IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


කිරිපිටි - ගෑස් හිඟයට කඩිනම් පිළියම් ඕනෑ

වෙළෙඳ පොළේ කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවට රජයේ බලධාරීන් මහ ජනතාවට පොරොන්දු වූයේ දැනට සති දෙකකට පමණ ඉහතදීය. කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනික සමාගම්වලට අවසරයක් නොදෙන බව ද එම බලධාරීහු ප්‍රකාශ කළහ. එහෙත් මේ වන විට වෙළෙඳ පොළේ කිරිපිටි දැඩි හිඟයක් පවතී.

 ඇතැම් ප්‍රදේශවල කිරිපිටි සීමිතව ලබා දෙන අතර තවත් සමහර ප්‍රදේශවල එක පැකට්ටුවක් හෝ මිල දී ගැනීමට නැත. බලධාරීන් කුමක් පැවසුව ද රට පුරා දැඩි කිරිපිටි හිඟයක් පවතින බවට ජනතාව පැමිණිලි කරති.

කිරිපිටි හිඟයකට රට මේ වන විට මුහුණ දී සිටින්නේ මිල වැඩි කිරීම සඳහා තමන් රජයෙන් කළ ඉල්ලීමට ඉඩ නොදීම හේතුවෙන් ආනයනය කිරීම අඩකින් අඩු කිරීමට සිදුවීම හේතුවෙන් බව කිරිපිටි ආනයනික සමාගම් කියයි. මෙරට කිරිපිටි නිෂ්පාදකයා වන හයිලන්ඩ් සමාගම ඇති තරම් තොග තමන් වෙළෙඳ පොළට නිකුත් කරන බව පුන පුනා පැවසුව ද රටේ කිරිපිටි අවශ්‍යතාවෙන් අඩක් වත් සපුරා දීමට තරම් නිෂ්පාදන ධාරිතාවක් එම සමාගමට නැත. එහි නිෂ්පාදන ධාරිතාව දැනට පවතින ප්‍රමාණයෙන් ඉහළ දැමීම හදිසියේ සිදු කළ හැකි දෙයක්ද නොවේ. මේ නිසා පවතින ගැටලුවට සාධනීය විසඳුමක් නොලැබුණොත් ඉදිරියේ දී රටේ කිරි පිටි පෝලිම් ඇති වී ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි නැත්තමට නැති වී යාමේ තත්ත්වයක් ද උදා වන බව නම් ඉතාම පැහැදිලිය.

කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට තමන් කිසිසේත් සමාගම්වලට ඉඩ නොදෙන බවට රජය කරන ප්‍රකාශය ජනතාව හමුවේ හොඳ සටන් පාඨයක් විය හැකි වුවද යථාර්ථය ඊට වඩා බෙහෙවින් දුරස්ථය. කිරිපිටි අවශ්‍යතාව තිබෙන එය තමන්ගේ දෛනික ජීවිතයේ ආහාර අතිරේකයක් වශයෙන් පිළිගන්නා  පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් මෙරට වෙසෙති. කිරිපිටි පරිභෝජනය සෞඛ්‍යයට අහිතකර විය හැකි බවට තර්ක ඕනෑ තරම් තිබිය හැකි වුවද එහි අවශ්‍යතාව තිබෙන පාරිභෝගිකයාට ඒ තර්ක විතර්ක වලින් පළක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ වෙළෙඳ පොළින් හිඟයකින් තොරව කිරිපිටි මිලදී ගැනීමට පහසුකම් පමණි. දැඩි අවශ්‍යතාවක් තිබෙන පාරිභෝගිකයා වැඩි මිලක් හෝ ගෙවා කිරිපිටි මිලදී ගැනීමට වුවද පෙළඹෙනු ඇත.

ඇතැම් පවුල්වල දූ දරුවන්ට උදෑසන කිරිපිටි වේල අත්‍යවශ්‍ය ආහාරයක් බවට පත්ව තිබේ. ඔවුන් එක් වරම දියර කිරිවලට හුරු කිරීම පහසු නැත. එයට වැය කළ යුතු මුදල ද කිරිපිටි මිලට සාපේක්ෂව ඉහළ මිලකි. ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කර දීම රජයේ වගකීමකි.

රජය මේ වන විට ආනයනික කිරිපිටි වලින් අය කෙරෙන බදු අඩු කිරීමෙන් එහි මිල ඉහළ නොදමා ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රකාශවල සඳහන් විය. දේශීය කිරි නිෂ්පාදකයාට පහරක් නොවදින ආකාරයට එය සිදු කිරීමට මුදල් අමාත්‍යංශයට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද සඳහන්ය.

එය එසේ හෝ සිදුවෙනවා නම් පාරිභෝගිකයාට සහනයකි. එහෙත් කිරි පිටි සමාගම් එවැනි සුළු පරිමාණයකින් සිදු කෙරෙන ගනුදෙනුවකට එකඟ වනු ඇති  ද යන්න සැක සහිතය. ඔවුන් කාලයක සිට ඉල්ලා තිබුණේ සෑහෙන ප්‍රමාණයක මිල ඉහළ දැමීමකි. ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩිව අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳ පොළේ පිටිකිරි මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම මිල ගණන් වැඩි කිරීමට හේතු වශයෙන් ඔවුන් දක්වන කරුණු අතර ප්‍රධාන වෙයි. මේ කරුණු ප්‍රතික්ෂේප කිරීමට රජයට හැකියාවක් ඇතැයි අපි නොසිතමු. පිටිකිරි මිල ඉහළ දැමීමට සමාගම්වලට අවසර දීම තමන්ට දේශපාලනික වශයෙන් අවාසියක් වන බව ඕනෑම රජයක පිළි ගැනීමය. එහෙත් වෙළෙඳ පොළේ කිරිපිටි දැඩි ලෙස හිඟ වීම ඊට වඩා බරපතළ අවාසියක් වන බවට අතීත උදාහරණ ඕනෑ තරම් තිබේ.

කිරිපිටි මෙන්ම වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ද පවතී. දැනට ලාෆ්ස් ගෑස් සමාගම පවතින්නේ වසා දැමුණු මට්ටමකිනි. මිල ඉහළ දැමීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් අවසානයේ ලාෆ්ස් සමාගමේ දොරගුළු වැසී ගොස් තිබේ. එම සමාගම ද ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමත් රුපියල අව ප්‍රමාණය වීමත් හේතුවෙන් තම සමාගම රුපියල් බිලියන ගණනින් පාඩු ලබන බවය. එම පාඩුව දැරීමේ සීමාව ඉක්මවා ගිය විට සමාගම වැසී යාම ගැන පුදුම විය යුතු නැත.

​මේ අතර රටේ ගෑස් හිඟයක් ඇති වීමට තමන් ඉඩ නොදෙන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ද ප්‍රකාශ කරන නමුත් එය රටේ ජනතාවට විහිළු සැපයීමක් පමණක් බව රට පුරා ඇතිව තිබෙන ගැස් පෝලිම් පෙන්වා දී තිබේ. බොරුවට බිය වී ගෑස් වැඩිපුර එක් රැස් කර ගැනීමට ජනතාවට පෙළඹීම මෙවැනි හිඟයක් ඇති වීමට බලපා තිබෙන බවද ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි. මෙරට ජනතාව නිවෙස් තුළ ගෑස් සිලින්ඩර් ගොඩ ගසාගෙන සිටින බවක් මේ වනතුරු අප නම් දැන සිටියේ නැත. එය සභාපතිගේ අලුත් සොයා ගැනීමක් දැයි අපි නොදනිමු.

අපට කිව හැකි වන්නේ හැකි තරම් ඉක්මනින් කිරිපිටි සහ ගෑස් හිඟය තුරන් කිරීමට නිසි පිළියම් නොයෙදුවහොත් පාරිභෝගිකයන්ගේ දැඩි විරෝධයක් රජයේ බලධාරීන්ට එරෙහිව එල්ල වීම වැළැක්විය නොහැකි බව පමණි.

අඩු මිලට බඩු දී අතට පාඩුකර ගැනීමට කිසිම ව්‍යාපාරිකයෙක් කැමැති නැත. අඩු මිලට රජය භාණ්ඩ සපයනවා නම් වැඩි මිලට බඩු ගන්න පාරිභෝගිකයා යන්නේ නැත. එසේ නම් ව්‍යාපාරිකයාට වැඩි මිලට බඩු විකුණන්න ඉඩ හැර ආණ්ඩුව පාඩුවක් ඇති නොකරගෙන සහන මිලට භාණ්ඩ සැපයීම පටන් ගත්තොත් එහි වරදක් තිබේදැයි කෙනකුට කිව හැකිය. එහි සාධාරණත්වයක් තිබේදැයි අපි නොදනිමු.

(***)



අදහස් (1)

කිරිපිටි - ගෑස් හිඟයට කඩිනම් පිළියම් ඕනෑ

Tiran Friday, 13 August 2021 08:08 AM

හරිහමන් දැනුමක් නැති පාලකයින් පත්වුණාම හැමෝගේම කීමට නටනවා විනා දුර දැක්මකින් වැඩ කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site