IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ඩිජිටල් තාක්ෂණයෙන් පුස්කොළ පොතට පණ දෙයි

පුස්කොළ පොත් සඳහා දේශීය මෙන්ම විදේශීයව ද ඇත්තේ සුවිශේෂී අවධානයකි. පුස්කොළ පොත් සම්බන්ධ වෙන්නම සංස්කෘතියක් ඇතුවා මෙන්ම ඒවා තුළ ඇති දැනුම මිල කළ නොහැකි වේ. ඒ හේතුවෙන් අභාවයට යමින් පවතින පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සදහා විවිධ ආයතන සංවිධාන සොයා අවධානය යොමුකර තිබේ. මේ අතර පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා විශේෂ අවධානයක් යොමුකර ලංකාව පුරා ඇති පුස්කොළ පොත් සොයා යමින් ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගනිමින් කටයුතු කරන ආයතනයකි කැලණිය විශ්ව විද්‍යාලය. කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පුස්කොළ පොත් අධ්‍යයන සහ පර්යේෂණ ඒකකය මෙම ජාතික කාර්යයට මුලිකත්වය ගෙන ඇත. ලංකාව පුරා අභාවයට යමින් පවතින පුස්කොළ පොත් අරාක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් ඒවා සංරක්ෂණය කිරීමත් පමණක් නොව මෙම පුස්කොළ පොත් සම්බන්ධ අධ්‍යයන සහ පර්යේෂණ සඳහා ඉඩකඩ වෙන්කිරීම ඔවුන්ගෙන් ඉටුවන ප්‍රධාන කාර්යයකි. එම ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන පුස්කොළපොත් පුස්තකාලය තුළ පුස්කොළ පොත් අධ්‍යයනය සඳහා ඉඩකඩ වෙන් කර ඇත. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය සඳහා ලෝකයේ ඕනෑම කෙනෙකුට මෙම පුස්තකාලය හා වෙබ් අඩවිය හරහා එකතු වී මෙම අධ්‍යයනයන් සිදුකිරීමේ අවස්ථාවද උදාකර දී ඇත. මෙම සටහන ලංකාවේ ජාතික සම්පතක් වන පුස්කොළ පොත් පිළිබදවයි.

ක්‍රිස්තු වර්ෂ 1700 පමණ වන තෙක් ලංකාවේ ප්‍රධාන ලේඛන මාධ්‍ය වුයේ පුස්කොළයි. ප්‍රධාන වශයෙන් පුස්කොළ සකස් කරගැනීම සඳහා තාල වර්ගයට අයත් ශාක විශේෂ දෙකක් භාවිතයට ගැනුණි. ඒ තල හා තල් යන විශේෂ දෙකයි. ලංකාවේ දකුණු ප්‍රදේශයේ පුස්කොළ පත් සකස් කරගැනීම සඳහා යොදාගෙන ඇත්තේ තල ගසේ ගොබයයි. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල භාවිතා කර ඇත්තේ තල් ගසේ ගොබයයි. වැඩි වශයෙන්ම පුස්කොළ නිපදවා ඇත්තේ තලගසේ ගොබය යොදාගනිමිනි.

පුස්කොළ නාමය ඇතිවීම කෙරෙහි බලපෑ හේතු කිහිපයකි . පිසූ කොළ පුස්කොළ, තල ගසෙන් ගොබය කපාගෙන ඉන්පසුව එය ඖෂධීය සංයෝගයක් සමඟ මිශ්‍ර කර එය තම්බා ගනියි. එසේ පුස්කොළ සකසා ගන්නා බැවින් පිසූ කොළපුස්කොළ ලෙස හැදින්වේ. තවත් අර්ථයක් නම් පුදන ලද කොළ හේතුවෙන් පුද් කොළ - පුස්කොළ වශයෙන් නම් වේ. ක්‍රිස්තු පුර්ව පළමු සියවස වනතෙක් පැවතියේ ලේඛන ශෛලියකට වඩා භාෂණ ශෛලියකි.

පුස්කොළ උපත පිළිබඳව ඇති මිත්‍යා විශ්වාස ද ගණනාවකි. ක්‍රිස්තු පුර්ව පළමු සියවසේදී මහරහතන් වහන්සේලා අට්ට කතා රචනා කිරීමට කටයුතුන් කරන අවධියේ  මේ කරුණ සක් දෙවිදු දිවසින් දැක ඇත. එනම්  රහතන් වහන්සේලා ධර්මය ගබඩා කර තැබීමට මාධ්‍යයක් සොයන බව සක් දෙවිදුගේ වෛජයන්ත  ප්‍රාසාදය ඉදිරිපිට මේ තලගස තිබුණු බව ජනප්‍රවාදයේ සදහන් වේ. සක් දෙවිදු ගුරුළු වේශයක් මවාගෙන තල ඇට කිනිත්තක් රැගෙන අලව්වේ ගලතර මැඩිල්ල කියන ස්ථානයේ එම තලඇට සහිත කිනිත්ත අතහැර ඇත .එම ස්ථානයේ තල ගස රෝපණය වී ඇති බවට ජනශ්‍රැතියේ සඳහන් වේ.  තලගසේ ගොබය යොදාගෙන සකස් කරගත් පුස්කොළ පත් ඉරු මත  ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇත. එතෙක් මුඛ පරම්පරාගතව පැවති ධර්මය එසේ ලේඛන ගත විය.

ලංකාවේ පළමු විශාලම පුස්කොළ පොත් රචනය ලෙස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමේ අවස්ථාව දැක්විය හැකියි. පුස්කොළ පොතක කොටස් කිහිපයකි. පුස්කොළය හදුන්වන්නේ පත් ඉරුවක් වශයෙනි. පත් ඉරු සකස් කරගැනීම සම්බන්ධ විශාල ක්‍රියාවලියක් ඇත. ගසෙන් පත් ඉරුව කපා ගැනීමේ සිට ඇසුරුම්කරණය දක්වාම ඇති ක්‍රියාවලිය අභිචාර විධි ශිල්ප කලාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර මිශ්‍ර වූ සංකීර්ණ ක්‍රියාවලියකි. පුස්කොළ පොතක පිටතින් ඇති ඝන වැස්ම හදුන්වන්නේ පිට වැසුම හෙවත් කම්බය වශයෙනි. කම්බයට පසුව පත් ඉරු හමුවෙයි. මේ සියල්ල එකට අමුණා ඇත්තේ නුලක් ආධාරයෙනි එය හුය වශයෙන් හදුන්වයි . කම්බ දෙකක් අතර ආරක්‍ෂිත ලෙස තබා ඇති පත් ඉරු හුයකින් එකතු කර ඇත. මේ සියල්ල තදවන සේ එකතු වන ස්ථානයේ සකියා නමින් හදුන්වන අංගයක්ද ඇත. පොත බැද ගැනීමට උදව් වෙන්නා යන අර්ථයෙන් සකියා ලෙස එය  හදුන්වන බවද සඳහන් වේ.

පුස්කොළ පොතක් අමුණා ගන්නේ වම් පස සිටයි ඉන් පසුව පොත බැදීම සිදුකරනු ලබයි. පොත බැදීම ද පුස්කොළපොත් ශිල්ප ක්‍රමයකට අනුව සිදුකරනු ලබයි. පුස්කොළ පොතේ දකුණු පස සිට පොත බැදීම සිදුකරයි. ‘ප්‍රථමේ දස සුත්‍රානි’ පළමුව පොටවල් දහයක් බදියි. ‘පංච සුත්‍රානි මධ්‍යමේ’ මැදට පොටවල් පහයි. ‘තිපනම් බන්දම් මත මත විජිගතේ’ පොටවල් තුන බැගින් දෙකක් බදිනු ලබයි. මෙම සම්මත ක්‍රමයට අනුව පුස්කොල පොතක් බැදගැනීම සිදුකරනු ලබයි. පුස්කොළපොත්  ලිවීමද වෙනමම ශිල්පයක් ලෙස පන්සල් අධ්‍යාපනය තුළ පැවතිණි. පන්සල් අධ්‍යාපනය තුළ අක්ෂර ශික්ෂාව යනුවෙන් වෙනමම කලාවක් පැවතිණි. ඒ අනුව ශිෂ්‍යයා  විසින් මුලින් ස්වර අක්ෂර සහ ව්‍යන්ජනාක්ෂර හොඳින් හදුනාගෙන කටපාඩමින් කියවිය හැකි විය යුතුයි. ඉන් පසුව අක්ෂර ලිවීමට පුරුදු කරනු ලබයි . මුලින්ම වැලි පිල්ලේ ලිවිම පුරුදු කරයි. ඉන් පසුව ලැබෙන්නේ උල් කටුවයි. උල්කටුවේ කර කොළයේ ලිවීමට පුරුදු කරනු ලබයි. එනම් හොදින් මැද නැති තල කොලයයි. ගුරුවරයාගේ අකුර  මත ගෝලයා උල් කටුවෙන් නැවත නැවත ලියා අකුරු ලිවිම පුරුදු වෙයි. එය හදුන්වන්නේ සටහන් කැපීම යනුවෙනි. එසේ ගුරුවරයාගේ අකුර ලිවීමට පුරුදු වෙයි. මෙම ලේඛන කලාවේ දක්නට ලැබෙන විශේෂිතම ලක්ෂණය නම් ගුරාගේ අක්ෂරය ඒ ආකාරයෙන්ම ගෝලයා මත පිහිටීමයි. ඊට හේතුව වන්නේ ගෝලයා අක්ෂර පුරුදු වන්නේ ගුරාගේ ගුරු අක්ෂරය මත නැවත නැවත සටහන් කැපීම හේතුවෙනි. ලංකාවේ දක්නට ලැබෙන ගුරු ගෝල සම්බන්ධය අතර ඇති විශේෂ ලක්ෂණයකි මෙය. පරම්පරා කිහිපයකට පසුව කෙනෙකුගේ අක්ෂර රටාව ඒ පරම්පරාවේ මුල් ගුරුවරයාගේ අක්ෂර රටාවට සමාන වේ. පරපුරෙන් පරපුරට ලේඛන ශාස්ත්‍රය රැකගෙන ඒමත් ඒවා එක සමාන ලක්ෂණ වලින් ආරක්ෂා කර ගැනීමත් මෙහි දක්නට ලැබෙන ලක්ෂණයකි. පුස්කොළ පොත් රචනයේදී පන්හිද දකුණු අතින් ගෙන රචනා කිරීම සිදුකරයි. පත් ඉරුව රදවා ගන්නේ වමතිනි. ලේඛකයාගේ වමතේ මහපට ඇගිල්ලේ නියපොත්තෙ කැපුමක් යොදයි ඒ කැපුම අතරට පන්හිදේ ලෝහ තුඩ යවා පත් ඉරු මත කැපීම යොදයි. සැබෑ ලෙසම බලන කළ රචනය කරන්නේ වමතිනි. වමතේ මහපට ඇගිල්ල සියුම් ලෙස කරකවමින් රචනයේ යෙදෙයි. දකුණත ආධාරකයක් සේ ඒ අවස්ථාවේදී ක්‍රියා කරනු ලබයි. පුස්කොළ පොත් රචනය එයටම අවේනික වූ ක්‍රමවේදයකට අනුව සිදුකරන ලද කලාවක් බව පෙන්වා දිය හැකිය.

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපිඨයේ පීඨාධිපති මහාචාර්යය ඒ.එච්.එම්.එච්. අභයරත්න මහතා ඒ මෙසේ අදහස් දක්වා සිටියේය.

‘සමාජීය විද්‍යා පිඨයට අයත් පුස්කොළ පොත් පර්යේෂණ සහ අධ්‍යයන පුස්තකාලය ආරම්භ කළේ ජාතික වශයෙන් වැදගත් වන පුස්කොළ පොත්  අභාවයට යාම  වළක්වාලිමත් ඒ වගේම ඒ පුස්කොලපොත් ආශ්‍රය කරගෙන සිදුකරන විවිධ පර්යේෂණ සඳහා සහය වීමත් සදහායි. වර්තමාන උපකුලපතිතුමා ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා වශයෙන් කටයුතු කරන කාලේ තමයි  මේ කටයුත්ත  ආරම්භ කරන්නේ විශ්වවිද්‍යාලය උපයාගත් මුදල් වලින් .

පුස්කොලපොත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේම පුස්කොළ පොත් වසර සිය ගණනක්  පැරණි ඒවා. මේ පුස්කොළ පොත් බහුතරයක් මේ වන විට අභාවයට යමින් තියෙනවා. පුස්කොලපොත් ලිවිම ආරම්භ වන්නේ ක්‍රිස්තු පුර්ව පළවැනි ශත වර්ෂයේ ඉදලා බව නිශ්චිතව කියන්න පුළුවන්. වළගම්බා රාජ්‍ය කාලයේ ඇතිවුණු යම් යම් තත්ත්ව හේතුකොට ගෙන එතෙක් මුඛ පාඨයෙන් ආරක්ෂා කරගෙන ආව අට්ට කතා ලේඛන ගත කලාය කියන කාරණය වංශ කතා වල පැවතෙනවා. ලේඛන ගත කිරීම  කරන්නේ කිසියම් කරුණු කොටස්  ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව. ව්‍යාකුල තත්ත්ව තියෙන කාලයක තමයි එවකට හිටිය මහතෙරුන් වහන්සේලාගේ  තීරණය මත  ත්‍රිපිටකය සහිත අට්ට කතා ලේඛනය ගත කළේ. මේ අවදියේ ඉදල පුස්කොල භාවිතය තිබුන කියල කියන්න පුළුවන්. ඒ භාවිත පුස්කොළ පොත්  වසර දහස් ගණනක් තිස්සේ දේශීයව තිබුණා. මුද්‍රණ යන්ත්‍රයේ ආගමනයත් සමඟ පුස්කොලපොත් භාවිතය අවම වුණා.

අපේ දේශීය ඥාණය පාරම්පරික දැනුම ගබඩා කෝෂිකාගාර හැටියට තමයි අපි සලකන්නේ. ඒවා ආරක්ෂා කරගැනීම අසීරුයි. කාලය ගතවීමත් සමඟ විනාශ වෙනවා. කාවන්ගේ ප්‍රහාරයට ලක්වෙනවා. මේවා නැවත ලියවෙන්නෙත් නෑ. මේක සංරක්ෂණය කරලා ඩිජිටල් පුස්තකාලයක් හැටියට පවත්වාගෙන යනවා. මේ පත්ඉරු විනාශ වුනොත් ඒ ලංකාවේ මේ තොරතුරු තියෙන එකම ලේඛනය වෙන්න පුළුවන්. ඒ නිසා සංරක්ෂණය කරන්න ඕනේ. තැනක දිරාපත්වෙන තත්වෙට පත්වෙන්න පුළුවන්. අපි අරමුණු කළේ මේ පුස්කොළ ආරක්ෂා කරගැනීම සහ පර්යේෂණ කටයුතු සදහා යොදාගැනීම.

පුස්කොල පොත් සිය ගණනක් තැන් තැන් වල තියෙනවා මේවා මුද්‍රණය වෙලා නෑ. අපි කල්පනා කළා මේ ලංකාවේ විසිරිලා තියෙන පුස්කොලපොත් පර්යේෂණය කිරීමට කෙනෙකුට ඒ හැම තැනටම යන්නත් බෑ ඒ තියෙන තැන්වල මේවා අරක්ෂිතත් නෑ. අපි කල්පනා කළා මේ විසිරිලා තියෙන පොත් ඩිජිටල් කැමරාවකින් ඡායාරූපයට අරගෙන අපි එකතුකර ගන්න. ඒවා විද්‍යුත් පුස්තකාලයක් වශයෙන් පවත්වාගෙන යනවා. භෞතික වශයෙන් මේ පුස්කොලපොත් අපිට පරිත්‍යාග වශයෙන් ලබාගෙන අපේ පුස්තකාලයේ තැන්පත් කර ආරක්ෂා කරගැනීම. ඇතැම් අයට මේවා සංරක්ෂණය කරගැනීමට අපහසුයි. ඇතැම් දේශීය වෛද්‍යවරු ළග තිබුණු පුස්කොළ පොත් එකතුන් ඔවුන්ගේ දරුවන් මුණුබුරන් පරිශීලනය කරන්නේ නෑ. ගෙවල්වල විනාශ වෙලා යනවා. අභාවයට යන පුස්කොළ පිටපත් අපිට සංරක්ෂණය කරන්න අපිට පුළුවන්. මෙන්න මේ කරුණත් එක්ක මේ පුස්තකාලය ආරම්භ වෙනවා. ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධි සහ වෙනත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් මේ පුස්තකාලය පරිශීලනය කරනවා. මේ පත් ඉරු අපේ වෙබ් අඩවියෙන් දැකබලා ගන්න පුළුවන් ඇතැම් ඒවා සඳහා ආරක්ෂක හේතුන් මත අවස්ථාව විවර වෙන්නේ නෑ ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතු වෙනවා. මේ පුස්තකාලය ආරම්භ කිරීමත් එක්ක පුස්කොලපොත් පිළිබද අවධානය වැඩිවෙලා තියෙනවා.

අපි ආරාධනා කරනවා අපේ වෙබ් අඩවියෙන් මේ තොරතුරු ගන්න පුළුවන්. අපි සමාජ විද්‍යා පිඨයේ මුදල් වලින් තමයි මේ හැමදේම කරන්නේ. මේ පොත් පරිශීලනය කිරීමේ හැකියාව තියෙන පිරිසත් ඉතාම සීමිත වෙලා තියෙන්නේ. මොකද මේ පොත් නැතුව පර්යේෂණ කරන්න බෑ. දර්ශනපති දර්ශන විශාරද වගේ උපාධි සදහා සිදුකරන පර්යේෂණ වලදී මේ පොත් අධ්‍යයනය කරන්නේ නැතුව කරන්න බෑ. මුලික කාරනා ගැන අවධානය යොමුකරන්න ඕනේ. මේවායේ තමා ඇත්ත තොරතුරු තියෙන්නේ. මුද්‍රිත ග්‍රන්ථ වල අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි උත්සහ කරනවා ඒ සදහා පහසුකම් සපයන්නෙක් හැටියට උදව් කරන්න. ලෝකයේ ඕනෑම තැනක ඉදගෙන යම් ප්‍රමාණයකට පුස්තකාලය පරිශීලනය පුළුවන්. අපි ඉල්ලා සිටින්න කැමතියි පරිත්‍යාගශීලින්ට ඔබ ළඟ තියෙන පිටපත් වලින් කිහිපයක් අපිට දෙන්න පුළුවන් නම් අපි ඉතාමත් අගය කරනවා ඒ වගේම ඔබට සංරක්ෂණය කිරිමට අපහසුයි නම් අභාවයට යනවා වගේ දැනෙනවා නම් එක වළක්වා ගැනීම සදහා අපට ලබාදෙන්න අපි ඔබ වෙනුවෙන් ඒවා සංරක්ෂණය කරනවා.’

පුස්කොළ ලේඛන කලාව තුළ විශේෂයෙන්ම අක්ෂර කලාව පිළිබඳව ද අවධානය යොමුකළ යුතුම වෙයි.  පුස්කොළ පොත්වල සටහන්ව ඇති අක්ෂර ගත් විට දැනට ලංකාවේ බහුලවම හමුවන පුස්කොල පොත් හා අට දහනම වන සියවස් වලට අයිති පුස්කොළ ලේඛන. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශාසන පුනරුදයත් සමගින් පුස්කොළ ලියවීම තව තවත් වර්ධනය විය. ප්‍රධාන අක්ෂර ශෛලි කිහිපයකි. හංස ශෛලිය හසකුරු ලෙස හදුන්වයි. මෙම හංස ශෛලිය බොහෝවිට උඩරට ප්‍රදේශවල හදුනාගත හැකියි. මහනුවර කෑගල්ල මාතලේ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවන පුස්කොළ පොත්වල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ හසකුරුයි. එහි ප්‍රධානම ලක්ෂණය නම් තුඩු සහිතයි. මේ අක්ෂර සදහා හංසයාගේ ශෛලිගත රුපය ලේඛකයා රැගෙන තිබේ. නුවර යුගයේ හංසයාගේ රුපය අක්ෂයකට රැගෙන ඇත. ඒවා ඉතාම ලාලිත්‍යයෙන් රිද්මයානුකුලව රචනා කරන ලද සියුම් අකුරකි. ලේඛණයේ ප්‍රවීණයන් මෙම අක්ෂර භාවිත කරනු ලබයි. හස්ති ශෛලිය හෙවත් ගජකුරු තවත් ශෛලියකි. ගජකුරු දිගැටි අක්ෂර විශේෂයකි. තරමක් විශාල වේ. අකුර එක පැත්තකට බරව ලේඛනය කර ඇත. ඇත් ගමනක විලාසයෙන් මෙම අක්ෂර ලේඛන ගත කර ඇත. සිංහ ශෛලිය අපට හදුනා ගත හැකි විශේෂ ලක්ෂණය නම් අක්ෂර විශාල වන අතර රවුම් ස්වභාවයක් ගනියි. මේ අක්ෂර බොහෝ දුරට යොදාගෙන ඇත්තේ පිරුවානා පොත් වහන්සේ සද්ධර්ම රත්නාවලිය ජාතක පොත් වහන්සේ වැනි බහුලව භාවිතයට ගැනෙන පොත් ලිවිම සඳහායි. තවත් අක්ෂර ශෛලියක් නම් කාක ශෛලියයි.  ලේඛනය පිළිබඳ විධිමත් පරිචයක් නොමැති ග්‍රාමීය ලේඛකයින් විසින් ලියන ලද අක්ෂරයි. වෙදපොත් යන්ත්‍ර මන්ත්‍ර ශිල්පකලා මේ ආදී පොත් රචනා වී ඇත්තේ මේ අක්ෂර වලිනි. නමුත් ඒවායේ ඇති දැනුම ඉතාම වටිනා කමින් යුක්තයි. තවත් සම්භාව්‍ය ශෛලියකි මුක්ත හෙවත් මුතුකුරු. මේ මුතුකුරු පිළිබදව සටහන් කිරීමේදී ඒ හා බැදුණු රසවත් සිදුවීමක් ඇත. ලංකාවේ අවසාන රජතුමා වූ ශ්‍රී  වික්‍රම රාජසිංහ රජුගේ කාලයේදී එක් ස්වමින් වහන්සේ නමක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පොතක් පිළිගන්වා ඇත. ඒ පොත දුටු රජතුමා අක්ෂර පිළිබඳව ඉතාම පැහැදීමට ලක්ව මේ පොතේ ඇති අකුරු මුතු ඇට  වගේ කියල. ඉන් පසුව රජතුමා ප්‍රකාශ කර තිබෙනවා තමන්ටත් මේ අකුරු වලින් පොතක් රචනා කර දෙන ලෙස. ඒ ස්වාමින් වහන්සේ ඒ අකුරු වලින් පොතක් ලියා ඔප්පු කර ඇත. පසුව රජතුමා මේ පොත ලීවාට අවශ්‍ය කුමක්දැයි විචාලා ඇත. මට වියන කොළ ටිකක් කඩාගන්න අහවල් කොටස දෙන්න කියලා. පසුව රජතුමා මේ වෙල් යායම සන්නසකින් ස්වාමින් වහන්සේට පවරා දී තිබේ. එය කරගන සන්නස නමින් හැදින්වේ. විශ්මිත කරුණ නම් පුස්කොල පොතක දෙපැත්තේම ලේඛනය කරයි. පුස්කොළ පොතක ස්ථර  දෙකක් ඇත. එහි මැද කොටු දැලක් ඇත. මැද කොටු දැලට හානියක් නොවන ලෙස රචනා කළ යුතු වේ. පුස්කොළ ලේඛන වල එක් පසක පේලි හතක් හෝ අටක් රචනා කරනු ලබයි නමුත් මුතුකුරු අක්ෂර ශෛලිය ලියන ලේඛකයෝ පේලි දොළහත් දා හතරත් අතර ප්‍රමාණයක් රචනා කරනු ලබයි

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සදහා ඇති විශාල කාර්යයක් සිදුකරන ජේෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතාමෙසේ අදහස් දක්වා සිටියේය.

‘ලංකාවේ පුස්කොළ පොත්  පිළිබද පුනර්ජීවනයක් ඇතිකළේ මධ්‍යකරුවෝම තමයි හැබැයි ලංකවේ මාධ්‍ය කරුවෝ නෙමෙයි. එංගලන්තයේ මාධ්‍යකරුවෝ. ලංකාවේ පුස්කොලපොත් අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ තිබුණා මේ පුස්කොලපොත් විවිධ විහාරාරාම වල එකතු කරලා තිබුණා. විදේශීය ආක්‍රමණ වලින් පස්සේ මේවා අභාවයට යන්න පටන්ගත්තට පන්සල්වලින් මේවා කොහොම කොහොම හරි රැකගත්තා. බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලනය කරන කාලේ ප්‍රංශයේ නිලධාරීන් මෙහෙ ඇවිත් හිටියා. තානාපති කම් ඇතිකරගන්න ඒ අය ප්‍රංශයට අරගෙන ගියා පුස්කොලපොත් තාමත් ඒවා ප්‍රංශයේ තියෙනවා. මේ පිළිබදව එංගලන්තයේ සැටඩේ රිවිව් කියන පත්තරේ මේ පිළිබදව විවේචනාත්මක පිළියක් පළවුනා. ලංකාව ථෙරවාදී බුද්ධාගම පිළිබදව සාහිත්‍යයක් තියෙන රටක් ඒ වගේම මේ තියෙන සාහිත්‍ය ඉතාම වටිනවා ප්‍රංශය උනන්දු වුනත් අපිට උනන්දුවක් නෑ කියන එක ගැන. යටත් විජිත ලේකම් වරයා මේ පිළිබදව උනන්දු වෙලා කරුණු එකතු කරලා පුස්කොලපොත් ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. අපි බ්‍රිතාන්‍ය විවේචනය කලාට මන් හිතනවා මෑතකාලීනව බ්‍රිතාන්‍යයන් තමයි එකේ වටිනාකම හදුනා ගත්තේ. අපිට තාමත් ඒ වැඩේ කරගන්න බැරි වුණා. අපේ පුස්කොලපොත් එකතුව පිළිබදව නාමාවලි කිහිපයක් තියෙනවා කෞතුකාගාරයේ පුස්කොලපොත් 5000 ක් විතර තියෙනවා. නමුත් තවම නාමාවලි ගත කරලා තියෙන්නේ බාගයක් විතර වගේ. පේරාදෙණිය පුස්තකාලයේත් එහෙමයි. නමුත් යාපනය විශ්ව විද්‍යාලයේ දෙමල පුස්කොලපොත් ඇති විශාල ගණනක් තියෙනවා ඒවා නම් සුචි ගත කරලා තියෙනවා. අපිට විතරක් ආවේනිකව නෙමෙයි උතුරු නැගෙනහිරත් මේ පුස්කොලපොත් සංස්කෘතිය ඒ විදිහටම තියෙනවා. විශේෂයෙන් අපි  මේවා නාමවලිගත කරලා වැඩක් නෑ. පොත් වල නම් ලැයිස්තුවක් තිබ්බට වැඩක් නෑ මේවා අධ්‍යයනය කරනන් අවශ්‍යයි. මේ පොත් වල තියෙන දැනුම අපි අරගන්න ඕනේ. අපි හැමදේම දන්නවා කියල හිතාගෙන හිටියට වැඩක් නෑ.

 විශේෂයෙන්ම අපේ රටේ ශාස්ත්‍රීය වශයෙන් අන්ධකාර යුගයක් වශයෙන් හැදින්වුනු නුවර යුගය. ඒ යුගයේ තමයි හැබැයි වැඩි වශයෙන්ම පුස්කොලපොත් ලියවිලා තියෙන්නේ. යන්ත්‍ර මන්ත්‍ර යාතුකර්ම වගේ දේවල් ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු පුස්කොලපොත් වල රචනා කරලා තියෙනවා. වෙදහෙදකම් ගැන පොත් අතිවිශාලයි. ඒ කාලේ පණ්ඩිතයෝ අඩු වුණා අකුරු ලියන්න පුළුවන් වුන අය ලියන්න ගත්තා. ගැටළු තියෙනවා නමුත් ඒ මිනිස්සු ලිව්වා. මේවා කොහොමත් හොයාගන්න නෑ. මොන එකතුවක වත් නෑ. මොන නාමාවලියක වත් ඒවා නෑ. වටිනාකම ඉතාම වැඩියි. මේ පුස්තකාලයෙන් අපි බලන්නේ පර්යේෂණ කටයුතු වල යෙදෙන අයට සම්පුර්ණ සහයෝගය දෙන්න. අත් පිටපත් සංස්කෘතිය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, භාෂා සාහිත්‍ය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, පැරණි සන්නිවේදන ක්‍රම පැරණි ඥාන සංවිධානය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. පුරාතන කළමනාකරණ ක්‍රම, සන්නිවේදන ක්‍රම මේ පිළිබද කරුණු මේ පොත්වල තියෙනවා. මේ පුස්කොලපොත් වල සියල්ල අන්තර්ගතයි. මේක ලොකු නිධානයක්. අධ්‍යයනය කරන අයට කරදරයක් නැතුව මෙතනට ඇවිත් අධ්‍යයනය කරන්න පුළුවන්. අපි පහසුකම් දීල තියෙනවා. අපි හරිම සතුටුයි කවුරුහරි ඇවිත් අධ්‍යයනය කරනවා නම්. නමුත් සිදුවන්නේ අපිට වඩා විදේශිකයෝ මේ සම්බන්ධව වැඩි උනන්දුවක් දැක්වීමයි.

පසුගියදා ඇමරිකානු ජාතිකයෙක් ආවා. ඔහු ආවේ තේල පතහ ගාථා පිටපතක් බලන්න. මම ඇහුව ඇයි ඒ ගැන මෙතරම් උනන්දු කියලා. ඔහු කියනවා මේක රසවත් පාලි කාව්‍යයක් මම අවුරුදු දෙකක ඉදලා මේ ගැන අධ්‍යයනය කරනවා ඒ වගේම මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා කියලා. ඒ වගේ විවිධ විදේශිකයන් මේ පිළිබදව දැඩි උනන්දුවක් දක්වනවා. විවිධ පුද්ගලයෝ ඉන්නවා මේ තොරතුරු හොයන. විදේශවල මේ දේවල් ගැන ලොකු උනන්දුවක් තියෙනවා නෙදර්ලන්තයේ තියෙනවා ලෙඩ්න් විශ්ව විද්‍යාලය එහි තියෙනවා වෙනම පෙරදිග අධ්‍යයන කරන තැනක් එහි පුස්කොලපොත් අධ්‍යයනය කරනවා. ඔවුන් පසුගිය කාලයේ යන්ත්‍ර මන්ත්‍ර ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අපේ උනන්දුව අඩු උනාට ඔවුන් ඒ ගැන අධ්‍යයනය කරනවා.  ඔවුන් බලනවා මුදල් වියදම් කරන්නේ නැතුව දෙයක් මන්තරයකින් කරන්න පුළුවන් නම් එය ලොකු ලාබයක් නේ කියල ඒ වගේ දෘෂ්ටි කෝණයකින් ඔවුන් ඒවා හොයලා බලනවා. බොරුවක් නම් ඒවා මෙච්චර කාලයක් තියෙන්නේ නෑ. මිට වඩා ගැඹුරින් අධ්‍යයනය කලොත් දේශීය අනන්‍යතාවය ආරක්ෂා වෙනවා.

මේ වගේ ජාතික ව්‍යාපාරයක් අපේ සල්ලි වලින් තමයි කරන්නේ. රජය මුදල් වෙන් කරනවා නමුත් අපිට නෙමෙයි. පුස්කොලපොත් අධ්‍යයනයට කියලා වෙන් කරනවා නමුත් කරපු දෙයක් නෑ. අපි ගිහින් හිටපු ඇමති වරයා එක්ක සාකච්ඡා කළා නමුත් සාර්ථක වුණේ නෑ . බොරුවට අපි සංස්කෘතිය වෙනුවෙන් වැඩ කරනවා කියලා පෙන්වන්න මේ වගේ වැඩ කරනවා. නමුත් ප්‍රතිඑලයක් ලැබෙන දෙයක් කරන්නේ නෑ. මුදල් වියදම් කරලා ඇති නමුත් වැඩේ කෙරිලා නෑ. මේ පිඨයේ පශ්චාත් උපාධි පාඨමාලා වල අරමුදල් වලින් කොටසක් වෙන් කරගෙන තමයි මෙය පවත්වාගෙන යන්නේ.’

පුස්කොළ පොත් වටා ගෙතුණු සාහිත්‍යය කලාව සහ සංස්කෘතිය ලංකාවට අවේනික අපේ අනන්‍යතාවය ආරක්ෂා කරන්නකි. එමෙන්ම ඒ තුළ අන්තර්ගත දැනුම ඊටත් එහා ගිය වටිනාකමක් එකතු කරනු ලබයි. බටහිර ලෝකය තාක්ෂණයේ හිනිපෙත්තටම දිවගොස් ඔවුන් නැවත පසුපස බලන කාලයක් උදාවී ඇත. පෙරදිග චින්තන රටාවන් සහ පෙරදිග දැනුම සොයා යන්නට අද යුරෝපය කටයුතු කරනු ලබයි. නමුත් අප සතු වන මෙම සම්පත පිළිබදව යුරෝපියන්ට දැනුනු වටිනාකම තවමත් අපට දැනුනේ නැතිද යන්න විමසීය යුතු කරුණකි. මේ වටිනා සම්පත ආරක්ෂා කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලය කටයුතු කිරීම ඉතාම අගය කළ යුතුවා මෙන්ම එවැනි උත්සාහයන් සදහා දිරිගැන්වීම සහ ඒවා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයක් වන බව සටහන් කළ යුතුමය. ඉන් ලාංකේය අනන්‍යතාවයත් සාඩම්බරත්වයත් මතුවට ආරක්ෂා වනු ඇත.

1---abayarathna 2---piyadasa-ranasinha dpp-jwnadkaj IMG_1185 IMG_3928

DPP_0015 DPP_0020 IMG_1207 IMG_1968 IMG_2111-(2) IMG_3279



අදහස් (33)

ඩිජිටල් තාක්ෂණයෙන් පුස්කොළ පොතට පණ දෙයි

සෑම් Monday, 10 August 2015 01:42 PM

සිංහල ජාතිය ගැන පුදුම හිතෙනවා.ඔවුන්ගේ ශිල්පිය දැනුම ඉතාමත් විශිෂ්ටයි .රජය මීට වඩා උනන්දුවෙන්න ඕන .මේ ගැන උනන්දුවන ඔබ සැමට ජාතියේ ප්‍රණාමය පල කරනවා (බ)

:       0       0

වරුණ Monday, 10 August 2015 01:48 PM

මේකනම් වටිනා ව්‍යාපෘතියක්.... අනික් වැඩේට අත තියලා තියන්නේ ඒ සඳහා ඉන්න සුදුසුම පිරිසක්..... මේ ව්‍යාපෘතිය තව තවත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා...(බ)

:       0       0

ප්‍රියන්ත Monday, 10 August 2015 02:25 PM

ඉතාමත් වටිනා ලිපියක්, මොකක්ද බලන්න පුළුවන් වෙබ් එක (බ)

:       0       0

ලසන්ත ග්‍රේෂන් කුමාර Thursday, 13 August 2015 08:51 AM

මේ අදහස් දක්වා තිබෙන සියලු දෙනාටම අපගේ ආයතනය කෘතවේදී වෙනවා. මෙම ලිපිය පළකිරීම පිළිබඳව ලංකාදීප පුවත්පතටත් විශේෂ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම පුස්කොළ පොත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිටපත් කිරීමෙන් අනතුරුව අන්තර්ජාලයට මුදාහරිනු ලබන්නේ එම පුස්කොළ පොතෙහි මුල් පත්ඉරු දෙක හා අවසාන පත්ඉරු දෙක පමණක් බව සදහන් කළයුතුයි. එහිදී කිසිදු ලෙසකින් සම්පූර්ණ පුස්කොළ පොතම කිසිවෙකුට කියවිය නොහැකියි. ඒ සදහා අප ආයතනය වන “පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයට“ නිසි අවසරය පරිදි පැමිණෙන පර්යේෂකයින් සඳහා සම්පූර්ණ ඩිජිටල්ගත කරන ලද පුස්කොළ පොතම කියවිය හැකියි. අන්තර්ජාලයට එක්කොට ඇති පත්ඉරු මගින් පුස්කොළ පොතෙහි මූලික තොරතුරු පමණක් ලබාගත හැකියි. මෙම ක්‍රමවේදය තුළින් ඩිජිටල් පිටපතෙහි සම්පූර්ණ අයිතිය අප ආයතනය සතුවන අතරම කිසිදු ලෙසකින් සම්පූර්ණ පුස්කොළ පොතෙහි ඩිජිටල් පිටපත කිසිවෙකුට බාගත කරගත නොහැකි බවද සදහන් කළ යුතුයි. පුස්කොළ ලේඛන කලාව පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට අප ආයතනය හරහා මෙන්ම අන්තර්ජාලය හරහා මෙම පුස්කොළ පොත් අධ්‍යයනය කිරීමේ හැකියාව පවතී. අපගේ නිවැරදි වෙබ් ලිපිනය පහතින් දැක්වේ. http://www.kln.ac.lk/socialsciences/units/plmsrlJ/.‍මෙම වෙබ් ලිපිනය හරහා ගොස් " Palm Leaf Digital Collation" යටතේ ඇති "PDF Download" කරගෙන අධ්‍යයනය කළ හැකිය. ස්තුතියි. (නි)

:       3       4

ගයනි දැරණියගල Wednesday, 19 August 2015 09:57 AM

අපේ දේ සුරකින්න දරන උත්සාහය අගයකොට සළකනවා. වීරසිංහ ගුරු පියාණන්ද දැනුම් පුස්තකයක් තමයි. දැරණියගල සමන් දේවාලය, රත්නපුර සමන් දේවාලය, මානියංගම රජමහා විහාරය යන ස්ථාන වලත් පැරණි පුස්කොල තිබෙනවා. ඒවාත් මෙම වැඩසටහනට එකතුවනවා නම් හොඳයි. (නි)

:       2       0

සිල්වා Monday, 10 August 2015 03:04 PM

කාලෝචිත වැඩක් රටේ අබිමානය සැගවිලා තියෙන්නේ මේ පුස්කොල පොත්වල පාරම්පරික වෙද හෙදකම ආයුර්වේද බෞද්ධ දර්ශනය ගොවිතැන මෙකි නොකී හැමදෙයක්ම මෙතුල සැගවිලා තියෙන්නේ එංගලන්තයේ කෞතුගාර වල තිබෙන පුස්කොල පොත් නැවත රැගෙන විත් මේ කටයුක්තට එකතුකරන්න පුලුවන්නම් ලොකු දෙයක්. (බ)

:       0       0

පියල් Monday, 10 August 2015 04:37 PM

අනිවින, කොඩිවින, බලිතොවිල්, ජ්‍යෝතිෂය... මේ දේවලුත් මෙතන ඇති. ඇත්තට මෙවැනි වැඩ හරිදේට යහපත වෙනුවෙන් යොදවන්න බැරිද? ඉස්සර යක්කු බැඳගෙන වැඩ අරගෙන තිබෙනවා. (නි)

:       1       0

දුමින්ද Tuesday, 11 August 2015 06:05 AM

තාක්ෂණයට හදවතක් දීම (ම)

:       0       0

මොරිස් Monday, 10 August 2015 08:13 PM

සුද්දාට රට යාමෙන් රටේ වටිනා දක්ෂකම් අභාවට ගියා. දැන් සුද්දාගේ තාක්ෂණය යොදාගෙන මේ වගේ දෙයක් කිරීමට සිතීම හොඳයි (නි)

:       0       0

ශාන්ත Saturday, 29 August 2015 01:26 AM

ඉතාමත් විශිෂ්ටයි.අපිට අපේ ජාතිය අපේ ආගම ලොවටම කියන්න පුලුවන්. අද සුද්දො එදා වැද්දෝ බව දැන් සුද්දො පිලිගනීවි. (අ)

:       0       0

ලලිත් Monday, 10 August 2015 10:52 PM

ඉතාම හොඳ දෙයක්. ඒ වුණත් මේවා අන්තර්ජාලයේ පළකිරීමට පෙර දත්ත වල අයිතිය සඳහා පේටන්ට් බලපත් ලබානොගත්තොත් වැඩිකල් යන්නට පෙර ඇමෙරිකානු සමාගමක් දත්ත සහ තොරතුරු වල අයිතියට පේටන්ට් බලපත් ලබාගනීවි. එසේ වුවහොත් අපේ පුස්කොල පොත් කියවීමට වැඩිකල් නොගොස් ඇමෙරිකානු සමාගම් වලට මුදල් ගෙවීමට වනවා නොඅනුමානයි.ඒ වගේම මේවායේ තිබෙන පුරාණ වට්ටෝරු වලට ඔවුන් පේටන්ට් බලපත්‍ර දැනටමත් ලබගෙනදැයි සැකයි. (නි)

:       0       0

තමරා Friday, 21 August 2015 11:22 AM

ඇත්තටම මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා. පුස්කොළ පොත් කියන්නේ විවිධ ක්ෂේත්‍ර වල දැනුම් ගබඩා.ඒවා රැකගන්න එක අපේ යුතුකමක් (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 11 August 2015 12:50 AM

හරිම වටිනා වැඩක්. ඒවගේම සියුම් දුකකුත් හිතට දැනෙනවා. මගේ තාත්තා නැතිවුණ වෙලාවේ අපේ ගෙදර තිබුණු පාරම්පරික පුස්කොළ පොත්,පන්සලේ චෛත්‍යයේ නිධන් වස්තු නිධන් කරන අවස්ථාවේ එහි නිදන් කළා (නි)

:       0       1

ටිරෝන් Friday, 21 August 2015 11:49 AM

හොඳදේට හොඳයි කිවයුතුමය. එහෙත් මෙය, මෙහි ඇති දැනුම සහ සාහිත්‍ය ලංකාවේ අපට, අපේ අනාගත පරපුරට පමණක් බෙදාදීම වැදගත් වේ.අද නොව අනාගතයේ කෙදිනක හෝ වෙනත් රටක් අපේ රට ආක්‍රමණය කළහොත් මේවායේ ඇති දෑ අනුව ඉතාමත් ලෙහෙසියෙන්ම ලංකාව කොළණියක් කළ හැක. එබැවින් මේවායේ ඇති හොඳ දෑ පමණක් දැනගැනීමට බෙදාදීමට වගබලාගන්නේ නම් මැනවි. ස්තුතියි. (නි)

:       0       0

ලලිත් Tuesday, 11 August 2015 01:56 AM

කැන්ඩා දිසාට බයවෙන්නට දුක්වෙන්නට දෙයක් නැහැ. පසුගිය දවස්වල නිධන් හාරපු කට්ටිය ඒවා දැනටමත් ඇමෙරිකාවේ එයාලගේ බංගලාවල පුරාජේරුවට තැන්පත් කරලා ඇති. (නි)

:       0       0

ගිහාන් Thursday, 12 November 2015 08:53 PM

ඉතා අගනා කාර්යයක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 12 November 2015 08:53 PM

මෙම සද්ක්‍රියාව සදහා කැළණි විශ්ව විද්‍යාලයේ විද්වතුන් කරන මෙහෙය ප්‍රශංසනීයයි. මේ සඳහා රජය උනන්දු වුවහොත් දැනට විවාදයට භාජනය වී ඇති රාවණා නිරිදුන්ගේ යුගය ගැන ලියවී ඇති පුස්කොලද සොයාගත හැකිවනු ඇත. (නි)

:       0       0

සිංහ Monday, 17 August 2015 02:53 PM

හොද කාර්යයක් නමුත් කරුණාකර අවදානය යොමු කරන්න මේවයේ ආරක්ෂාව ගැන. අපේ ජාන මංකොල්ලය සිද්ද කරෙත් කෙලින්ම විදේශිකයන් ඇවිත් නෙමෙයි. ඒ වගේම අපේ දැනුමත් මංකොල්ල කෑවා අපේ පුස්කොල පොත් විවිද රටවලට අරන් ගිහින් ඒවා වල අන්තර්ගතයේ එන තොරතුරු වලට පේටන් බලපත් පවා වෙනත් රටවල් අරගන්නවා. අවදානය යොමු කරන්න (නදී)

:       0       0

දනීෂ Wednesday, 12 August 2015 03:47 AM

දැනුම වැරදි අතට යාම මහා විනාශයක්. සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රී හදවතින් ක්‍රියා නොකරන අදාර්මිකයන්ට පත් වීම මහා විනාසයක්. අඥානයන් ඒ වා අයහපතට පාවිච්චි කිරීමට පෙළඹෙන්න පුළුවන් (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 30 August 2015 07:09 AM

අද නවීන තාක්ෂනය හරහා අපේ මතු පරපුරට දායාද කරන්න මෙවැනි ක්‍රමවේදයක් සකස් කළ එක කාලෝචිතයි.. (බ)

:       0       0

දයාන් Wednesday, 12 August 2015 03:50 AM

චන්දිම බෝගහවත්ත, ඔබ දී ඇති ලින්ක් එක මගින් පුස්කොල පොත් කියවීමට උත්සහ කලත් එම වෙබ් පිටුව සොයාගැනීමට නොහැක. කරුණාකර ක්‍රියාකාරී වෙබ් ලිපිනයක් සඳහන් කරන්න ස්තුතියි (නදී)

:       0       0

රාජපක්ෂ Tuesday, 20 October 2015 10:00 AM

හොඳම වැඩක්. කවදත් කැළණි විශ්වවිද්‍යාලයෙන් කාලීන අවශ්‍යදේ කරනවා. රටට, දැයට ආදරය කරන උසස් බුද්ධිමත් පිරිසක් තමයි. අපගේ ප්‍රණාමය. (බ)

:       0       0

ආරියසේන Tuesday, 11 August 2015 03:38 AM

මගේ ලගත් එකක් තිබනවා මේවා තැන් තැන්වල තිබනවා ඒවා එක්තැන් කිරීමේ වැඩ පිළිවලක් හදන්න ඕන නැත්නම් විනාශ වෙනවා (ම)

:       0       0

ආනන්ද විජේසූරිය Monday, 10 August 2015 12:49 PM

ඉහළින් අගය කරනවා (බ)

:       0       0

රොෂාන් Tuesday, 22 March 2016 12:16 PM

අැත්තටම ගොඩක් සතුටුයි. මෙ වගේ දෙයක් කිරිම ගැන.(හේ)

:       0       0

රොෂාන් මහෙෂ් Tuesday, 22 March 2016 12:19 PM

මට ටීකා සහිතය ගැන දැනගන්න පුලුවන්ද?(හේ)

:       0       0

පුෂ්පා Wednesday, 09 September 2015 12:07 PM

ගොඩක් හොඳයි. මම හිතන්නේ මෙය ව්‍යාපෘතියක් ලෙස පටන් ගෙන කරනවානම් වඩාත් පහසුවෙයි. ව්‍යාපෘතියට හොඳ නමක් යොදන්න. මහජන ආධාර පතන්න. එතකොට හැමදෙනාටම උදවු වෙන්න පුළුවන්. එතකොට ආණ්ඩුවටත් උදවු වෙන්න පුළුවන් ඕන නම්. ඔබගේ උත්සාහයට ප්‍රණාමය! (අ)

:       0       0

චන්දිම බෝගහවත්ත Tuesday, 11 August 2015 04:26 AM

ඔබට පුස්කොල පොත් කියැවීමට අවැසි වන්නේ නම් මෙම මාර්ගය භාවිතා කරන්න. ස්තුතියි. http://www.kln.ac.lk/socialsciences/units/plmsrlJ/ (බ)

:       6       4

ඉරේෂා Monday, 31 August 2015 05:57 AM

කියන්න වචන නෑ........නවීන තාක්ෂණය තුළින් වැඩක් ගන්න බැරි,සමාජ ජාල වෙබ් අඩවි තුලින් හිස් ජාතිවාද වපුරන මිනිස්සුන්න හිතන්න යමක්, අපේ මතු පරපුරට දායාද කරන්න මෙවැනි ක්‍රමවේදයක් සකස් කළ එක කාලෝචිතයි ඇත්තටම.එන එන ආණ්ඩුවට බැන බැන,විරෝධතා කර කර ඉන්නවට වඩා මේවගේ හිතන්න මොලේ පාදෙන මිනිස්සු අල්ප රටක මොලේ ඇති වැඩක්.රටේ අබිමානය සැගවිලා තියෙන්නේ මේ පුස්කොල පොත්වල පාරම්පරික වෙද හෙදකම ආයුර්වේද බෞද්ධ දර්ශනය ගොවිතැන ගැන පොත පත සුද්දට බදු දුන් එවුන් පැත්තකට දාල තියෙන පොත පත පරිස්සම් කරන එක හෙට දරුවන් වෙනුවෙන්! හැමෝටම පින් (බ)

:       2       0

ජයතිලක Wednesday, 13 October 2021 09:41 AM

මට මන්තර සාස්තර මුල් පිටපොතක් ගන්න බැරිද?

:       0       0

Chamod Lakshitha Thursday, 19 January 2023 10:25 PM

කෝ ඒ වෙබ්එක දැන්...?

:       0       0

කේ.පී.එස්.විජේනායක Thursday, 18 May 2023 03:26 PM

පුස්කොළ පොත් කියවීමට ඉගෙන ගැනීමට අවශ්‍යයි.

:       0       0

SandyaSaturday, 09 September 2017 10:42 AM

ඒ වුණාට ඒක මේකෙන් බලන්න බැහැනේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2156 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6060 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 513 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1972 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site