IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිමක් නොපෙනෙන ඉන්ධන-ගෑස් පෝලිම්

ඉන්ධන හිඟය උග්‍රය. ගෑස් හිඟය ද එසේමය. මාස ගණනාවක් පුරා මේ පීඩාවෙන් ජනයා විඳවති. පීඩාවට එරෙහිව ජනයා වීදි බැස උද්ඝෝෂණය කරති. පංචිකාවත්ත ප්‍රදේශයේ හා දෙහිවල ප්‍රදේශයේ මාර්ග අවුරා ඊයේ සිදු කළ උද්ඝෝෂණ නිසා ඉතා උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණි. ජනයා ඉල්ලා සිටින්නේ මේ දුකෙන් පීඩාවෙන් තමන් ඉක්මනින් මුදා හරින ලෙසය.

ඉන්ධන නොමැතිවීම නිසා රට පුරා ඉන්ධන පිරවුම්හල් වසා තිබීම සුලබ දසුනක් බව පත්වී තිබේ. ‘ඉන්ධන නොමැත’ යනුවෙන් දැන්වීම් පුවරු එල්ලා තිබුණ ද කිලෝ මීටර ගණන් දුරට දිගු පෝලිම් පැවැතීම ද දක්නට ලැබෙන්නකි. පිරවුම්හලේ ඉන්ධන නොමැති බව දැන දැනත් ජනයා වරු ගණන් පෝලිම්වල රැඳී සිටින්නේ කොයි මොහොතක හෝ ඉන්ධන රැගත් බවුසරයක් පැමිණේවි යැයි අපේක්ෂාවෙනි. තෙල් කඳුළක් හෝ ලබා ගැනීම එම ජනතාවගේ අරමුණය. ජනයා විඳින පීඩාව හා දුක එමගින් මනාව පැහැදිලිය.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් තොග ලැබුණ ද පෙට්‍රල් තොග නැත. පෙට්‍රල් තොග ලැබුණු පිරවුම්හල්වලට ඩීසල් තොග නැත. ඉන්ධන හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය ඊයේ සියයට 90කින් පමණ අඩුවනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෙරේදාය. රට මුහුණ පා ඇති අඳුරු බිහිසුණු දුර්දාන්ත තත්ත්වය එපරිදිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබුණේ ‘ඉදිරි සති තුන ඉන්ධන සම්බන්ධයෙන් අමාරුම කාලය පැමිණෙන’ බවය. එයින් කියැවෙන්නේ මෙරට ජනයාට මෙම නරකාදියෙහි තව සති තුනක් දැවෙමින් තැවෙමින් පසු වීමට සිදුවන බවය. එමෙන්ම ඉන් පසුවත් ඒ දුකෙන් හා පීඩාවෙන් ඒකාන්ත වශයෙන් මිදීමේ හැකියාවක් ඇති බවට සහතිකයක් ද නැත.

ඉන්ධන මෙට්‍රික් ටොන් 16000 සහිත නැවක් අද මෙරටට පැමිණීමට නියමිතය. අගමැතිවරයා මාධ්‍යයට පවසා ඇති පරිදි මෙම නැවෙන් සපුරාලිය හැකි වන්නේ අවශ්‍යතාවෙන් සියයට 50ක් පමණි.

‘‘අපට අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැක්කේ දැන් තිබෙන ඉල්ලීමෙන් සියයට 50ක් දෙනවා නම් පමණයි. විදුලිබල උත්පාදනයටත් ප්‍රවාහන ක්ෂේත්‍රයටත් අත්‍යවශ්‍ය සේවා ගණනාවකටත් ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම තවත් පෙට්‍රල් නැවක් හා ඩීසල් නැවක් ලබාගෙන තිබෙනවා. ජුනි මාසය අවසන් වනතුරු අප නිශ්චිතව නැව් ලබාගෙන තිබෙනවා. ඊළඟ මාසය සඳහාත් නැව් දෙකක් ලබා ගැනීමට ක්‍රියා කරගෙන යනවා. ඉන්පසුව නව ඉන්දීය ක්‍රෙඩිට් ලයින් අත්සන් කළ පසුව අපට මාස හතරකට ඉන්ධන තිබෙනවා. ඒත් අප මේ සියල්ල ලබා දෙන්නේ සියයට 50ක පදනම ලබාගෙනයි’’ යනුවෙන්ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරන බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. සෑම දිස්ත්‍රික්කයකම පිහිටි තෝරාගත් ඉන්ධන පිරවුම් හල්වලට පමණක් ඩීසල් ලබාදෙන බව පවසන එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ ඩීසල් නිකුත් කරනු ලබන්නේ ද අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නවුන්ට පමණක් බවය.

ප්‍රශ්නයේ ගැඹුර සෑම ප්‍රකාශනයකින්ම පැහැදිලිය. ඩොලර් ලක්ෂ 25ක් ගෙවීමට නොහැකිව ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවකට දින 6ක් ශ්‍රී ලංකාව දෙස බලා සිටීමට සිදුවිය. එම නෞකාවට අමතර වශයෙන් දිනකට ගෙවීමට සිදු වූ ප්‍රමාද ගාස්තුව ඩොලර් 18000කි. අප රටක් වශයෙන් පත්ව ඇති අන්ත අසරණ තත්ත්වය මෙමගින් මනාව නිරූපිතය.

එකක් පසුපස එකක් වශයෙන් පැමිණෙන අර්බුදවලින් ජනයා හෙම්බත්වී සිටිති. ඔවුන් කාලය ගෙවා දමනු ලබන්නේ අසහනයෙනි. කලකිරීමෙනි. ජනයා ඉල්ලා සිටින්නේ තමන්ට තම දූ පුතුන්ට අහිමි කළ ජීවිතය යළිත් ලබාදෙන ලෙසය. මේ මිනිස් වේදනාව එයට හිමි නිසි අරුතෙන්ම හඳුනා ගත යුතුය.

‘දැන් දැන් එයි මරු පින්කර ගන්නේ’ යැයි සඳහන් වන්නාක් මෙන් ජනතාව දැන් දැන් විසඳුම් ඉල්ලා සිටිති. මෙතරම් කටුක පීඩා විඳිමින් ජීවත්වී පලක් නැති බව ජනතාව සිතති. එමෙන්ම ඉන්ධන පෝලිම්වල දී හා ගෑස් පෝලිම්වල දී ජනයා එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. එබඳු සිදුවීම් විශාල ප්‍රමාණයක් ඉකුත් සමයේ වාර්තා විය. මිනිස් ආවේග ප්‍රචණ්ඩ ලෙස මුදා හැරෙන පරිසරයක් තුළ කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවන බව ද ඉන් පැහැදිලිය. මේ දුකෙන් ජනතාව මුදවන වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි.

(***)



අදහස් (0)

නිමක් නොපෙනෙන ඉන්ධන-ගෑස් පෝලිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site