IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අදින් ඇරැඹෙන චීවර මාසය කාලානුරූපී කර ගනිමු

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදු කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු‍ භික්‍ෂුන් වහන්සේ අදට යෙදෙන වප් පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමයයි.

 එය ‘මහා පවාරණය’ නමින්ද හැඳින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. වස් විසූ සියලු‍ විහාරස්ථානවල කඨින චීවර පූජාවන් සිදුකිරීම සිරිතක් වන අතර  එසේ සිදු කරනුයේද “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං” යන බුද්ධ නියමය අනුවය. එම නියමයෙන් නියමව ඇත්තේ සමාදන් වූ වස් ශික්‍ෂා පදය මැනවින් ආරක්ෂා කළ භික්ෂුන්ට කඨින චීවර පූජාව සිදු කළ යුතු බවයි. ඒ අනුව මෙම උතුම් චීවර පූජාව මතු නොව සිවුරු ඇතිරීම වසර 2600 කට අධික ඉතිහාසකට හිමිකම් කියනු ලැබේ.

 ලක්වැසි ජනතාව වසර 2330 ඉක්මවූ කාල පරාසයක සිට මෙම උතුම් පින්කම සඳහා යොමුව මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන අයුරු දැක ගත හැකිය. ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී දුරාතීතයේ සිටම අපේ නරපතියන් බොහෝ දෙනෙකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකිවේ. එම රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවකදී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳව සඳහන් වේ. එමෙන්ම සවෙනි පැරකුම්බා නිරිඳුන්ද ත්‍රී සිංහලයෙහිම වස් විසූ භික්‍ෂුන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් වනවා මතු නොව එහිදී කඨින චීවර තුන් දහස් හාරසිය දෙතිසක් පමණ පූජා කළ අයුරු සංඛ්‍යාත්මකවද දක්වා තිබේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදී රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මගින් අනාවරණය කොට ඇත.

 අදින් ඇරඹෙන දින විසි නවයක් තරම් වූ ඉතා සීමිත කාල පරාසය තුළ මෙම අසිරිමත් මහා පින්කම පැවැත්විය යුතුය. එම කාලය ‘කඨිනාස්ථර කාලය’ වශයෙන් පරිවාර පාලියෙහි දක්වා ඇත්තේ “කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ”යනුවෙනි. එහි අදහස වන්නේ වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතු බවයි. මෙම මහා පින්කමෙහි ආරම්භය සිදුවන්නේ අදින් තෙමසකට පෙරදීය.

එනම් ඇසළ පුර පොහෝ දිනයෙහි ආරම්භව එතැන් සිට ගෙවී ගිය මාස කිහිපය ඇතුළත ඒ ඒ විහාරස්ථානවලදී හී වස් වැසවීම සඳහා මූලික දායකත්වය ලබා ගත් දායක දායිකාවන් ඇතුළු සෙසු දායකවරුන්ද දිනපතා තම විහාරස්ථානවල විවිධ පූජා පින්කම් සිදුකරන ආකාරය ප්‍රකට වූවකි. බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සංවිධානය කොට ඒවායෙහි නියැලු‍නේ මෙම මහා පින්කමෙහි පරිවාර පින්කම් වශයෙනි. කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම ජන වහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නොබිඳෙන බව, ස්ථාවර බව, “කඨින” යන වචනයෙහි ගැබ්ව ඇති අතර මහා ගරුක පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේද මේ සඳහා සහභාගිව ඇතිවා මතු නොව උන්වහන්සේගේ මහත් වර්ණනාවටද ලක්ව ඇති මහා පින්කමකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබූ පමණින් හෝ තමා කැමති දිනයක හෝ මාසයකදී කළ හැකි පිංකමක් නොවීමය. විහාරස්ථානයක කළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පිංකමක් පමණක් වීමද මෙහි ඇති සුවිශේෂීතාවකි. අට මහා පිංකම් ලෙස අපේ ධර්මයෙහි හඳුන්වා දෙන ප්‍රධාන පුණ්‍යකර්ම නම් කිරීමේදී “කඨිනට්ඨ පරික්ඛාරං......” යනාදී වශයෙන් කඨින පූජා පින්කම එහි ප්‍රමුඛතම පිංකම ලෙස හඳුන්වා දී ඇති අතර අටපිරිකර පූජාව, සංඝාවාස පූජාව, බුදු පාමොක් මහා සඟනට දන් දීම, ධර්ම පුස්තක ලියවීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කරවා පූජා කිරීම යනාදිය සෙසු පින්කම් ලෙස දක්වා ඇත. වස් සමාදන්ව එය ආරක්ෂා කරමින් කඨින චීවර පූජාවක් ලබන භික්ෂුන්ට මෙන්ම කඨින චීවර පූජාව  සිදු කරනු ලබන දායක පක්ෂයටද යන දෙපාර්ශ්වයටම මහත් ආනිසංස ලැබෙන මහා පිංකමක් ලෙස මෙම පින්කම සුවිශේෂත්වයකට පත්ව තිබේ.

කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක්ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළඳවීමට මෙම මහා පින්කමට සමාන කිරීම එම උපමාවය. තෙමසක් මුළුල්ලේ සිදුකරන ලද ඉහත සඳහන් පරිවාර පින්කම් චෛත්‍යයේ ඉදිකිරීම්වලට සමාන වන අතර වැඩ නිමවූ සෑරදුන්ගේ කේතු පිලන්දනය එහි නිමාව සනිටුහන් කරන අසිරිමත් අවස්ථාව වේ. කඨින චීවර පූජා පින්කම්ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි ජන සමූහයකගේ ඒකරාශී වීමෙන් සිදු කළ යුතු දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසාය.

එක් විහාරස්ථානයක එක් වසරක සිදු කළ හැක්කේ එක් කඨින පින්කමක් පමණි. එම විහාරස්ථානයේම වස් විසූ වස් ශික්ෂාපදය ආරක්ෂා කළ භික්‍ෂුවක් හැර වෙනත් භික්ෂුවකට කඨින චීවරයක් පිළිගැනීමට හිමිකම් නොලැබේ. එසේම වස් සමාදන් ව සිටි භික්ෂූන් වහන්සේ සත්තාහ කාරණයෙන් යුතුව ක්‍රියා කිරීමේ දී ගෙවී ගිය කාලය තුළ පැවති සංචරණ සීමාවන් නිසා කිසියම් ලෙසකින් වස් විසූ ස්ථානයට පැමිණිය නොහැකි වුවද වස්සච්ඡේදනයක් සිදු නොවන බව ද සඳහන් කළ යුතුව තිබේ. “සචේ මේ අන්තරායෝ නත්ථි සත්තාබ්බන්තරේ පුන නිවත්තිස්සාමි”යන පාඨය අනුව  අධිෂ්ඨානය වන්නේ අන්තරායක් නොවුව හොත් පැමිණෙන බවයි. වර්තමානයෙහි ගමනාගමන පහසුකම් නැතිවීම හෝ සංචරණ ඇඳිරිනීතිය වැටීම් ආදියෙන් සිදුවන අන්තරායක්  නිසා නොපැමිණීමේදී වස්සච්ඡේදනය නොවනු ඇත. එසේ අන්තරාය රහිත භික්‍ෂු සංඝයා විෂයෙහි පූජා කරන කඨින වස්ත්‍රයෙන් සකස් කරන ලද චීවරය සීමා මාලකයකදී අදාළ ඉහත සුදුසුකම් සපුරා ඇති භික්ෂුවකට බහුතර භික්‍ෂු සංඝයාගේ අනුමැතියෙන් පැවරීම සිදුකරනු ලැබේ. ඒ අනුව කඨින චීවරලාභී භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල්ව භාවිත කිරීමේ පඤ්චවිධ ආනිසංසයක් ලැබෙන බවද අපේ විනය ග්‍රන්ථයේ සඳහන් වේ. කඨින චීවර දානමය මහා පින්කම සිදුකරන දායක දායිකාවන්ටද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසලස්ඛන්දයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකිවීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි. තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලු‍ත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් කඨින චීවරදානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන් වේ. විහාරස්ථානයකට අවශ්‍ය විවිධ ගරු ලඝු භාණ්ඩ කඨින චීවර පූජාව සමග පූජා කිරීම සඳහාද අපේ බොදුණුවන් පුරුදුව ඇත. මෙම මහා කඨින පූජාවට සම්බන්ධව කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පූජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර ආනන්තරීය පාපකර්මය වැනි මහා පාප කර්ම හැර සාමාන්‍ය පව්කම්වල බරපතළ බව අඩු කිරීමටද මෙම මහා පින්කම සමත් වන බව ධර්මයෙන් ප්‍රකාශිතය.

වප් පුර පොහෝ දිනය වූ අදින් කඨිනත්ථාර සමය ඇරඹෙනුයේ පමණක් නොව බුද්ධ චරිතයෙහි මෙන්ම ශාසන ඉතිහාසයෙහිද ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇති බව අනාවරණය වේ. තථාගතයන් වහන්සේ සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුනෙහි වස් වසා වැඩ හිඳ වස් පවාරණය කොට සංකස්ස නගරද්වාරයට වැඩමවා තීර්ථක මං බිඳීම සඳහා යමාමහ පෙළහර දැක්වීම සහ  එම අසිරියෙන් ප්‍රමුදිත මෙතේ බෝසත්තුමා නියත විවරණ ලැබ පැවිදි වූයේද අදවන් දිනයකදීය. එමෙන්ම සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්‍ෂුන් අතරින් අග තනතුරු ලැබීමද මෙදින සිදු වූ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සඟමිත් තෙරණිය වැඩමවා ගැනීම සඳහා මහා අරිට්ඨ කුමරුන් ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේද වප් පුර පොහෝ දිනයකදීය. පසු කාලීනව පැවිද්දට පත් මහා අරිට්ඨ මහා රහතන් වහන්සේ සිදුකරන ලද විනය සංඝායනාව සිදුකරන ලද්දේද වප් පුර පොහෝ දිනයක වන අතර මෙවන් වූ මහා අසිරිමත් සිද්ධීන්ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ සිදුවන කඨින මහා පින්කම්වලටද සහභාගී වෙමින් සසරින් එතෙරවීම සඳහා තව තවත් උත්සාහවත් විය යුතු බව අවධාරණය කළ යුතුව ඇත.           

(***)
කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද නා හිමි

 



අදහස් (0)

අදින් ඇරැඹෙන චීවර මාසය කාලානුරූපී කර ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 481 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2228 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site