IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තනතුරු හිස්ව තැබීමේ පාඩුව රටේ ජනතාවටයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම පරිපාලන තනතුරු 100කට වැඩි ගණනක පුරප්පාඩු පුරවා නැති බවත් එම තනතුරුවලට වැඩබලන නිලධාරීන් පත්කර ඇති බවත් අපගේ ලංකාදීපය පත්‍රයේ පළ කෙරුණු වාර්තාවක සඳහන් විය. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය ඇතුළු මහ පුටු 251ක් මාස ගණනාවක් තිස්සේ හිස්ව පවතින බව අපගේ සහෝදර පුවත්පතක් වන ‘අද’ පසුගියදා වාර්තා කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය සමඟ ගහට පොත්ත මෙන් ඇලී තිබෙන්නකි. මෙවැනි ආයතනවල ප්‍රධාන තනතුරු හිස්ව පැවතීම එම පොත්ත ගලවා දැමීමකි. ඒ බව සෙසු සියලු‍ පාර්ශ්වවලට වඩා දැන සිටිය යුත්තේ ආණ්ඩුවයි. රටේ ජනතාවගේ සෞඛ්‍යයටත් ආර්ථිකයේ යහපැවැත්මටත් අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු වන්නට ඉඩ හැර බලා සිටීම ආණ්ඩුවක් සිය වගකීම පැහැර හැරීමක් බව පෙන්වා දිය යුතුය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පරිපාලන නිලධාරීන් නොසිටීම මෙරට ජනතාවට ඍජුවම බලපෑම් ඇති කරයි. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ තනතුරුවලින් සියයට 50කම කටයුතු කරන්නේ වැඩබලන නිලධාරීන් බවත් රෝහල් ගණනාවක අධ්‍යක්ෂවරුන් වශයෙන් රාජකාරි ආවරණය කරන්නේ වැඩබලන පදනමින් බවත් සඳහන් වෙයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර තිබුණේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ තනතුරු දෙකම සඳහා පත්කර ඇත්තේ වැඩබලන නිලධාරීන් බවය.

මෙවැනි ඉතාම වැදගත් තනතුරුවලට වැඩබලන මට්ටමින් නිලධාරීන් පත් කිරීම විවිධ අක්‍රමිකතා සහ අකාර්යක්ෂම සේවා සැපයීමකට දොර විවෘත කරන බව නොරහසකි. විශේෂයෙන්ම වෛද්‍ය සැපයීම් අංශය මේ රට තුළ ප්‍රබල ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙන ආයතනයක් බව සැලකිල්ලට ගැනීමේ දී මෙවැනි තනතුරු සඳහා නිත්‍ය නිලධාරීන් පත් නොකිරීම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් බවට ජනතාව සැක පහළ කිරීම පුදුමයක් නොවේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් යම් බලධාරීන්ට අවශ්‍ය ආකාරයට හසුරුවා ගත නොහැකි නිලධාරීන් ස්ථීරව ප්‍රධාන තනතුරකට පත්වීම වැළැක්වීම මේ ක්‍රියාවලියේ අරමුණ බව අපි අනුමාන කරමු. වැඩබලන නිලධාරියකුට තම තනතුර දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වනවිට බලධාරීන් කියන කියන දෙයට හිස නැමීමත් අත්සන් ගැසීමටත් සිදුවන බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ස්ථීර නිලධාරියකුට අමාත්‍යංශ ක්‍රියා පටිපාටියට එරෙහි ඉල්ලීම් පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ හැකිය. දැනට අධිකරණය හමුවට ගොස් තිබෙන බාල බෙහෙත් මගඩිය මේ තත්ත්වයට කදිම උදාහරණයක් බවද සඳහන් කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ තනතුරු සම්පූර්ණ කිරීම සඳහා අවසන් වරට සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ ඉකුත් 2015 වසරේදී බවත් ඉන්පසුව එම තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නැති බවත් කියැවෙයි. මේ ආකාරයට වැඩ සිදුවෙන්නේ දේශපාලන හේතුවල බලපෑමෙන් ද නැතහොත් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේම අභ්‍යන්තර ගැටුම් සහ කඹ ඇදීම් හේතුවෙන්ද යන්න සොයා බැලීමද අවශ්‍යය. එහෙත් වසර 08ක් තිස්සේ එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීමේ වගකීමෙන් මිදීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි බව පෙන්වා දිය යුතුය.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු 251ක් පුරප්පාඩු වීමෙන් බදු එකතු කර ගැනීමට බාධා සිදුවන බව එම දෙපාර්තමේන්තුවේ පොදු සේවක සංගමය නොබෝදා ප්‍රකාශ කළේය. මෙහි ඉතාම වැදගත් තනතුර වන කොමසාරිස් ජනරාල් ධුරය දැනට මාස 04ක් තිස්සේ පුරප්පාඩු වී තිබේ. අදාළ තනතුරට සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් දෙපාර්තමේන්තුවේ සිටියදීත් මෙවැනි තත්ත්වයක් පැවැතීම පිළිගත නොහැක. බදු මුදල් එකතු කිරීම තම අංක එකේ ප්‍රමුඛතාව වශයෙන් සලකන ආණ්ඩුවට මේ තනතුර පිරවීම මේ තරමට ගැටලු‍වක් විය නොහැකි බව අපගේ වැටහීමය.

අප මෙහි සඳහන් කර ඇති පුරප්පාඩු මේ සටහන අපගේ පුවත්පතේ පළවන අවස්ථාව වනවිට පුරවා තිබිය හැකි බවද මෙහිදී සඳහන් කරමු. එසේ නොවී නම් මුළුරටටම වැදගත් මේ පුරප්පාඩු සඳහා හැකි ඉක්මනින් සුදුසු නිලධාරීන් පත් කිරීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බව කියමු.

(***)



අදහස් (2)

තනතුරු හිස්ව තැබීමේ පාඩුව රටේ ජනතාවටයි

Nimal Sunday, 24 December 2023 07:02 AM

රාජ්‍ය සේවයේ බොහොමයක් තනතුරු අත්‍යාවශ්‍ය ඒවා නොවෙයි... මේ කිසිම රාජ්‍ය ආයතනයක නවීන කලමනාකාර ක්‍රමවේද අනුගමනය කරන්නේ නැහැ. පුටු රත්කිරීමක් පමණයි සිදුවන්නේ...!

:       1       6

වන්නකු Saturday, 30 December 2023 07:12 PM

නිමල්, මැතිඇමැතිලා රොත්තක් ඉන්න එක ගැන මොකද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site