IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පරිසර අලුත් ඒකකය ඉදිරි පියවරක්

පරිසරය සම්බන්ධයෙන් මේ දවස්වල ඇසෙන්නේම අවර ගණයේ කතාය. කැලෑ කැපීම්, සිංහරාජය ආසන්න ප්‍රදේශවල පරිසරයට හානිකර ඉදිකිරීම්, කඩොලාන පරිසර පද්ධති විනාශකර දැමීම්, කුඹුක් ගස් කපා දැමීම් මේ අතරින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවල ද අවධානය දිනාගත් මාතෘකා අතර විය. මේ විවේචන සහ වාර්තා කිරීම් පිළිබඳව පරිසරය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකර තිබුණේ මේ ගැන සොයාබැලීමට කටයුතු කරන නමුත් බොහොමයක් වාර්තා රජය අපහසුතාවට පත් කිරීම සඳහා සංවිධානාත්මකව සිදුකෙරෙන අසත්‍ය සිදුවීම් පදනම් කරගත් ඒවා බවය.

එය එසේ වුවද පරිසර විනාශය සම්බන්ධයෙන් කඩිනමින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සඳහා නව ඒකකයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මගින් ගනු ලැබූ තීරණයකට අනුව පිහිටුවනු ලබන නව ඒකකයට මාධ්‍ය ඒකකයක් ද අනුයුක්ත කිරීමට තීරණය වී තිබේ. පරිසරය සම්බන්ධයෙන් රටේ අසත්‍ය ප්‍රවෘත්ති සංසරණය වැළැක්වීමත් පරිසරය හා බැඳෙන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත් නව ඒකකය මගින් අරමුණු කරගෙන තිබේ.

පරිසර විනාශය සම්බන්ධයෙන් රජය දැඩි පරික්ෂාවකින් සිටින බව මේ තීන්දුවෙන් පැහැදිලි වෙයි. පරිසර, වනජීවී, වනසංරක්ෂණ, මහජන ආරක්ෂාව ඇතුළු අමාත්‍යංශ ද මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ද එම අලු‍ත් පරිසර ඒකකයට ඇතුළු කිරීමට තීරණය කිරීම ද යහපත් පියවරකි. එහෙත් මෙම ඒකකයේ අරමුණ විය යුත්තේ පරිසර විනාශය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් නීත්‍යානුකූලව කටයුතු කරන පරිසර සංවිධානවලට පාඩමක් ඉගැන්වීම නොවන බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. අලු‍ත් ඒකකයට රටේ පිළිගත් පරිසර සංවිධානවල වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුගේ හෝ සහාය ලබාගත හැකි ක්‍රමවේදයක් සැකසිය හැකි නම් එය එහි පරමාර්ථ වඩාත් කුළුගන්වනු ඇතැයි අපගේ වැටහීමය.

නව පරිසර ඒකකයට සහාය වීම සඳහා පිහිටුවනු ලබන මාධ්‍ය ඒකකයට තාක්ෂණික දැනුමින් පිරිපුන් පිරිසක් ද සම්බන්ධ කරගත හැකි නම් එය වඩාත් ඵලදායී වනු ඇති බව ද අපි අදහස් කරමු. එය රජයට සුදු හුණු ගාන හුදු මාධ්‍ය ප්‍රචාරක ආයතනයක් නොවිය යුතුය. පරිසරය පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ ඡායාරූප මුදාහරින පුද්ගලයන් සහ කණ්ඩායම් සිටී නම් ඔවුන් පිළිබඳ තොරතුරු සොයාබැලීම මෙන්ම සැබෑ කැලෑ පාළුවන්ගේ වතගොත හෙළිකරන ඒකකයක් වශයෙන් ද නව මාධ්‍ය ඒකකය ක්‍රියාත්මක වීම අවශ්‍යය. ප්‍රධාන අරමුණ වන පරිසරය රැක ගැනීමට සත්‍ය ලෙසම දායක විය හැක්කේ එවැනි නවමං ඔස්සේ ක්‍රියාත්මක වන ඒකකයකින් පමණි.

පරිසරය වැනසීමට කැලෑ කැපීම ප්‍රධාන හේතුවක් වුවද ඊට හේතුවන තවත් කාරණා ද බොහෝමයකි. ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීම, ගංගාවලට හානිදායක ලෙසට වැලි ගොඩදැමීම, කැළි කසළ අවිධිමත් ලෙස මුදාහැරීම, යෝගට් කෝප්පයේ පටන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන භාණ්ඩ පරිහරණයෙන් පසුව විද්‍යානුකූල ලෙස බැහැර නොකිරීම, විස සහිත දුමාරය වාතලයට එකතු කරන කම්හල්, මුහුද සහ ආසන්න ප්‍රදේශ අපවිත්‍ර කිරීම ඒ අතුරින් කිහිපයක් පමණි. පරිසරය වනසන මේ සියලු‍ හේතු පිළිබඳ විධිමත් ලෙස ගවේෂණය කිරීමත් ඊට වගකිවයුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමත් නව ඒකකයට පැවරෙන වගකීමක් වනු ඇත. පරිසර සංහාර පිටුපස සිටින සංවිධානාත්මක පිරිස හඳුනා ගැනීමට එය මෙවලමක් කරගත හැකිය.

පරිසරයට මහා පරිමාණ මට්ටමින් හානිදායක ලෙස කටයුතු කරන බලවත් පුද්ගලයන්ට දේශපාලන අධිකාරියේ සහාය ලැබීම මේ ගැටලු‍වේ සංකීර්ණ බව ඉහළටම ඔසවා තිබේ. සංචාරක හෝටල් සහ වැව් තාවුලු‍ සහ ගංගා පෝෂණ ප්‍රදේශ මත නවාතැන් පොළවල් ඉදිකිරීම හැම ව්‍යාපාරිකයකුටම කළ නොහැක. හිතුමතේ වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය. මේ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී දේශපාලන අධිකාරියේ සහාය ගැනීම බලවත් පුද්ගලයන්ගේ සිරිත වී තිබේ. සංවර්ධනයේ නාමයෙන් පරිසර හානි සිදුවීමට මග පෑදෙන්නේ ඒ ආකාරයෙනි.

පරිසර අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ නව ඒකකයක් පිහිටුවීමේ තීරණය ඉතා යහපත් ප්‍රවේශයක් බව කියන අතරම ඉහත සඳහන් කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම එය වඩාත් ඵලදායී ව්‍යාපෘතියක් බවට පත්කිරීමට හේතු වනු ඇතැයි පෙන්වාදීමට ද කැමැත්තෙමු.

(***)



අදහස් (0)

පරිසර අලුත් ඒකකය ඉදිරි පියවරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 268 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site