IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


නව මුදල් ඇමැතිට අභියෝග රැසක්

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊයේ (08) පෙරවරුවේ දිව්රුම් දුන්නේය. පොදුජන පෙරමුණු පක්ෂයේ නිර්මාතෘවරයාද වන බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂය පිහිටුවා කෙටිකලක් තුළදී ජනාධිපතිවරයකු සහ තුනෙන් දෙකක බලයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීමේ ලා පුරෝගාමී භූමිකාවක් ඉටුකළ කෘතහස්ත, පරිණත දේශපාලනඥයකු වශයෙන් රටේ පිළිගැනීමට ලක් වී සිටියි. මේ පසුබිමේ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අහඹු සිදුවීමක් නොවේ. සිදුවූයේ එය තරමක් ප්‍රමාද වීම පමණි.

රටක මුදල් අමාත්‍ය ධුරය යනු එරට ඉදිරි ගමනේ පහන්ටැඹ වශයෙන් ක්‍රියාකරන ජනාධිපති සහ අගමැති ධුර දෙකට පමණක් දෙවැනි වන බලසම්පන්න අමාත්‍ය ධුරයද වෙයි. ඒ අර්ථයෙන් ගත්කල බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන්නේ භාරදූර වගකීම් සමූහයකි. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ අග්‍රාමාත්‍යවරයා හා සම්බන්ධ වෙමින් එම වගකීම් සමූහය ඔහු අතින් ඉටුවනු ඇතැයි ඔහුගේ සෙසු මැති ඇමැතින් මෙන්ම පාක්ෂිකයන්ද තබා ඇත්තේ විශාල බලාපොරොත්තුවකි.

අදාළ වගකීම් පිළිබඳව සඳහන් කරනවිට අද රට මුහුණ දී සිටින බරපතළ ගැටලු‍ පිළිබඳවද සියලු‍දෙනාගේ අවධානය යොමුකිරීම අවශ්‍ය වෙයි. රට දැඩි ලෙස පීඩනයට පත්කළ සහ පත් කරමින් තිබෙන සාධක කිහිපයක් පමණක් ගෙනහැර පෑම මෙහිදී ප්‍රමාණවත් වනු ඇත. මෙහිදී අංක එකට ඇත්තේ ඩොලර් අහේනිය, සංචිතය ක්ෂය වීම ඇතුළු රටේ ආර්ථිකයේ කඩා වැටීමට විසඳුමක් සොයාගැනීමය. එසේම කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කර ගැනිම සහ එය පැතිර යාමෙන් මතු වූ තවමත් විසඳුමක් නොලැබුණු ගැටලු‍ ගණනාවක්ද වෙයි. රසායනික පොහොර ආනයනය එකවර අත්හිටුවීමෙන් රටේ ගොවි ජනතාවද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සෙසු ආයතන සහ සමාගම්ද මුහුණ දී සිටින ගැටලු‍වලට ඉක්මන් විසඳුම් සෙවිය යුතු වෙයි. පොහොර ප්‍රශ්නය හේතුවෙන් ඉදිරියේදී සහල් ඇතුළු බෝග වගාවල අස්වැන්න අඩුවීමෙන් රටේ සියලු‍ ජනතාවට මුහුණදීමට සිදුවිය හැකි ප්‍රතිවිපාකවලටද දැන් තබා විසඳුම් සොයාගැනීමද අවශ්‍යය. කළුකඩේ රුපියල් 225ට විකිණෙන ඩොලරය හමුවේ හැකිලී යන රුපියලට යළිත් වටිනාකමක් ලබාදීමද අභියෝගයකි. මේ අලු‍ත් මුදල් ඇමැතිවරයාට ඇරියුම් කළ සියලු‍දෙනාම විසින් බන්දේසියක තබා පිළිගන්වනු ලබන ගැටලු‍වලින් කොටසක් පමණි.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ගමන ඔහුගේ අනුගාමිකයන්ගේ සතුටට සහ පිළිගැනීමට හේතු වුවද විපක්ෂයේ දේශපාලන පක්ෂවල ප්‍රධානීන්ගේ දැඩි විවේචනයටද ලක්වී ඇති බවද රහසක් නොවේ. ඔවුන්ගේ මතයට අනුව රජයේ මෙහෙයුම් යාන්ත්‍රණය පිටුපස මේ දක්වාම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රබලම චරිතයකි. මේ නිසා බැසිල් රාජපක්ෂ මහතාට අමුතුවෙන් කළ හැකි රාජකාරියක් නොමැති බවද රජය මෙතෙක් ගනු ලැබූ තීන්දු පිටුපසද ඒ මහතා සිටි බැවින් රට අද මුහුණ දී සිටින තත්ත්වයට ඒ මහතාද වගකිවයුතු බවද විපක්ෂයේ තර්කය වී තිබේ. එය එසේ නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ ලොකුම අභියෝගය වශයෙන් අපි දකිමු.

අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පවතින බරපතළ ගැටලු‍වලට එක රැයින් විසඳුම් සෙවිය නොහැක. එසේම මුදල් ඇමැති ධුරය මාරු කිරීමෙන් පමණක් සියලු‍ ගැටලු‍වලට විසඳුම් ලැබේ යැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් සිතනවා නම් එය තමන් විසින් තමන්ම මුලාවේ දමා ගැනීමකි. එසේ විසඳුම් ලබාදීමට නම් බැසිල් රාජපක්ෂ මහතා සන්තකයේ ‘‘ඇලඩින්ගේ පුදුම පහන’ තිබිය යුතු බව අඟවන කාටුන් පසුගිය දිනවල මාධ්‍යවලද දැකගත හැකි විය. මේ නිසා තමන් දැඩිව විවේචනයට හසුකරන දේශපාලන සතුරන්ට වඩා ප්‍රමාණයටත් වඩා තමන්ගේ භූමිකාව පුම්බා පෙන්වන දේශපාලන මිතුරන්ගෙන් බැසිල් රාජපක්ෂ මහතා පරෙස්සම් විය යුතු යැයි සඳහන් කරමු.

අද රටේ පවතින ආර්ථික සෝදාපාළුවට නිදහසින් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුය. මේ රටේ පාලනය භාරගත් බොහොමයක් රාජ්‍ය නායකයෝ තමන්ගේ බලය රැකගැනීම සඳහා ඡන්ද දායකයාගේ සිත් සනසන සුබසාධන රාජ්‍යයකට පාර කැපුවා මිස ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු ගනිමින් රටේ අනාගත යහපත උදෙසා තිරසාර විසඳුම් ලබාදීමට ක්‍රියා නොකළහ. එහි ප්‍රතිඵල දැන් ඇස් පනාපිට පෙනෙන්නට තිබේ. ඒ ගැන අදහසක් ඇති කර ගැනීමට අප සමඟ නිදහස ලබාගත් සෙසු රටවල් අද ආර්ථික වශයෙන් සිටින ස්ථානයත් රටක් වශයෙන් අප රැඳී සිටින ස්ථානයත් සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය. මේ සියලු‍ ගැටලු‍ අමාත්‍ය ධුරය වෙනස් කිරීමෙන් පමණක් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු තැබීම මිරිඟු‍වක් පසුපස දිවයාමක් පමණි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටීමට එක් හේතුවක් වූයේ බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ නිසි වේලාවේදී දැඩි තීන්දු ගැනීමට අසමත් වීමය. එවැනි තීන්දු ගැනීමට සූදානම් වනවිට විපක්ෂය රටේ ජනතාව අවුස්සා එයින් කෙටිකාලීන පටු දේශපාලන වාසි ලබාගත්තේය. විපක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව එම චක්‍රයම යළි ක්‍රියාත්මක වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.

ඒ ආකාරයට ක්‍රියාත්මක වූ විෂම චක්‍රය මේ රටට ඇතිකර තිබෙන විනාශයේ තරම පාඩු ලබන රාජ්‍ය ආයතන ක්‍රමානුකූලව වැඩි වූ ආකාරයෙන් පෙනී යයි. ඛනිජ තෙල් සංස්ථාව, ලංවිම, දුම්රිය, ශ්‍රීලංකන් ඊට උදාහරණ කිහිපයකි. ඛනිජ තෙල් සංස්ථාවේ එක් සේවකයකු නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් 180,000ක දළ වියදමක් දැරීමත් රටේ සෙසු සාමාන්‍ය ජනතාවට තම තෙල් අවශ්‍යතා වෙනුවෙන් දැරීමට සිදුවන මිල දිනෙන් දින ඉහළ යාමත් මේ ඛේදවාචකයේ සැබෑ ස්වරූපය පෙන්වන එක හරස්කඩකි. මූල්‍ය අර්බුදයක ගිලෙමින් තිබෙන රට ගොඩගැනීම තමන් වේදිකාවට නැංවූ තම අනුගාමිකයන් කියන තරම් සරල නොවන බව බැසිල් රාජපක්ෂ මහතාද නොදන්නවා විය නොහැක. එහෙත් එම අභියෝගය බාරගන්නවා හැර වෙනත් විකල්පයක්ද නව මුදල් ඇමැතිට නැත.

(***)



අදහස් (1)

නව මුදල් ඇමැතිට අභියෝග රැසක්

චාමින්ද බාලසුරිය Friday, 09 July 2021 03:32 PM

පවුලක් පමණක් ගොඩය...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site