IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා උවදුර වගේම කුඩු උවදුරත් අමතක නොකරමු


පිටරටින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ පාර්සල් 4ක රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ගංජා මිශ්‍ර ‘කුෂ්’ නැමැති මත්ද්‍රව්‍ය සහ කොකේන් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ඇමරිකාව, නෙදර්ලන්තය, එංගලන්තය යන රටවලින් මෙම පාර්සල් කොළඹ, නාවල, අහංගම, වාද්දුව යන ලිපිනවලට එවා ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම පාර්සල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඒවා කඩා පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

මුළු ලෝකයේම මෙන්ම අප රටේද වැඩිම අවධානය කොරෝනා මාරාන්තික වයිරසය කෙරෙහිය. මේ තත්ත්වය දන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ තම මෙහෙයුම් වේගවත් කරති. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉකුත් සමයේ මහා පරිමාණ මෙහෙයුම් ක්‍රියාත්මක විය. එම මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය තොග ගණනින් අත්අඩංගුවට ගැනීමට හැකි විය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් ද යොදා ගනිමින් සිදු කරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල අනාවරණය කර ගැනීමට ද එම මෙහෙයුම් වලදී හැකි විය. එහෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නිදහසේ සහ රිසිසේ තම මෙහෙයුම් ක්‍රියාත්මක කළ නොහැකි විය. විශේෂයෙන්ම තමන්ට හුරුපුරුදු මාර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට බාධා ඇති විය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පහසුවෙන් පසුබා නොයති. ඔවුහු සංවිධානාත්මක අපරාධකරුවෝ වෙති. ඔවුන් අපරාධ සිදුකරනු ලබන්නේ විධිමත් ලෙස හා සංවිධානාත්මකවය. එම සංවිධානාත්මක බව කොතෙක් ප්‍රබල ද යත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පවා තම ග්‍රහණයට ගැනීමට ඔවුහු සමත් වූහ. මුදලට ගිජුවූ එම දූෂිත නිලධාරීහු ද හිරිකිතයකින් තොරව තම නිල ඇඳුමේ ගරුත්වය පාවා දුන්හ. බන්ධනාගාරයේ පමණක් නොව සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂිතයන්ද තම අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සමත් වූහ. ඒ හා සම්බන්ධ ප්‍රවෘත්ති එකක් පසුපස එකක් වශයෙන් ඉකුත් සමයේ වාර්තා විය. එයින් පැහැදිලි වන්නේ මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේ බලසම්පන්න බවය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ විවිධ මූලාශ්‍ර ඉහතින් දක්වා ඇති පරිදි අනාවරණය වුවද ඔවුහු පසුබා නොයති. තමන්ට හුරුපුරුදු මාර්ග ඇහිරී ගිය පසු වෙනත් ඉසව් පාදා ගනිමින් තම ජාවාරම දිගටම කරගෙන යෑමට ඔවුහු සමත් වෙති. කොළඹ තැපැල් මධ්‍යම හුවමාරුවට එතෙරින් කුඩු පාර්සල් ලැබීම ඒ බව ඔප්පු කිරීමකි. මෙයට පෙරද තැපෑලෙන් මෙසේ කුඩු එවා තිබිණි. අහම්බෙන් ඒවා බොහොමයක් අත්අඩංගුවට ගැනුණි. රේගු නිලධාරීන්ගේ තියුණු අවධානය නිසා මෙවර මත්ද්‍රව්‍ය පාර්සල් හසු කරගැනීමට හැකි විය. නිරන්තර අවධානයෙන් පසුවීමේ වැදගත්කම එයින් පැහැදිලි වේ.

අප සමාජයේ එක් ප්‍රවණතාවක් තිබේ. එනම් යම් දෙයක් සම්බන්ධ අවධානය පවතින්නේ එහි උණුසුම පවතින තුරු පමණක්ය. ආගමික අන්තවාදය සම්බන්ධයෙන් දැන් අවධානයක් නැත. ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ද සමාජයේ අවධානය ඉතා අඩුය. කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධ උනන්දුවද පෙර තත්ත්වයට සාපේක්ෂව ඉතා මන්දගාමීය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පවතින තත්ත්වයද එසේමය.
ඇල්මැරුණු අවධානයකින් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් 24 පැය පුරා දැල්වුණු අවධානයක් තිබිය යුතුය. පෙර විමසුම් පසු විපරම් තිබිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හිරේ විලංගුවේ වැටී ඇප ලබා හෝ නිදහස් වී පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතුය. එයින් කියැවෙන්නේ එම පුද්ගලයන් දෙස සැකයෙන්ම බැලිය යුතු බව නොවේ. එහෙත් පසු විපරමක් තිබිය යුතුමය.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පිටරටින් එවා ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වේ. රුපියල් ලක්ෂ 80ක් යනු ඉතා විශාල මුදලකි. ඇතැම්විට පුද්ගලයකුට තම ජීවිත කාලය තුළදී උපයාගත නොහැකි මුදලකි. එබදු මුදලක් කුඩු විකිණීමෙන් දිනකින් දෙකකින් උපයා ගත හැකිනම් යමකු එයට පෙළඹීමද අරුමයක් නොවිය හැකිය. එහෙයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. කුඩු ව්‍යාපාරයෙන් යහමින් මුදල් ඉපයිය හැකි බවට ඇති මතය සාවද්‍ය බව තහවුරු කළ යුතුය. මුදල් ඉපයිය හැකි වුවත් එයින් තමන් බලාපොරොත්තු වන සැපවත් ජීවිතය නොලැබෙන බව තහවුරු විය යුතුය. අවසානයේදී නොවිඳිනා දුක් විඳ අඳුරු සිරගෙවල්වල මිය යාමට සිදුවන බව පසක් කළ යුතුය.

විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. එනම් මත්ද්‍රව්‍ය ජාවාරමට සාදා නිමකළ මාවත් නැත. ඕනෑම මාවතක් ඒ සඳහා යොදා ගැනීමට ජාවාරම්කාරයෝ සමත් වෙති. පාසල් දරුවන් මෙන්ම සරසවි සිසුන්ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් අවස්ථා මාධ්‍යයෙන් වාර්තා කෙරිණි. එහෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම පොලිස් නිලධාරීන්ට, රේගු නිලධාරීන්ට පමණක් සීමා වූවක් නොවිය යුතුය. සෑම පුරවැසියකුම, මුළුරටම ඒ වෙනුවෙන් කැප විය යුතුය. තමන් දන්නා සුළු හෝ තොරතුරක් වේ නම් ඒවා අදාළ අංශවලට යොමු කළ යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින් මුලිනුපුටා දැමිය හැකිවන්නේ එබඳු දියුණු හා සංවිධානාත්මක මෙහෙයුමකින් පමණි.

(***)



අදහස් (1)

කොරෝනා උවදුර වගේම කුඩු උවදුරත් අමතක නොකරමු

Rata Perata Saturday, 05 December 2020 08:42 AM

දැනටමත් කුඩු ඇමැතිවරු කීපදෙනෙක් ඉන්නවා. ඒ වගේම දුමින්දත් එළියට ආවා. කුඩු ගැන අමතක කරන්න බැරි වෙයි වගේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site