‘‘අප කන හැටි ළිපා දනී’’ යැයි පුරාණයේ දී කීවේ එතරම් ගැඹුරු අදහසකින් නොව නිකමට මෙන්ය. එහෙත් එම කියමනේ අරුත මේ මොහොත වනවිට රටේ පොදු මහජනයාට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබී තිබේ. ඒ සාරවත් පසකින් හෙබි කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වෙන අප රටේ එළවළු මිල ගණන් නිසාය.
‘‘රත්‍රං’’ කැරට්වලින් මනින්නේ ඇයිදැයි ජනතාවට ඉස්තේරුවෙන්ම තේරුම් ගත හැකි පරිදි කැරට් මිල ඉහළ ගොස් තිබේ. මීට දින දෙක තුනකට ඉහතදී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝව රුපියල් 2100කි. ‘‘කැරට් වනාහි අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ යැයි යමකුට තර්කයක් මතු කළ හැකිය. එහෙත් තමන් කැමති කෑමක් අනුභව කිරීමේ හිමිකම රටේ පොදු මහජනයාට හිමිවිය යුතුය. එය වූ කලී කැමති ආගමක් ඇදහීමේ අයිතිය කැමැති භාෂාක් කතා කිරීමේ අයිතිය මෙන්ම කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අනුල්ලංඝණීය මූලික මානව අයිතියකි. එහෙත් කැමැති කෑමක් අනුභව කිරීමේ අයිතිය අද ජනතාවගෙන් උදුරාගෙන තිබේ. එහෙත් එම අයිතිය රටේ මූලික නීතිය හා ඈදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නැත. ඒ ‘‘මෙහෙම රටක්’’ මේ සම්මජ්ජාතියේවත් පහළවනු ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් නොසිතුව නිසා විය හැකිය.
අප රටේ ජනතාව තරම් ‘‘මානව ආඥාවකට’’ ලක්වූ ජනතාවක් ලොව වෙනත් රටක නොමැති විය යුතුය. හතර පස් වසරක් පුරා මෙරට ජනයා නිමක් නැති පීඩාවලට ගොදුරුවී සිටිති. ආර්ථික අර්බුදය දිනෙන් දින තීව්‍රවූවා විනා සමහන් වන බවක් පෙනෙන්නට නැත. සාතිශය බහුතරයක් ජනයාගේ ආදායම එකම තැනක රැඳී තිබේ. ඇතැමකුගේ තිබුණු ආදායම අහිමිව ගොස් තිබේ. එහෙත් වියදම හත් අට ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඉකුත් සති අන්තය වනවිට එළවළු මිල ගණන්වලින් ඒ බව මනාව පැහැදිලි වේ.
අප පුවත්පත වාර්තා කළ පරිදි ඉකුත්දා කොළඹ, පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල මෙසේය. බෝංචි කිලෝව රුපියල් 1100කි. ගෝවා කිලෝව රුපියල් 750කි. තක්කාලි කිලෝව රුපියල් 400කි. බටු කිලෝව රුපියල් 800කි. අමු මිරිස් කිලෝව 1100කි. රතුලූනු කිලෝව රුපියල් 500කි. විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430කි.
එළවළු මිල අහස උසට නැගීම නිසා දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන පාළුවට ගොස් තිබූ බව අප පුවත්පත වාර්තා කළේය. ඒ පාරිභෝගිකයන් නොපැමිණීම නිසාය. අඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම සියයට 75කින් අඩු වී ඇති බව අප පුවත්පත වාර්තාකර තිබිණි.
රටකට මෙසේ පැවතිය හැකිදැයි යන්න අතුරු ප්‍රශ්නයක් නොව ඍජු ප්‍රශ්නයකි. ආර්ථික වශයෙන් හෙම්බත්ව සිටින ජනයාට මේසා මිලක් වැයකර එළවළු මිලදී ගත හැකිද යන ප්‍රශ්නය ද මග හැර යා නොහැක. තට්ටු නිවාසවල ජීවත්වන ජනයා මෙන්ම ‘වතු’ නමින් හැඳින්වෙන ජනපදවල ජීවත්වන ජනයාට එළවළුවක් වගා කර ගැනීම දුෂ්කරය. එමෙන්ම නේවාසිකාගාරවල උයාපිහාගෙන වේල සරි කරගන්නා පිරිස් ද අති විශාලය. මෙම ජනයා වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා ගන්නේ කෙසේද යන්න ‘‘කනවා හෝ ලෙවකන ජනයා’ පවා සිතිය යුතු ප්‍රශ්නයකි.
එළවළු මිල ඉහළ යාමට අයහපත් කාලගුණික තත්වය ද හේතු විය. එමෙන්ම කූට වෙළෙඳුන්ගේ මෙන්ම මජර අතරමැදියන්ගේ ජාවාරම් ද හේතු වී තිබේ. හේතුව කුමක් වුවත් එයින් පීඩාවට පත්ව සිටින ජනයා එම පීඩාවෙන් මුදාගනු පිණිස ක්ෂණික මැදිහත්වීමක් බලධාරීන් කළ යුතුමය. රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එයටය.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියා රජවූ රටේ එළවළු මිල මෙතරම් නැග්ගේ ඇයි? මිල ඉහළ ගියද, මිල පහළ ගියද ඒ සඳහා පිළිගතහැකි විසඳුමක් මෙතෙක් ලබාදී නොමැත. මෙය දශක ගණනාවක සිට පවතින ගැටලුවකි. එළවළු පමණක් නොව මෙවර ලංකාවේ අඹ අස්වැන්න ඉතාම ඉහළ මට්ටමක පවතින නිසා මිල සීග්‍රයෙන් පහළ වැටී ඇත. අඹ අස්වැන්න වැඩි නම් විදේශ වෙළඳපළට යැවීම, හෝ වෙනත් අතුරු නිෂ්පාදන සෑදීමට හැකියාව ඇත. ඒ සඳහා විදේශ වෙළඳ පලක්ද ඇත. එසේ වුවත් කෘෂිකර්ම ඇමැතිවරයා සහ නිලධාරීන් ගොවීන්ට චෝදනා කරමින් කියා සිටියේ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඹ වගාකර ඇති බවකි. එමනිසා මෙවැනි නිලධාරීන් සහ ඇමැතිවරුන් සිටිනා රටක කෘෂිකර්මාන්තය පිළිබඳව කතා කිරීමට පෙර විසඳුම් ලබාදීමට නොහැකි දේශපාලකයින් පිළිබඳව තීරණයක් ගැනීමට පුරවැසියන් කටයුතු කළයුතු වේ...
එළවළු ගොවීන්ට ඔවුන්ගේ වගා කිරීම සඳහා සාධාරණ වෙළඳපොළ මිලක් ලැබුණි. ඇයි අපිට ඉරිසියාවක් දැනෙන්නේ? අපි ඔවුන්ව දිරිමත් කළ යුතුයි...
"ගොවියා රජවූ" රටක් යයි කීම මේ රටේ නිකම් පුරුද්දට කියූ කියමනක් පමණයි. මේ රටේ රටේ සැබෑ "රජ" අතරමැදි වෙළෙන්දායි...!
ඔය අතරමැදියෝ කියන්නේ තනිකර දේශපාලුවන්ගේ හෙන්චයියෝ.. වැඩිපුරම ප්‍රාදේශීය දේශපාලනවල ඉන්න එව්වන්ගේ... ඒක නිසා මේ අතරමැදි මාෆියාව නවත්තන්න බෑ.. අතරමැදියා ප්‍රාදේශීය දේශපාලනේට කොමිස් එකක් දෙනවා... ප්‍රාදේශීය දේශපාලුවා පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ඒකෙන් කොටසක් දෙනවා... ඕක තමා චක්කරේ... හොදම උදාහරනේ සෙමි ලක්ෂරි බස් කියන්නේ මගීන්ට තනිකර වැඩකට නැති සර්විස් එකක්, ඒක නවත්තන්න කියලා පහුගිය අවුරුදු 10 ඇමැතිලා කීදෙනෙක් පොරොන්දු දුන්නාද? කාටවත් කරන්න බැරි වුනේ මේ නිසා...