම් රටක පාලන තන්ත්‍රය බිඳවැටී ඇති විටෙක නව පාලන තන්ත්‍රයක් ගොඩ නැගීම අරභයා පිහිටුවන තාවකාලික ආණ්ඩුවකටය. අප රටේ සිවිල් යුද්ධයක් නැත. වෙනත් රාජ්‍යයක් හා සංග්‍රාමයක් ද නැත. එහෙත් රටේ පාලන තන්ත්‍රය බිඳ වැටී තිබේ. මේ නිසා නව පාලන තන්ත්‍රයකට මග පෑදෙන්නේ අන්තර්වාර හෝ අන්තර්කාලීන හෝ ආණ්ඩුවක් පිහිටුවීමෙන්ය. එය පවතින දේශපාලන අර්බුදයට ප්‍රායෝගික සහ තාවකාලික විසඳුමක් වනු ඇතැයි අපි සිතමු.

ලංකාවේ පාලන තන්ත්‍රය බිඳවැටී ඇත්තේ ක්‍රමක්‍රමයෙන් නැගී ආ ආර්ථීක කඩා වැටීම ආර්ථික සුනාමියක් බවට පත් වී නිදහසින් පසු විශාලම ආර්ථික අර්බුදයක් ඇතිවීම හේතුවෙනි. මේ සඳහා හේතුකාරණා අවශ්‍ය නම් කිලෝ ගණනාවක් ලබාදිය හැක. නිදහස ලැබීමෙන් පසු බලයට පත් සියලු ආණ්ඩු තමන්ගේ ඊළඟ ඡන්දය ජය ගැනීම සඳහා අවශ්‍ය වන සුබ සාධන ක්‍රම දිගටම පවත්වාගෙන යාමත් ජාතිකානුරාගය සහ ආගම දේශපාලනීකරණය කරමින් තම තමන්ගේ ආණ්ඩුවල පැවැත්ම සඳහා යොදවා ගැනීමත් වත්මන් ආණ්ඩුව මගින් කිසිඳු විමසිලිමත්භාවයකින් තොරව ගන්නා ලද තීන්දු තීරණ කිහිපයකුත් වත්මන් ආර්ථික අර්බුදයේ පෙරගමන්කරුවන් වූ බව පමණක් පෙන්වාදීම ප්‍රමාණවත්ය. අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳ යෝජනාව ගෙන එන හවුල්කාර පක්‍ෂ එකොළහේ නායකයෝ ද වත්මන් ආණ්ඩුව මගින් අවිචාරවත් ලෙස ගනු ලැබූ තීන්දු තීරණවල කොටස්කාරයන් වූ බැවින් තමන් ද මේ ආර්ථීක අර්බුදයේ චූදිතයන් බව පසක් කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව ඉදිරියට ගෙන යාම වැදගත් බව ද පෙන්වාදිය යුතුය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවාගත යුත්තේ මේ අවස්ථාවේ මුළු රටම දවා අළුකරමින් තිබෙන ප්‍රධාන ආර්ථික ගැටලු කිහිපයට කෙටිකාලීන විසඳුම් සොයා ගැනීම සඳහාය. තවත් රුපියල් බිලියන හත අටක් වැය කරමින් මහ මැතිවරණයකට යාමට රටට හැකියාවක් නැත. තිබෙන බරපතළ ගැටලුවලට සියලු දෙනාට පිළිගත හැකි විසඳුම් ලබා දී මාස 6කින් හෝ වසරකින් හෝ මැතිවරණයකට යාම ඉලක්ක කරගනිමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම වඩාත් යෝග්‍යවනු ඇතැයි අපගේ වැටහීමය.

කෙසේ වුවත් එසේ පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවට රටේ බහුතරයක ගෙන් බරපතළ දූෂණ චෝදනා සහ විෂමාචාර චෝදනා එල්ලවී ඇති කිසිවකුත් සම්බන්ධකර නොගත යුතුය. එවැනි එක් අයකුගේ සම්බන්ධකර ගැනීම අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ දැමීමක් වනු ඇත. අදවන විට ජනාධිපති මන්දිරයේ දොරකඩ සහ අග්‍රාමාත්‍ය නිල නිවෙසේ දොරකඩ දක්වා ඇදී ගොස් තිබෙන විරෝධයේ ප්‍රකාශ පිළිබඳ සැබෑ අවබෝධයක් තිබීම ද අත්‍යාවශ්‍ය කොන්දේසියකි. බැසිල් රාජපක්‍ෂ මහතා ඉවත්වීම පමණක් කොන්දේසියක් වන අන්තර්වාර පාලනයකින් අපේක්‍ෂිත අරමුණ ඉටුවන්නේ නැත.

පුළුල් පරමාර්ථ සහිතව පිහිටුවාගනු ලබන අන්තර්වාර ආණ්ඩුවකට රටේ බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමට අපහසු නොවනු ඇත. එවැනි පාලනයකට ඊළඟ මහමැතිවරණය දක්වා රට පාලනය කර ගැනීම ද අසීරු නොවනු ඇත. එසේ කළ හැකි වන්නේ රටේම විරෝධයට ලක්වී සිටින චරිතවලින් තොරව පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවකින් පමණි.

(***)



අදහස් (0)

අන්තර්කාලීන ආණ්ඩුව හොඳ ප්‍රවේශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 939 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site