කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළක සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඉකුත් දා පැය 8 ක් පුරා රටේම විදුලිය විසන්ධි විය. විදුලිය ඇණහිටීම නිසා ජල සැපයුමට ද බාධා ඇති වූ බව අප පුවත්පත වාර්තා කළේය. රටම අඩපණ කළ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබා ගැනීමේ අරමුණෙන් විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කමිටුවක් පත් කළ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමති ධුරයෙහි වැඩ බාරගෙන පැය හැත්තෑ දෙකක් ගතවීමට මත්තෙන් සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් ඇමතිවරයා ඉදිරිපිට ඇති අභියෝගයේ තරම මනාව පැහැදිලි වේ. එහෙයින් ඉදිරියේ දී මෙවැනි අර්බුද මතු නොවන පරිදි කටයුතු කිරීමට සමත් යාන්ත්‍රණයක් සකස්කර ගැනීමට මෙම අවස්ථාව ඉවහල් කර ගත යුතුය.
කෙරවළපිටිය ග්‍රීඩ් උපපොළක සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් මුළු රටම අඳුරේ සිටීමට සිදුවීමෙන් පැහැදිලි වන වැදගත් කාරණාවක් තිබේ. එනම් ප්‍රධාන විදුලි පද්ධතිය යම් හෙයකින් අක්‍රිය වුවහොත් ඊට විකල්පයක් නොමැති බව ය. නිවෙසක විදුලිය විසන්ධි වුවහොත් විකල්පයක් වශයෙන් ඉටි පන්දමක්, පහනක් හෝ දල්වා ගනු ලබයි. එහෙත් රටට එබඳු විකල්පයක් නැත. එය රට ඉදිරිපිට ඇති බරපතළ තත්ත්වයකි. මෙම අභියෝගය සම්බන්ධයෙන් විදුලිබල අලුත් ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතු ය.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාවක් තිබේ. ඉකුත් දා සිදු වූයේ මෙරට පළමු විදුලි බිඳ වැටීම නොවේ. ආසන්න මෑත අතීතයේ දී එනම් 2009 ඔක්තෝබර් 09 වැනිදා, 2015 සැප්තැම්බර් 27 වැනිදා, 2016 පෙබරවාරි 25, 2016 මාර්තු 13 වැනි දිනවලද මෙබඳු විදුලිය බිඳවැටීම් සිදු විය. ඒ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලිය බිඳ වැටීමෙනි. ඒ සෑම අවස්ථාවකදීම විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටු පත් කරනු ලැබීය. එම කමිටු මගින් වාර්තා නිකුත් කළේද නැද්ද යන්න අපි නොදනිමු.
එමෙන්ම එම කමිටු වාර්තා නිකුත් කර තිබේ නම් ඒවායේ අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් හිටපු විදුලිබල ඇමැතිවරුන් අවධානය යොමු කළේ නම් මෙබඳු පිරිපත යළිත් සිදුවීමට ඉඩක් නැත.
ඉකුත් දා සිදු වූ විදුලිය බිඳවැටීමෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 230 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. එමෙන්ම විදුලිය බිඳ වැටීමෙන් රටම අක්‍රිය විය. බැංකු ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ගැනීමට නොහැකිවීම නිසා විශාල පිරිසක් අසරණ වූහ. ජල සැපයුම අඩාලවීමෙන් ඇතිවන අපහසුතාව විස්තර කළ යුතු නැත. සුපිරි වෙළෙඳසල්වල මෙන්ම සාමාන්‍ය වෙළෙඳසල්වල ශීතකරණවල ගබඩා කර ඇති ආහාරපාන ද්‍රව්‍යවලට සිදු වූ හානිය අතිමහත් ය. ඇතැම් අධිකරණවල විභාග වෙමින් තිබූ නඩු අතරමග නතර කිරීමට සිදු වූ බවත් ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ විභාග වූ නඩුද අතරමග නතර කළ බවත් අප පුවත්පත වාර්තා කළේය.
මහා මාර්ගවල වර්ණ සංඥා පුවරු ක්‍රියා විරහිතවීම ඉමක් නොපෙනෙන මහා වාහන තදබදයකට හේතුවීය. දුම්රිය විදුලි සංඥා ක්‍රියා විරහිත වීම නිසා කොළඹ හා ප්‍රදේශ ගණනාවක දුම්රිය ප්‍රමාද වූ බවද අප ප්‍රවෘත්තියෙන් දැක්වේ. විදුලිය විසන්ධි වීම නිසා දිවයිනේ ප්‍රධාන රෝහල්වල සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකාර සේවා විදුලි ජනන යන්ත්‍ර මාර්ගයෙන් සිදු කෙරුණු බවත් ඇතැම් රෝහල්වල විදුලි ජනන යන්ත්‍ර නොමැති හෙයින් ප්‍රතිකාර සේවාවලට බාධා ඇති වූ බවත් වාර්තා විය.
මෙයින් අවධාරණය කෙරෙන ප්‍රධාන කාරණයක් තිබේ. එනම් විදුලිය යනු මිනිසාට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇති බව ය. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් මෙන්ම විදුලිය ද අත්‍යවශ්‍ය සාධකයක් බව ය. එමෙන් ම සමාජයේ පැවැත්ම, ස්ථාවරත්වය රැඳී පවතින්නේ විදුලිය මත බවත් ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන ලබාගැනීමේ පහසුකම අත්හිටුවීමෙන් ඒ බව මනාව පසක් වේ. ඒ ජනයාට සිදුවන්නේ මහමග රස්තියාදුවීමට ය. රටක් මුළුමනින්ම අක්‍රිය කිරීමට විදුලියට හැකි බව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂ ය.
කරුණු කාරණා එපරිදි වන හෙයින් විදුලි බල පද්ධතිය ක්‍රමවත්ව විධිමත්ව පවත්වාගෙන යාමේ දියුණු තාක්‍ෂණික ක්‍රමවේද අනුගමනය කළ යුතුය. තවත් අත්හදා බැලීම්වලට යා යුතු නැත. තවත් ඉගෙන ගැනීමට ද යමක් ඉතිරිව නැත. රට යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් බලවත් විදුලිබල පද්ධතියක් අවශ්‍ය බව තේරුම් ගනිමින් ඒ සඳහා ක්‍රමවේද සකස් කළ යුතු ය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට තව ගල් අගුරු බලාගාරයක් අවශ්‍යයි. දවල්ට පමණක් ලැබෙන සූර්ය බලයෙන් රටක බලශක්‍ති අර්බුදය විසඳන්න බෑ. ජපානය ගල් අගුරු බලාගාර 30ක් හදනවා. සූර්ය කෝෂ නිපදවන චීනය ගල් අඟුරු බලාගාර 160ක් හඳනවා. අම්මල ටික මැද පෙරදිග වහල් කමට යවමින් අපි ඩීසල් වලින් විදුලිය නිපදවනවා. ගල්අඟුරු වගේ 10 ගුණයක් වියදම් කරමින්....
කිසියම් සිදුවීමක් වුවාට පසුව, ඒ ගැන නිර්වචනය කිරීම හා සමාලෝචනය කිරීම ඕනෑම නූගතෙකුට කළහැකි ඉතාම පහසු කාර්යයකි. නමුත් වඩා වැදගත් වන්නේ අනිසි සිදුවීමක් වීමට කලින් එයට නිසි පිළියම් සොයා ගැනීමයි. ලංකාවේ කිසිම ක්ෂේත්‍රයක එවන් දුරදර්ශී වැඩපිළිවෙලක් හා අවදානම් තත්වයකට මුහුණදීමට සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවේ. කතාකාරයින් මිස, වැඩකාරයින් පේන තෙක්මානයක නැත. පුස්සන්, වැඩ්ඩන් ලෙස පිළිගන්න රටක දක්ෂයෙකුට පිටරටකට පැනගැනීම හැර වෙනත් විකල්පයක් නැත. පුස්සන් කිසිවිටෙක තමන් නොදන්නා බව පිළිගන්නේද නැත... මාෆියා කල්ලියක් ගොඩනගා ගැනීමෙන් වැඩබැරි පුස්සන් මහ පුටුවල සැමදා වැජඹිය හැක. මේ මාෆියාවෙන් අදාළ ක්ෂේත්‍රයන් ගලවා ගැනීමට නම්, කළ යුතුව ඇත්තේ ටික කලකට හෝ විදේශිකයින්ව ගෙන්වා ඔවුන්ට වැටුප් ගෙවා, මේ ආයතන ගොඩගැනීමයි.