ප්‍රවාහන සේවාව නගාසිටුවීමේ පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන්කිරීමට හැකි පසුබිම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තා කළේය. ඉතා කුඩා අරම්භයකින් ලොකු වෙනසක් කළහැකි බවත් බස් රථය සෝදා පිරිසුදුකර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන්ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදිම ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කළ හැකිය. ඉතා කුඩා වෙනසකින් ලොකු ආකල්පමය වෙනසක් කළ හැකිය. එය ආරම්භ කිරීමට වඩාත් සුදුසුම ස්ථානය බස්රිය හා දුම්රිය වේ.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම පරමාධිපත්‍යයේ බලය හිමිවී ඇත්තේ ජනතාවටය. සියලු බල අධිකාරින් අභිබවා මුදුනත රැඳී සිටින්නේ ජනතාවය. ව්‍යවස්ථාවේ වගන්ති හරහා පොදු මහ ජනතාවට සාඩම්බර පදක්කම් පැළඳුවද මහජනයා විඳින දුක දන්නේද මහ ජනයාමය. එයට හොඳ උදාහරණ ලෙස මෙරට බස් රථ සේවාව හා දුම්රිය සේවාව හැඳින්විය හැකිය.
රටක අංක එක බවට මාර්ග පද්ධතිය සලකන්නේ නම් රටක අංක දෙක බවට පත්විය යුත්තේ පොදු ප්‍රවාහන සේවාවය. ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මුරගල් බවට මේවා පත්ව තිබේ. පොදු ප්‍රවාහනය බිඳවැටී ජරාජීර්ණ වී තිබේ නම් එයම රටේ ආර්ථික පරිහානියට ප්‍රධාන සාධකය වේ. මන්ද යත් රටේ ආර්ථිකයේ නිෂ්පාදනය ජනතාව වන හෙයිනි. ඔවුන්ට යහපත් කායික මානසික සුවයක් අවශ්‍ය බව ඒකාන්ත සත්‍යයකි.
නිවෙසින් පිටවන ජනයා රැකියා ස්ථානයට යති. ඔවුන් යන්නේ රැකියාවට අදාළ වගකීම් ඉටුකිරීමටය. ඒ සඳහා යහපත් මනසක් තිබිය යුතුය. එහෙත් සාඩින් පැටෙව්වාක් මෙන් සෙනඟ පුරවන ලද බස් රථයේත්, දුම්රියේත් තෙරපී මිරිකී චප්ප වී යන මිනිසාට එවැනි යහපත් මනසක් ඇතිකර ගැනීම පහසු නැත. පිළිවෙළට ඇඳ පැළඳ බස්රියට දුම්රියට ගොඩවන මිනිසාට රැකියා ස්ථානයට යාමට සිදුවන්නේ වැරහැලි බවට පත්වූ ඇඳුමෙන්ය. දිනපතා දුම්රියෙන්, බස්රියෙන් රැකියාවට යන එන ජනයාට මේවා අමුතු අත්දැකීම් නොවේ.
ඇතැම් බස්රථවල වීදුරු කවුළු වැසිය හැකි නොවේ. වැසි දිනට බස් රිය තුළම නා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවේ. ඇතැම් දුම්රිය මැදිරිවල වහළයේ හිඩැස් අතරින් අහස පෙනේ. වැසි දිනට එම දුම්රිය මැදිරියේ තෙරපෙමින් යන ජනයාට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නොවේ. ඇතැම් දුම්රියවල ඇති වැසිකිළියෙන් නැගෙන දුර්ගන්ධයෙන් මුළු දුම්රියම පිරී පවතී. මෙවන් පොදු ප්‍රවාහන සේවාවකින් සිදුවන්නේ මනුෂ්‍ය ගරුත්වයට අයත් අන්තිම බිංදුවද කෙලෙසී යාමය.
මහජනයාගේ ඡන්දයෙන් දියවන්නාව තරණය කර මැති ඇමැති පුටුවල වාඩිවූ ගරු කටයුතු මහජන නියෝජිතයෝ ආරක්ෂක රථ, පරිවාර රථ පිරිවරා ගෙන මහා මාර්ග දෙවනත් කරමින් අධි සුඛෝපභෝගී වාහනවල යති. එය එසේ වුවද බස් රථයේ පුවරුවේ එල්ලී ගොස් ලයිට් කණුවල, පාලම් බැමිවල, බෝක්කුවල වැදී "යන්නම්" කියාවත් කියාගන්න අවසර නොමැතිව නොඑන ගමන් යාමට සිදුවීමේ ඉරණම ජනතාවට බාර ගැනීමට සිදුවේ.
කරුණු කාරණා එපරිදිවන විට මහජනයා කෙතරම් අතෘප්තිකර මනසකින් ජීවත්වන්නේද යන්න වටහාගැනීම අසීරු නැත. මෙම අතෘප්තිකර මනස ඊළඟට මොළවන්නේ කෝපයයි. කෝපය පසුපසින් ඊළඟට එන්නේ වෛරයයි. උපන් බිමට ආදරය කරන්නැයි කොතෙක් කීවද මව්බිමට ගරහන මනසක් නිර්මාණය වන්නේ සහේතුකව නොවේ. එබඳු මනසක් නිර්මාණය වීම හෝ නිර්මාණය කර ගැනීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි වුවද එයට බලපාන සාධක අතර ප්‍රවාහනයට අදාළව ඇති සාධක බැහැර කළ නොහැකිය.
මෙරට මගී ප්‍රවාහන සේවය යනු ලාබ ලබන ව්‍යාපාරයක් නොවේ. එය සේවාවකි. එහෙත් රජයේ මගී ප්‍රවාහන සේවාව, පෞද්ගලික අංශය සමග තරගකාරී විය යුතුය. තමන්ට කොහොම වුවත් පඩි ලැබෙන්නේ යැයි ලංගම සේවකයා, දුම්රිය සේවකයා සිතන්නේ නම් ලංගම හෝ දුම්රිය කිසිදාක දියුණු කළ හැකි නොවේ. ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය වෙනස් කර මගී ප්‍රවාහන සේවාව දියුණූකරන ලෙසය.
තමන්ට රටෙන් යමක් ලැබෙන බව හැඟෙන විට, රටෙන් තමන්ට ගෞරවයක් පිදෙන බව වැටහෙන විට පුරවැසියාද තම යුතුකම් හා වගකීම් ඉටුකරන සාඩම්බර පුරවැසියන් බවට අනිවාර්යයෙන්ම පත්වේ. ඒ සඳහා වන කදිම ආරම්භයක් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඒ මගෙහි යාම බලධාරීන්ගේ වගකීමය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ලිපියක්..
අපූරු ලියමනක්... මගියා හා ප්‍රවාහනය පිළිබඳ ගැඹුරු කියවිමක්.. අදාල අයට නෙතුගැටිය යුතුම පැහැදිලි කිරීමක්. මේ තමයි සත්‍ය.. හැම දෙයක්ම පුරුකක් ලෙස බැඳිලයි පවතින්නේ... එය හඳුනාගෙන දුර්වල තැන්වලට නිවැරදි පිළියම් යෙදීමයි කළයුත්තේ... මිනිසාගේ හැම භෞතික ක්‍රියාකාරකමක් පසුපසම මනස තිබෙනවා. මනසේ ක්‍රියාකාරීත්වය භෞතික ක්‍රියාකාරකම් නිසා තවතවත් ඒ ආරයටම හැඩ ගැසෙනවා... පරිසරයක අපිරිසිදුභාවය නිසා මිනිස් මනස පවා කිළිටි වෙනවා... අපි මොන දේ පැවසුවත් ලංකාවේ සමාජ ස්ථර, ඒ අයගේ පරිසරය සහ වටපිටාව අධ්‍යයනයෙන් මේ බව මනාව වටහාගත හැකියි. පිරිසිදු, නිකැලැල්, සුවදායක පරිසරය මිනිස් මනස හැමවිටකම සුවපත් කරනවා...
බස්රථය නිවැරැදිව නඩත්තු කිරීම ලංගමයේ වගකීමක්... බස්රථය පිරිසිදුව තබාගැනීම නඩත්තුවේම කොටසක්.. කෝච්ච්යත් එහෙමයි. බස්රථ සහ දුම්රිය නිවැරදිව නඩත්තු නොකරනවාට විරුද්ධව නීතිය සම්මත කරගන්න අසමර්ථ දේශපාලකයෝ ඒක ජනතාවගේ පිටට දාලා තමන්ගේ වගකීම පැහැර හරිනවා. මගියා කළ යුත්තේ තමන් ගමන් ගන්නා රථය නිවැරැදිව පාචිච්චි කිරීම පමණයි.
තම මව්බිමට ආදරය කිරීමට පාලකයින් අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. මිනිසුන් නොව, සතා සිව්පාවන් පවා, තමා උපන් බිමට අසීමිතව සෙනෙහස දක්වයි. විශේෂයෙන් ලංකාව වැනි රටක වෙසෙන ජනතාව වෛර කරන්නේ තමන් උපන්බිමට නොව, මේ භුමිය තුළ වෙන දුර්දාන්ත වැඩපිළිවෙලටයි. කිසිවෙක්, තවකෙනෙකුට ගරුකරන හා රාජ්‍ය දේපලකට ගරුකිරීමට රටේ ජනතාවට නොසිතෙයි. ජනතාවගේ හිඟනකම හමුවේ, අමනකම හා තක්කඩිකම රජ කරමින් තිබෙයි. නියමිත වෙලාවට නොපැමිණෙන දුම්රිය හා බස්රථ පිරිසිදුව තබාගැනීමට ජනතාවට සිතක් පහළ වෙයිද? බොහෝ ප්‍රදේශවලට සවස හයෙන් පසුව බස් රථ ධාවනයක් නොමැත. ප්‍රමාද වී පැමිණෙන අපවිත්‍ර දුම්රියට හා බස් රථයට පයින් පහරක් ගසා ජනතාවගේ පීඩාව පිටකිරීමට ක්‍රමවේදය සැකසූ පාලකයින් හට දැන්වත් මේ තත්වය වෙනස් කිරීමට සිතුවිලි පහළවීම ගැන අප සතුටු විය යුතුයි...
ලංකාවේ මගීන්ට සිදුවී ඇත්තේ තියෙන විදියට පොදු ප්‍රවාහනය භාවිතා කිරීමයි. පොදු ප්‍රවාහනය පිරිසිදුව තබා ගැනීමට සේවකයින් සිටියත්, ඔවුන්ගෙන් සිදුවිය යුතු රාජකාරිය සිදුවන බවක් නොපෙනේ. මගීන්ද මේ කාර්යයේ යම් වගකීමක් දැරිය යුතුයි. ආසන වලට හානි නොකිරීම, ආසන සහ වැසිකිලිවල කුරුටු නොගා සිටීම, රථය තුල බුලත් කෙල, හුණු වැනිදේ තවරා නොසිටීම, වැසිකිළිය පිරිසිදුව භාවිතා කිරීම වැනිදේ මගීන්ගෙන් සිදුවිය යුතු යුතුකම් වේ. මෙලෙස දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පොදු ප්‍රවාහනය පිරිසිදුව තබා ගතහැකි බව මගේ අදහසයි.
ප්‍රවාහන සේවයේ අඩුපාඩු පිළිබඳව කතාකිරීමේදී අප කරණා බරපතලම වරද නම් සියලු වැරදි බස් සේවකයන් මතම පැටවීමයි. මගියා තමාගේ වගකීම් පිළිබඳව දැනුවත් කිරීමද ඉතාමත් අවශ්‍ය කරුණකි. කන රටකජ්ජේ පොත්තේ සිට චුයිංගම් එක දක්වා බසයේ දමා යන, අසුන මත තම චිත්‍ර, කැටයම් වැනි හැකියාවන් වැඩිදියුණු කරන, පෙම්මුල්ල කාමරයක් කරගන්නා, තිර රෙදි පිස්නාවන් කරගන්නා මගීන්ටද ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.
මෙය අදාල බලධාරීන්ගේ නෙත ගැටේවා. මුලින්ම සිදුවිය යුත්තේ විශ්වාසදායි සේවයක් සහ සැප පහසුව පිරිසිදුකම වැනි දේ ගැන පියවර ගැනීමයි.