IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සමස්ත පොලිස් සේවයම අපකීර්තියට පත්කළ මදාවියා


මහරගම – පන්නිපිටිය මාර්ගයේදී ඉකුත් 29 වැනිදා පෙරවරුවේදී දෙනෝදාහක් ජනී ජනයා බලා සිටියදී ලොරි රථ රියැදුරෙකුට පහර දුන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පොලිසිය බාර ඇමතිවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘‘මකා හෝ පොලිසිය සුද්ධ කරනවා’’ යැයි මාධ්‍යයට කියා එහි උණුසුම පහව යෑමටත් මත්තෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරයා මහ මග තම නිල ඇඳුම් උනා තබමින් යකා නැටූ හැටි මුළු රටම දුටුවේය.

මහ මග රථ වාහන හැසිරවීමේදී මෙන්ම අනෙකුත් රාජකාරි කටයුතුවලදී අනතුරුවලට ලක්වීමේ පුවත් එකක් පසුපස එකක් වශයෙන් ඉකුත් සමයේ වාර්තා විය. රාජගිරියේදී උප පොලිස් පරීක්ෂවරයකු අමන රියැදුරෙකු විසින් හප්පා මරා දමන ලද සිදුවීමට තවමත් සතියක් කල් ඉක්මගොස් නැත. පොලිස් නිලධාරීන්ට සිදුවන මෙබඳු අනතුරු ඉදිරිපිටදී මුළු රටම කම්පාවට පත්වේ. ඒ පොලිස් නිලධාරීන්ගේ මෙහෙවරෙහි ඇති වැදගත්කම හොඳින්ම දන්නා හෙයිනි. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිතවල ඇති කටුක බව, ඔවුන්ගේ රාජකාරි ස්වභාවය, ඒ තුළ ඇති වචනයට නැගිය නොහැකි තරමේ දුෂ්කරතා සම්බන්ධයෙන් වගකිවයුතු පුරවැසියන්ට ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන හෙයිනි. ඒ අතරම පොලිස් නිලධාරියකුගේ අමන, දුෂ්ට, තිරශ්චීන හැසිරීම් ද කොන්දේසි විරහිතව හෙළා දකිති. එයට හේතුව ඕනෑම මනුෂ්‍යයකු අතින් වැරැදි සිදුවිය හැකි වුවද මහරගම පන්නිපිටිය මාර්ගයේදී පොලිස් කොස්තාපල්වරයා ප්‍රදර්ශනය කළ අශිෂ්ට, අනීතික ම්ලේච්ඡ හැසිරීම් කිසි විටෙකත් අනුමත කළ නොහැකිය.

මහරගම – පන්නිපිටිය මාර්ගයේ රථ වාහන හසුරුවමින් සිට ඇති මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඉහත ලොරි රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබේ. එම පොලිස් ස්ථානාධිපතිවරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් කොස්තාපල්වරයා ලොරි රියැදුරුට පහර දෙන්නේ ඒ අතර වාරයේදීය. එම පහරදීම කොයිතරම් දුරට ‘අවම බලය’ පාවිච්චි කිරීමක්ද යන්න අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝව සාක්ෂි දරයි. පහරකෑමෙන් බිම වැටී සිටින ලොරි රියැදුරාට පොලිස් නිලධාරියා පහර දෙන්නේ ‘රෙස්ලින්’ ක්‍රමයටය. මහ පාරේදී මිනිසුන්ට පහර දෙන්නේ මෙසේ නම් පොලිස් ස්ථානවලදී, කූඩුවේදී, බැරැක්කයේදී කෙසේ පහර දෙන්නේදැයි අනුමාන කිරීමට අසීරු නැත.

පොලිස් නිලධාරියකුගේ වගකීම වන්නේ අපරාධ වැළැක්වීම හා අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය. අපරාධය කොතරම් බරපතළ වුවත්, අපරාධකරු කොතරම් දරුණු වුවත් ඔහුට දඬුවම් කිරීමේ බලයක් පොලිස් නිලධාරියකුට නැත. ඒ බවක් නොදන්නා අයකු පොලිස් සේවයේ තබා ගැනීමද බරපතළ වරදකි. පොලිස් කොස්තාපල්වරයා අත ගිනි අවියක් තිබුණේ නම් මෙම කතාව කෙසේ අවසන් විය හැකිද යන්න අනුමාන හැකියාවෙන් එපිට පිහිටියකි. ඒ අර්ථයෙන් ගත් කල්හිද මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම රැගෙන ආවේ නින්දා සහගත කැළලකි.
‘‘මෙම සිද්ධියේදී ලොරි රථ රියැදුරා අතින් වරදක් සිදුවන්නට ඇති බවත් ඔහු අතින් මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සිදුවන්නට ඇති බවත් එසේම එම අනතුරෙන් පොලිස් නිලධාරියකු බරපතළ තුවාල ලබා සිටියද ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබියදීත් මෙම කොස්තාපල් සිදුකළ පහරදීම කිසිසේත්ම අනුමත නොකරන බව’’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මුළු මහත් සමාජයම යම් ගරාවැටීමකට ලක්ව තිබියදී පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණක් ශුද්ධ බවක් අපේක්ෂා කළ නොහැකිය. විවිධ තරාතිරම් හා දැන උගත්කම් වලින් යුත් ලක්ෂයක් පමණ පිරිසක් සිටින පොලිස් දෙපාර්තමේන්තුව නූලට – තිතට, විනයානුකූලව පවත්වාගෙන යා නොහැකි බවත් යම් යම් සිදුවීම් වාර්තාවිය හැකි බවත් සත්‍යයකි. රුපියල් දස දහසක අල්ලස් මුදලක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන මොහොතේදී එම රුපියල් දස දහස ගිල දැමූ පොලිස් ස්ථානයක සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයකු රෝහල් ගත කළ බව ඊයේ පුවත්පතේම වාර්තාවකි.

වෙනත් පුරවැසියකු මෙන් නොව පොලිස් නිලධාරියා යනු විශේෂ වගකීමක් ඇති පුද්ගලයෙකි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම උසුලන පොලිස් නිලධාරියා සාමාන්‍ය ජනතාවට ගරු ගාම්භීර අධිකරණය සම්බන්ධ සජීවි සංකේතයද වේ. එහෙයින් ඔහු වෙතින් ගැඹුරු ආදර්ශ මතු විය යුතුය. ගමේ කසිප්පු කාරයකු මෙන් හැසිරීමට පොලිස් නිලධාරියාට කිසිදු අයිතියක් නැත. පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් තව බොහෝ දේ කිරීමට තිබෙන බව මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා ඔප්පු කර තිබේ.


(***)



අදහස් (8)

සමස්ත පොලිස් සේවයම අපකීර්තියට පත්කළ මදාවියා

fairoos Wednesday, 31 March 2021 07:47 AM

මේවා කාට කියන්නද? අලුත් ඇමැතිතුමත් එහෙමනේ... තට විතරයි වැඩ නැහැ.

:       1       29

saman Wednesday, 31 March 2021 10:51 AM

මේ සිද්ධියේදී කොස්තාපල්වරයා මෙන්ම, ලොරි රථ රියැදුරාද මහමග සිටින මිනිසුන් හප්පා දමමින් රිය පදවමින් අමන ලෙස හැසිරුණු බව සිහි තබාගත යුතුයි.

:       25       15

මරාThursday, 01 April 2021 01:50 AM

ඔබ කියන්නෙ පොලිස් නිලධාරියෙක් හැප්පුණු පලියට රියදුරාට මේ තරම් තිරිසන් විදිහට පහර දීම සාධාරණයි කියලද..... ලංකාවේ මිනිසුන්ට ඕනෙ නීතිය ක්‍රියාත්මක වීම මිස අවනීතිය නොවේ.... මතක් කරගන්න ලසන්ත සහ තාජුඩීන් සිද්ධීන්.... අවනීතිය වැඩකරපු හැටි.... ඔබ වැනි මෝඩ මිනිසුන්ට තාවකාලික චූන් ඉතාමත් සුදුසුයි

:       3       14

samanThursday, 01 April 2021 10:37 AM

ලොරි රථ රියැදුරා වේගෙන් පැමිණ, පාරෙන් පිටතට පැන තව කෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සාධාරණද?

:       9       7

vikum Thursday, 01 April 2021 02:18 AM

ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් කල් අපි හැමොම එක එක විදියෙන් සමාජ ජාලාවල වීරයො වෙනවා, හැබැයි ඔය නිලධාරියාම විතරයි දන්නේ එක තියෙන වේදනාව, අනික එ මනුස්සයාගේ ජීවිතයට හානියක් වුණානම් දරුපවුලට කවුද වග කියන්නේ, මට ඔහොම වුණානම් අනිවාර්යෙන් ඔයිට වඩා දරුණු උත්තර හම්බ වෙනවා, එතකොට මිනිස්සු අනතුරක් වෙන බොහො අවස්ථාවල බස් ලොරි ගිනිතියනවා...ඔක්කොම බොරු සෝභන කථා විතරයි.

:       11       9

Harith Gunasekara Friday, 02 April 2021 10:44 AM

මෙවැනි නිලධාරීන් ගෙදර යවන්න ඕනේ.. නැතිනම් අනිත් අයටත් මෙවැනි දේ පොලීසිය ඇතුළේ කරනවා.

:       0       29

ලක්විදු Saturday, 03 April 2021 04:41 AM

කරුණාකර මා වැරදිනම් නිවැරදි කරන්න. මා දන්නා පරිදි මාර්ගය දෙකට බෙදීම සඳහා දමා ඇති කණ්ඩිය උඩින් ගමන් කිරීමට පොලිස් නිලධාරියෙකු තියා කිසි අයෙකුට අයිතියක් නැත. ලොරියේ රෝද හතරම තිබුනේ මාර්ගයේ බව හොඳින් පෙනේ. ලොරිය කණ්ඩිය උඩින් ධාවනය වූවේද නැත.

:       0       18

de silva Saturday, 03 April 2021 09:44 PM

පොලිසියේ නම කතාකරන්න දෙයක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවේ 60%ක් ඉන්නේ මේ වගේ නිලධාරීන්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site