IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


යළි සාකච්ඡා කළයුතු පොහොර තීන්දුව

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම රට තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය කර තිබේ. අදාළ තීන්දුව සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව දේශපාලනඥයන් විසින්ද විද්‍යාඥයන් ගණනාවක් විසින්ද මේ වනවිට මාධ්‍ය ඔස්සේ තම මතවාද ප්‍රකාශ කර තිබේ. මේ ගැටලු‍වේ අනෙක් පාර්ශ්වකරුවන් වන ගොවීන් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ව්‍යාපාර පවත්වාගෙන යන තේ වතු ඇතුළු වෙනත් ව්‍යවසායකයන් තවමත් ඍජු ලෙස අදහස් ප්‍රකාශකර ඇති බවත් දකින්නට නොතිබිණි. එහෙත් අදාළ විෂය සම්බන්ධයෙන් මේ සියලු‍ ක්ෂේත්‍ර තුළ සාකච්ඡා කෙරෙමින් පවතින බව සඳහන් වෙයි.

රසායනික පොහොර භාවිතය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම දේශපාලනිකව ගනු ලැබූ තීන්දුවකි. මෙය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් වෙයි. ජනාධිපතිවරයා මේ තීන්දුව ගනිමින් අවධාරණය කර තිබුණේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් වැඩිපුර අස්වැන්නක් ලබාගැනීමට හැකි වුවද ඒ හරහා මිනිස් ජීවිතවලට සිදුවන අහිතකර බලපෑම් නොසලකා කටයුතු කළ නොහැකි බවය. ගංගා, ඇළ, දොළ සහ භූගත ජලයද රසායනික පොහොර මගින් දූෂණය වීමෙන් සිදුවන අහිතකර බලපෑම් එම පොහොර යෙදීමෙන් ලැබිය හැකි ලාභය අභිබවා යන බවය.

අදාළ තීන්දුව හේතුවෙන් ගොවිජනතාවට සිදුවිය හැකි අඩුපාඩුකම් මගහරවා ගැනීමට කාබනික පොහොර සඳහා සහන පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන බවද සඳහන්ය. රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීමෙන් රටට ඉතිරි වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400ක් බවද එය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට යොදාගත හැකි වන බවද රජයේ අදහස වී තිබේ.

කෙසේ වුවද මේ තීන්දුව හේතුවෙන් රටේ ගොවි ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. තීන්දුව හොඳ වුවත් එය මෙතරම් හදිසියේ ක්‍රියාවට නැංවීම හේතුවෙන් ගොවීන්ට අස්වනු අහිමි වී ගියහොත් කළ හැක්කේ කුමක්ද යන්නට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් වී නැත. විකල්පයක් වශයෙන් භාවිත කළයුතු වන කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට ඇති සැලසුම් කල්පිත වලට සීමා වී ඇති බවක් පෙනී යයි. ඒ පිළිබඳව දැනට ඇති එකම සහතිකය කාෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා විසින් එහි වගකීම භාරගන්නා බවට කළ ප්‍රකාශය පමණි. මැති ඇමැතිවරුන්ගේ එවැනි ප්‍රකාශ පිළිබඳව රටේ තිබෙන්නේ ඉහළ පිළිගැනීමක් නොවන බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

රසායනික පොහොර යොදන එකම වගාව වී සහ එළවළු, පලතුරු වැනි භෝග පමණක් නොවේ. තේ, පොල්, රබර් ඇතුළු සියලු‍ මහා පරිමාණ කෘෂි කර්මාන්තවලටද රසායනික පොහොර භාවිත කෙරේ. එක්වරම ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පොහොර ගෙන්වීම අත්හිටුවීම මේ සියලු‍ කෘෂිකර්මාන්තවලට බලවත් හානියක් ගෙනදීමට පවා හේතු වනු ඇත. තහනම ක්‍රියාත්මක වනවිට ප්‍රමාණවත් පොහොර තොග නොමැති ගොවීන්ටත් වතු හිමියන්ටත් ඊළඟට සිදුවන්නේ කළුකඩයේ පිහිට පැතීම පමණි. එය වියදම දෙගුණ තෙගුණ කරන පියවරකි.

රසායනික පොහොරවලට ඇබ්බැහි වීම නැතහොත් වහල්වීම යහපත් තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එහෙත් එම වහල් බවින් මිදීම එකවරම සිදුකළ නොහැකි බව විද්‍යාඥයන් බොහොමයකගේ පිළිගැනීම වෙයි. කාබනික පොහොරට සහ කාබනික කෘෂිකර්මයට වසර කිහිපයක පෙර සූදානමක් තිබිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. රසායනික පොහොර තහනම දෙස සුබවාදීව බලන විද්‍යාඥයන් කිහිප දෙනකුද පෙන්වාදී තිබුණේ ශ්‍රී ලංකාව තුළ භාවිත කළ හැකි කාබනික පොහොර වර්ග සහ මෙරට ගොවිබිම්වල භූගෝලීය ව්‍යාප්තිය සහ වගා කෙරෙන බෝග පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව මෙවැනි තීන්දු ගැනීමෙන් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවය. කාබනික පොහොර පසට යෙදීම ආවාට ගියාට කළ නොහැකි බවද රසායනික පොහොර භාවිතය දීර්ඝ කාලයක් තිස්සේ සිදුකිරීම හේතුවෙන් පසෙහි ඇතිවී තිබෙන විපර්යාස පිළිබඳ නිසි ලෙස සිදුකෙරෙන අධ්‍යයනයකින් පසුව පමණක් එවැනි වෙනසකට යා හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ එක්ව රසායනික පොහොර භාවිතය නැවැත්වූ පසුව මෙරට කෘෂිකර්මයට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විවිධ පර් යේෂණ සිදුකරන බවද සඳහන්ය. පවතින රසායනික පොහොර විෂම චක්‍රයෙන් මිදිය යුතු වන්නේ ක්‍රමානුකූලව සිදුකෙරෙන වැඩපිළිවෙළකට අනුව බවද ප්‍රකාශිතය.

රසායනික පොහොර භාවිතය නැවැත්වීම දෙස දේශපාලන දෘෂ්ටි කෝණයෙන් පමණක් බැලීම අනුචිත බව අපගේ අදහසය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් මිලියන 02කට පමණ ආසන්න ගොවි ජනතාව සහ මෙරට ප්‍රධාන බෝග වගාවන් වන තේ, පොල්, රබර් කර්මාන්තකරුවන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳ වැටහීමකින් තොරව මෙවැනි ක්ෂණික තීන්දුවලට එළඹීමේ ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බවද පෙන්වාදීමට කැමැත්තෙමු. පොහොර නැතුව අස්වනු පාළු වී ගියොත් ඉතිරි කරගත හැකි ඩොලර් මිලියන 400 පිළිබඳව කතා කිරීමෙන් පලක් නැතිවනු ඇත.

(***)



අදහස් (3)

යළි සාකච්ඡා කළයුතු පොහොර තීන්දුව

Raveendra Tuesday, 18 May 2021 09:24 AM

රසායනික හා කාබනික පොහොර සහ කඹඇදීම පිළිබඳව හොඳ විග්‍රහයකි. මෙය දේශපාලනික තීන්දුවක් වුවත්, නොවුණත් රටේ අනාගත පරපුරේ උන්නතිය උදෙසා මෙවන් තීරණයක් ගත්තේ නම් අප එය අගය කළයුතුයි. මක්නිසාදයත් අපගේ ජීවිත කාලයේ සැඳෑසමය ගෙවනවා විය හැකියි. එනමුත් අපගේ අනාගත පරපුරත් වර්තමාන පරපුර මෙන් රෝගී පරපුරක් ලෙස දැකීමට අප කැමතිද අකමැතිද යන්න අපම තීරණය කළ යුතුයි. අස්වනු අඩුවිය හැක. එහි තර්කයක් නොමැත. එ් නමුත් මෙවන් තීරණ අමාරුවෙන් හෝ ගන්නේ නම් එය වඩාත් සුබවන්නේ අනාගත පරපුරට යන්න සිතෙන්නේ අපට පමණමද? කෙසේ වෙතත් "දියවන්නාව පට්ටියට මීහරකුන් තොරණ ඊළඟ ගොන් පොරපිටියේ" අපි බලයට පැමිණි විගස සියලුම ගොවීන්ට දවසක් ඇතුළතදීම සියලුම රසායනික පොහොර ලබා දෙන්නෙමු. යන නිවට, තකතීරු, සටන් පාඨය කරලියට එනු නියතයි. කෙසේ වෙතත් දියවන්නාව පට්ටියට යාමට පොරකන මීහරකුන් සියල්ලන්ටම අප ප්‍රසිද්ධියේ මෙසේ අරාධනා කරන්නෙමු. "නුඹලාගේ ලාඩන් ගසන ලද කුර සහිත පාද යාත්‍රා" සමගින් මහරගම අපේක්ෂා රෝහලේ සියලුම නිවාසික රෝගීන් දැකබලා ගැනුමට එම රෝහලේ සංචාරයක් කරන ලෙසයි. එසේ සංචාරය කළ කිසිඳු අයෙක් ඉන්පසු රසායනික පොහොර පිළිබඳව කතා නොකරනු නියතයි.

:       1       11

Ca Tuesday, 18 May 2021 02:56 PM

වැදගත් ලිපියක්.... පිළිකා හා බෝ නොවන රෝග සඳහා එකම හේතුව රසායනික පොහොර හා පළිබෝධ නාශක නොවේ. කෘත්‍රිම වර්ණකාරක, රසකාරක, සැකසූ ක්ෂණික ආහාර, පොලිතීන් පිලිස්සීම, ඉලෙක්ට්‍ර්‍රෝනික හා කාර්මික අපද්‍රව්‍ය ජලමූලාශ්‍රවලට මුදාහැරීම වැනි දේත් ඊට හේතුවේ. එවැනි දේවල් පාලනයට ක්‍රමවේද සැකසිය යුතුයි. කෘෂිරසායනික භාවිතය ක්‍රමයෙන් නතර කළ යුතුයි.. රසායනික ක්‍රම වලින් තොරව යාන්ත්‍රික හා ජීවවිද්‍යාත්මක ක්‍රම මගින් කෘෂිකර්මාන්තයේ යෙදීමට අපේ ජනතාව හුරුකරවීමට බිම් මට්ටමේ ක්‍රමවත් වැඩපිලිවලක් තවම සැකසී නෑ... ද්විත්ව පහර ත්‍රිරෝදරථවලට අමතර කොටස් ආනයනය නැවැත් වීමෙන් සිව්පහර ත්‍රීරෝද රථවලට ජනතාව හුරු කළ ආකාරයෙන් සිදුකළොත් නරකද? එකවරම පොහොර තහනම් කිරීමෙන් මෙවැනි ව්‍යවසනකාරී අවස්‍ථාවක රටේ ආහාර සුරක්ෂිතතාව බිදවට්ටවා ගැනීම සුදුසුයිද?

:       0       4

0 Friday, 21 May 2021 10:00 AM

කාබනික රසායනික මිශ්‍ර පොහොර යොදා වගාකිරීම සුදුසුය. කාබනික පොහොර පමණක් යෙදීමෙන් වගාවට අවශ්‍ය පෝෂක ලබාදීම දුෂ්කරය..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site