IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව කෘෂි ඇමැතිගේ අනතුරු ඇඟවීම

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ලැබීමට නියමිත බව පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. එයින් කොටසක් ඉන්දියාවෙන් නැව් ගතකර ඇති බවට සඳහන් ප්‍රවෘත්තිද පළ විය. මේ පොහොර යල කන්නය සඳහා ගොවීන්ට බෙදාදිය හැකි බවට සහ යූරියා මිටියක් රුපියල් 10,000ක මුදලකට ලබාදිය යුතු බවටද මත පළ විය. මේ ප්‍රවෘත්තිය ගොවීන්ගේත් පොදුවේ ජනතාවගේත් ප්‍රසාදයට හේතු වී තිබිණි.

එහෙත් ඉන්පසුව නව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ඊට ඉඳුරාම වෙනස් අදහසකි. අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අනුව යල කන්නයට ගොවීන්ට ලබාදීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනැවිත් නැත. අඩුම තරමින් එවැනි පොහොර එවීමක් සම්බන්ධයෙන් ඉන්දියාවේ සූදානමක්ද නැත. මේ නිසා යල කන්නයට පොහොර ලබාදීම ගැන විශ්වාසයක් නැත. එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ යල කන්නයට මහන්සි වීමෙන් ප්‍රතිඵලයක් නැති බවය. ලබාගත හැකි වන අස්වැන්න සියයට 50 ක් පමණ වනු ඇති බවට ඔහු අනාවැකි පළ කරයි.

අමාත්‍යවරයාගේ කතාවට අනුව ඉන්දියාවෙන් ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ලැබෙන බවට කර ඇති ප්‍රකාශය ටොම් පචයකි. අඩුම තරමින් ආණ්ඩුව යූරියා පොහොර හොණ්ඩරයක්වත් ගෙන්වා නැත. එවැනි තත්ත්වයක් තිබියදී රටේ ගොවි ජනතාව තුළ බොරු බලාපොරොත්තුවක් ඇති කිරීමට කටයුතු කළෝ කවරහුද යැයි වහාම සොයා බැලිය යුතුය. මෙය ආණ්ඩුවට දුන් ජාත්‍යන්තර ලණුවක්ද නැතහොත් ජනතාවගේ සිත් පහන් කරනු පිණිස ප්‍රචාරය කෙරුණු සිත නිවන කතාවක්ද යන්න මුලින්ම තෝරාගත යුතුවෙයි. මෙය රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් සිදුකෙරුණු බරපතළ රැවටීමක් බැවිනි.

ඔක්තෝබර් වනවිට ලෝක ආහාර අර්බුදයක් එන බවට සිදුකෙරෙන අනාවැකි මැද ශ්‍රී ලංකාව මෙවැනි ඉරණමකට මුහුණ දීම සම්බන්ධයෙන් සියලු‍ දෙනා තුළ සාධාරණ බියක් පහළ වීම වැළැක්විය නොහැක. අමාත්‍යවරයාම පවසන පරිදි පවතින තත්ත්වය යටතේ ඉදිරි මාස තුනක කාලය තුළදී රටේ වී මිල සිතාගත නොහැකි මට්ටමින් ඉහළ යනු ඇත. සහල් මිලටද අත්වනු ඇත්තේ එම ඉරණමය. සැප්තැම්බර් මාසය වනවිට රටේ අස්වැන්න බරපතළ කඩා වැටීමට ඇත්තේ ලොකු ඉඩකි. මෙවැනිම ආහාර හිඟයක් අනාගතයේදී ඇතිවිය හැකි බවට සිදුකෙරෙන පුරෝකථන හේතුවෙන් වෙනත් රටවලින් සහල් ගෙන්වා ගැනීමද ඉතා දුෂ්කර තත්ත්වයකට තල්ලු‍ වීම වැළැක්විය නොහැක. එසේ වුවහොත් අවශ්‍ය සහල් ප්‍රමාණය යන්තමින් හෝ පිරිමසා ගැනීමට ඉන්දියාව වැනි රටවල් ඉදිරියේ වැඳවැටීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

මෙහිදී පෙන්වා දිය යුත්තේ රටේ පවතින ආහාර අර්බුදය අහම්බෙන් ඇතිවූවක් නොව ආණ්ඩුව මගින් ගන්නා ලද අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් සිදුවූවක් බවය. මැයි 18 වැනිදා අල් ජසීරා නාළිකාවේ එක් සිරස්තලයක් වූයේ ශ්‍රී ලංකාවේ ගොවීන් වගාව අත්හැරීම හේතුවෙන් මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවය. වරක් කෘෂිකාර්මික වශයෙන් ස්වයං පෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතහැර කාබනික පොහොර භාවිතයට ගනු ලැබූ සැලසුමකින් තොර තීරණය හේතුවෙන් ආහාර සැපයුම වේගයෙන් කඩා වැටුණු බවද එහි සඳහන් විය. එසේම මැයි 15 සහ 16 දෙදින තුළ එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස්, ද සන්ඩේ ටයිම්ස් පුවත්පත්වලද 14 වැනිදා ද ඉකොනොමිස්ට් පුවත්පතද ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික අර්බුදයේ ගමන් මග සම්බන්ධව මත පළකර තිබිණි. එයින් වත්මන් ආණ්ඩුව මගින් ගනු ලැබූ වඩාත්ම විනාශකාරී තීන්දුව වශයෙන් හඳුන්වා තිබුණේ කාබනික වගාවට එක රැයින් මාරුවීමය. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය තහනම හේතුවෙන් සහල් නිෂ්පාදනය කඩා වැටී මිල ගණන් ඉතා ඉහළ ගිය බවද එම වාර්තාවල සඳහන් වී තිබිණි.

වත්මන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාද ඉහත සඳහන් විනාශකාරී තීන්දු ගත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහු ඒ දිනවල මේ තීන්දු වෙනුවෙන් පෙනී සිටියා මිස එහි ආදීනව පෙන්වාදීමට ඉදිරිපත් වූයේ නැත. මෙරට කෘෂිකර්මය කරවටක් ගිලී නහයටත් උඩින් ගියාට පසුව වී මිල, සහල් මිල ගැන කතා කිරීමෙන් පලක් නැත. රසායනික පොහොර භාවිතය එක රැයින් අතහැරීමට ගත් විනාශකාරී තීන්දුව සාධාරණීකරණය කළ හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ අමාත්‍යවරයාද ඇතුළු එවකට සිටි සියලු‍ අමාත්‍යවරුන් මේ බරපතළ ඛේදවාචකයේ වගකීම භාරගත යුතුය. රසායනික පොහොර ගෙන්වාදීම හැර වෙනත් විකල්පයක් නැති බව දැන්වත් තේරුම් නොගත්තොත් සිදුවනු ඇත්තේ මහත් විනාශයකි.

(***)



අදහස් (2)

නව කෘෂි ඇමැතිගේ අනතුරු ඇඟවීම

LGPJ Sunday, 05 June 2022 11:03 AM

හම්බන්තොට පිටුපස දොරක් කළින්ම ලෑස්ති කරලයි තියෙන්නේ...!

:       0       0

LGPJ Sunday, 05 June 2022 11:45 PM

පිටිපස්සේ දොර හැමතිස්සේම විවෘතයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site