ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ දෙකකින් පැමිණි මැර පිරිසක් මහ මඟ ගමන් ගත් වෑන් රියක් මඟ හරස් කර නවතා එම වෑන් රියට පහර දීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර වෑන් රිය නිසා තම ගමනට බාධා එල්ලවීම නිසා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ප්‍රභූ රැකවලුන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුමකින් මැරයන් සැරසී සිට ඇති අතර ගණිත දේශකයකු බව කියන ප්‍රභූවරයා ද එම මොහොතේ කාර් රියක සිට ඇති බවද සඳහන්ය. දැන් මේ සියල්ලෝම රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබ සිටිති.
“රථගාය” යනු භයානක රෝගයකි. එම රෝගය වැළඳෙන්නේ බලයත් සමඟය. බලය ද බරපතළ රෝගයකි. එය වැළඳෙන්නේ ධනයත් සමඟය. එම රෝගය වැළඳ නොගන්නා මහත්වරු ද සිටිති. එහෙත් මමායනයෙන් හිත් ඔද්දල් කරගත් හිස් මිනිසුන්ට මෙම රෝග පාලනය කර ගත නොහැකිය. කළගෙඩිහේනෙන් රටම දුටුවේ එම සත්‍යය වේ.
ඩිෆෙන්ඩර් යනු දුප්පත් රටේ අතිසුඛෝපභෝගී, මිල අධික වාහනයකි. එම වාහන ආරක්‍ෂාවට යොදා ගනිමින් ගමන්බිමන් යාමෙන් තමන්ට විශාල සමාජ පිළිගැනීමක් හා ගෞරවයක් හිමිවේ යැයි ඇතැමෙක් සිතති. ඇතැම්විට අපරාධකාරයෝ ද, මංපහරන්නෝ ද, මිනී මරුවෝ ද, කුඩු මුදලාලිලා ද එබඳු ආරක්‍ෂාවක් පතති. තමන්ට නැති තත්ත්වයක් මවා පෑම සඳහා ද මෙම ඩිෆෙන්ඩර් රථ යොදා ගනිති. එහෙත් ඒ මහන්තත්වයට රටේ මිනිසුන් පළි නැත. කළගෙඩිහේනේ දී ඩිෆෙන්ඩර් මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් පැහැදිලිවන්නේ තමන්ට අවශ්‍ය පරිදි පමණක් සියල්ල සිදුවිය යුතු යැයි ඔවුන් සිතන බවය. එහෙත් ඒ මැරකම්වලට යටත් වීමට අවශ්‍ය නොවන බව අවධාරණය විය යුතුය.
පෞද්ගලික ආරක්‍ෂක හමුදාවක් තබා ගැනීමට යමකුට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් විශේෂ බාධාවක් නැත. එහෙත් මෙරට නිල ප්‍රභූ ආරක්‍ෂක අංශයක් වෙයි. ජනාධිපති ආරක්‍ෂක අංශය, අගමැති ආරක්‍ෂක අංශය හා ඇමැති ආරක්‍ෂක අංශය යනුවෙන් එම ප්‍රභූ ආරක්‍ෂක අංශය සමන්විත වෙයි. එම ආරක්‍ෂක අංශය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවකින් පාලනය වෙයි. එම ප්‍රභූ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට වෙනම නිල ඇඳුමක් තිබේ. එය සුදු පාටය. අත්කොටය. කලිසමට යටකර නොමැත. එම නිල ඇඳුමේ සාක්කුවෙහි තමන් නියෝජනය කරන ආරක්‍ෂක අංශය සඳහන් කර තිබේ. මෙම නිල ඇඳුම ද වෙනස් කර පොලිස් නිලධාරියකුගේ සාමාන්‍ය නිල ඇඳුමෙන්ම එම ආරක්ෂක අංශ නිලධාරීන් ද සැරසී සිටිය යුතු බවට යෝජනාවක් පසුගිය සමයේදී ආවේය. එයින් කියැවුණේ ද එම ආරක්ෂක අංශ නිලධාරීන් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එම වෙනස්කම කරන බවය.
පෞද්ගලික රැකවලුන්ට ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳීමට නොහැකිය. එහෙත් කළගෙඩිහේනේ මැර ප්‍රහාරකයන් සැරසී සිට ඇත්තේ ප්‍රභූ ආරක්‍ෂක අංශ නිල ඇඳුමට සමාන ඇඳුමකිනි. මේ මවා පෙන්වීමට තැත් කරන්නේ කුමක්ද? දෙනෝදාහක් ජනීජනයා යනඑන නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේදී මහ දවල් මඟ හරස් කර පුරවැසියන්ට පහරදීමට මේ මැරයන්ට හයියක් ආවේ කොහොමද? මැරයන් පහර දෙනවිට ප්‍රභූවරයා සිය රියට වී එදෙස බලා සිටියේය. එක්කෝ මැරයන් පහර දී තිබෙන්නේ ඔහුගේ වුවමනාවටය. එසේ නොමැතිනම් එම ප්‍රහාරය ප්‍රභූවරයා අනුමත කර තිබේ. එසේත් නොවේනම් මැරයන් ප්‍රභූවරයාටත් පාලනය කරගත නොහැකිය. ප්‍රහාරයට ලක් වූ පුරවැසියා සිය අඹුදරුවන් සමඟ නුවර බලා ගමන් කරමින් සිට ඇතැයි වාර්තා විය. මැරයන් පහර දෙනවිට වෑන් රථයේ සිටි තම දරුවන් බියෙන් කෑගැසූ බවද එම පියා මාධ්‍යයට පැවැසීය. කෙසේ වෙතත් එම මැරයන්ට බිය නොවුණු එම පියා ඒ මොහොතේම පොලිස් හදිසි දුරකතන අංකයට කතා කර සිද්ධිය දැනුම් දී තිබේ. ප්‍රහාරය එල්ල කරන ආකාරය වීඩියෝ ගත කර සමාජජාල වෙබ් අඩවිවලට මුදාහැරිය හෙයින් ප්‍රහාරකයන් මුළු සමාජය ඉදිරියේම නිරුවත් වී තිබේ.
මෙය පුරවැසියන් තදින් තේරුම් ගත යුත්තකි. කාගේවත් කවර හෝ බලයකට අප යටත් විය යුතු නැත. කාගේවත් ලොකුකම්වලට අප බිය විය යුතු නැත. අයුක්තියට අසාධාරණයට හිස නැමිය යුතු නැත. ඩිෆෙන්ඩර්කාරයන්ට තමන් කළ ගොන්කමේ ආනුභාවය ඔවුන්ට දැන් හොඳින්ම දැනෙනු ඇත. ධනයෙන් බලයෙන් සියල්ල යටපත් කර ගත හැකි යැයි සිතා ගෙන සිටියේනම් එය කොතරම් අනුවණ සිතිවිල්ලක් ද යන්න දැන් තේරුම් ගන්නට ඇත. ඒවා තව තවත් තේරුම් යා යුතුය. මොවුන්ට එරෙහිව නීතිය දැන් ක්‍රියාත්මකව ඇත. එය ජනතාවගේ සැනසුමට කරුණකි. ලොකුකම පෙන්වන්නට ගිය මේ මැරයන්ට දැඩි දඬුවම් දිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරෙල්ල රථවාහන පොලිසිය අංශ ප්‍රධානියා මැරුණා. දැන් මොනාද උනේ........
කැත වැඩ හොඳ නෑ.
ගණිතයට කරුණු තුනක් ......01 අවි ඇතිව හෝ නැතිව යමෙක් සමාජයේ කෙනෙකුට තරවටු හිරිහැර කරන්නේ නම් ඒ ඔහුගේ ගොන්කම නිසාය ... 02. ආගමික පූජකතුමන්ලා පුජකතුමීන් හා විදේශ රටවල සේවය කරනා අයවලුන් හැර.. අනෙක් කිසිම කෙනෙකු ප්‍රභූ නොවෙති. මොකද රට ණය කර විදේශවලින් හිඟාගෙන ගෙනෙන සල්ලි වලින් පඩි ගන්න නිසා... අර 225ද ඇතුළත්ව ... 03. වත්කම අදායම් බදු පොත්වල නිවැරදිව සටහන්ව තිබේද යන්න සොයාබැලීම..
මුදල් කෑදරකමට මොවුන්ගේ නීතිවේදියා උසාවියේ කියලා තිබෙනවා මේ සැකකරුවන් කිසිකෙනෙක් ඩිපෙන්ඩර් රථයෙන් බැහැලා ආවේ නැහැ කියලා. එතකොට පැමිණිල්ලේ නීතිවේදියාට අහන්න තිබුණනේ අර වීඩියෝවේ පෙන්වන බැහැලා ඇවිත් පහර දෙන්නේ භුතයෝද කියා..?
මුදල් කෑදරකමට මොවුන්ගේ කකුල් ලෙවකන නීතිවේදියා උසාවියේ කියලා තිබෙනවා මේ සැකකරුවන් කිසිකෙනෙක් ඩිෆෙන්ඩර් රථයෙන් බැහැලා ආවේ නැහැ කියලා... එතකොට පැමිණිල්ලේ නීතිවේදියාට අහන්න තිබුණනේ අර වීඩියෝවේ පෙන්වන බැහැලා ඇවිත් පහර දෙන්නේ භූතයෝද කියා?
මේ පහරකෑමට ලක්වූ සහෝදරයාගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔය ගහලයන් ඔබගෙන් මේ සිද්ධිය සමතයකට පත්කරන්න කියා ඉල්ලුවොත් කෙසේවත් ඔබ එය කරන්න එපා කියා. එහෙම කළොත් මෙය නීතිය ඉදිරියට ගන්න ඔබ වෙනුවෙන් දිවි නොතකා කැපවූ සමාජ ජාලයට කරන්නා වූ ද්‍රෝහීකමක්...
ලක්මාල් මහතා වෙත, රට ගොඩගන්න සහය දෙන සියලුම දෙනා පෙළපතේ සදහන් නොවුනත් ප්‍රභුන් ලෙස සැලකිය හැකිය. වංචාවෙන් ජීවත්වෙන අර 225 ට වඩා මඩ සෝදා ගත්කල ගොවියා රජකමට උවත් සුදුසුය කියමනක් ඇත
තමන්ම ප්‍රභූ කියා සිතා සිටින සමාජයට පෙන්වන මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක නොවේනම් සමාජය විසින් මෙම මිනිසුන්ව කොන් කර යුතුමයි. මෙම කෙනාගෙන් කවුරු හරි ඉදිරියට ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවනම් ඒ අයත් අනාගතේ මෙම පුද්ගලයා වගේම හැදේවි. අයින් කරන්න මෙම පුද්ගලයන්ව
විදේශවල වැඩ කරන අය ප්‍රභූන් වෙන්නේ අපි ඔක්කොටම ජීවත් වෙන්න සල්ලි එවන්නේ ඔවුන් නිසා.