IMG-LOGO

පක්ෂයට වඩා ජනතා මෙහෙවර මුලට ගන්න

ඔක්තෝබර් 26 වැනිදා සිට දිගහැරුණු දේශපාලන අර්බුදයේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන ලද තීන්දුවක් සමඟ ඇතිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් පසුගිය 09 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කරන ලද අතුරු නියෝගය ඊට නිමිත්ත වී තිබේ. දෙසැම්බර් 07 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද එම නියෝගය හේතුවෙන් ලබන ජනවාරි 05 වැනිදාට දින නියම කර තිබූ මහ මැතිවරණය ද නොපැවැත්වෙනු ඇත.

ඊට අදාළ පෙත්සම් දෙසැම්බර් 4, 5 සහ 6 දිනවල විභාගයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර තිබේ.
මෙම අතුරු නියෝගය ලබාදීමෙන් පසුව ඊයේ (14) පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා පියවර ගත්තේය. එහිදී විශාල ගාලගෝට්ටි, පක්ෂ මාරුකිරීම් මැද හඬින් ගනු ලැබූ ඡන්දයකින් පසුව පවතින ආණ්ඩුවට බහුතරයක් නොමැති බව කතානායකවරයා විසින් ප්‍රකාශ කරනු ලැබීය. ඉන් පසුව අද (15) උදේ 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි. අදාළ බහුතරය ලිඛිතව දැනුම් දෙන අත්සන් ගැනීම් ඊයේ දහවල් වනවිට සිදුවෙමින් පැවැති බව ද වාර්තා වූ අතර ඉන්පසුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කතානායකවරයා විසින් ගනු ලබන තීන්දු දෙස දැන් රටේම අවධානය යොමුවී තිබේ.

තත්ත්වය මෙසේ පවතිද්දී මේ රටේ පාර්ලිමේන්තුවට තම නියෝජිතයන් පත් කර එවූ මහජනතාව මේ දේශපාලන කරළියේ තිරයෙන් ඉදිරිපස පෙනෙන ජවනිකාවල ප්‍රේක්ෂකයන් බවට පත්ව සිටිති. නොවැම්බර් 05 වැනිදා ඉදිරිපත් වීමට නියමිතව තිබූ එහෙත් මේ අලකලංචි හේතුවෙන් ඉදිරිපත් නොකෙරුණු 2019 වසරේ අයවැය පිළිබඳ ඔවුන් තුළ කිසියම් හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් දැන් එය මේ දේශපාලන කුණාටුවට හසුවී ගසාගෙන ගොස් තිබේ. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු‍ මැති ඇමැතිවරුන්ගෙන් අපට කළ හැකි ලොකුම ඉල්ලීම වන්නේ රටේ මහජනතාවගේ සුබසිද්ධිය පිළිබඳව අමතක නොකරන ලෙසටය. මේ ගතවෙමින් තිබෙන්නේ වසරේ අවසාන සති කිහිපයයි. එය මේ තරම් අර්බුදකාරී ලෙස ගෙවෙනු ඇතැයි මහජනතාව නම් කිසිසේත් නොසිතන්නට ඇත. බලය පිළිබඳ අර්බුදය හැකි ඉක්මනින් විසඳාගැනීම ඒ සඳහා තිබෙන හොඳම විසඳුමය.

අප එසේ කියන්නේ අදාළ පෙත්සම් පිළිබඳ නඩු විභාගය අසා නිමවන තුරු පාර්ලිමේන්තුව තුළ බල අරගලය දිගටම පවත්වාගෙන යාමට ඇතැම් මැති ඇමැතිවරුන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබීමය. එය අනුචිත බව අපගේ වැටහීමය. පාර්ලිමේන්තුව තුළ කේන්ද්‍රගත වී පවතින්නේ රටේ මහජනතාවගේ බලයයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතා පරමාධිපත්‍යය වශයෙනි. එකී පරමාධිපත්‍යය ආරක්ෂා කර දීම පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂ - විපක්ෂ සියලු‍ මන්ත්‍රීවරුන්ගේ පරම යුතුකම විය යුතුය. පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුගතව කටයුතු කරමින් ජනතාව අමතක කිරීම කිසිදු දේශපාලන නායකයකුගේ වගකීම නොවන බවත් මෙහිදී පෙන්වා දිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන ලද තීන්දුව මගින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ බවත් ව්‍යවස්ථාවේ සැකමුසු තැන් අවසාන බවත් රටේ නිදහස් ස්වාධීන වාතාවරණයක් බිහිවී ඇති බවත් එ.ජා. පෙරමුණ දරන මතය වී තිබේ. සන්ධාන නායකයන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබූ පසු පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයාට කිසිදු නීතිමය බලයක් නැති බවය. මැතිවරණ අවලංගු කර නැති බවත් මෙහිදී සිදුවී ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමේ පළමු පියවර බවත් මැතිවරණය ලබාගැනීම සඳහා තමන් අඛණ්ඩව කටයුතු කරන බවත්ය. මේ ප්‍රකාශවල හරි වැරැදි සොයා බැලීම අපගේ කටයුත්තක් නොවූවත් පවතින සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරැදි අවබෝධයකින් කටයුතු කිරීම සියලු‍ මන්ත්‍රීවරුන්ගේ වගකීමය. රටත් ජනතාවත් අපහසු තත්ත්වයට පත් නොකර රජයේ නිලධාරීන්ට ද තම රාජකාරී නිරවුල් මනසකින් ඉටුකිරීමට හැකි වාතාවරණයක් බිහිවනු දැකීම අප සියලු‍ දෙනාගේම අපේක්ෂාවයි.

මෙරට තුළ ඇතිවූ දේශපාලන අර්බුදය ලොවේ බොහොමයක් රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක්ව ඇති බව ද නොරහසකි. ඔක්තෝබර් 26 වැනිදා සිට මේ දක්වා ප්‍රබල රටවල් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද යුරෝපා කොමිසම ද නිකුත් කළ නිවේදන ගණනාවක් තිබේ. ඒ හැම නිවේදනයකින්ම ඉල්ලා තිබුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන ලෙසත්ය. එහෙත් රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ හොඳම මිනුම් දණ්ඩ වන කලට වේලාවට ඡන්දය පැවැත්වීම පසුගිය කාලය තුළදී මාස ගණන්වලින් අවුරුදු ගණන්වලින් කල් දැමෙන විට ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය මතක් නොවීම අවාසනාවකි. මීට වසරකට පෙර පැවැතිය යුතු පළාත් සභා කිහිපයකම ඡන්දය තවමත් පවත්වා නැත. එය පළාත්වල ජීවත් වන ජනතාවගේ මූලික අයිතිය කඩවීමකි. ඡන්ද කල්දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරකි. ඒ සම්බන්ධයෙන් ද ජාත්‍යන්තරය උනන්දු වී නම් අපේ මේ දේශපාලන අර්බුදය මෙතරම් සංකීර්ණ වීමට ඉඩක් නොතිබූ බව අපගේ වැටහීමය.

ඉදිරියේදී කුමක් සිදුවුවද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට කිසිවකුටත් ඉඩ තැබිය යුතු නැත. එසේම 2015 වසරේදී බලයට පත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වූ එක්සත් ජාතික පෙරමුණ විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ මහජනතාවගේ බලවත් කලකිරීමට හේතු විය. එය ද රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමට වගකිවයුතු බව ද මෙහිදී පෙන්වාදීම අවශ්‍යය. එසේම අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයකටම විරෝධයපාමින් නැති අර්බුද හැදීමට කටයුතු කළැයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සන්ධානයට ද චෝදනා එල්ල විය. ඉදිරි කාලය තුළදී මේ වැරැදි හදාගෙන කටයුතු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ජනතාවගේ යහපතටත් හේතු වනු ඇත.



අදහස් (0)

පක්ෂයට වඩා ජනතා මෙහෙවර මුලට ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site