IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කොරෝනා උවදුර තව තවත් වර්ධනය වීමට ඉඩ නොදෙමු

එළැඹෙන සඳුදා පෙරවරු 4 වනතුරු මුළු රටම හුදෙකලා කර තිබේ. කොරෝනා ආසාදිතයන්ගේ වේගවත් වැඩි වීමත් කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් රට හුදෙකලා කිරීමට හේතු විය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිසි තක්සේරුවකින් කටයුතු නොකිරීමේ තාර්කික වන්දිය මුළු රටම ගෙවමින් සිටී.

අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියැවුණේ යම් දිස්ත්‍රික්කයකට හෝ ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හෝ හුදෙකලා කිරීම හෝ සිදු කළහොත් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපැයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවය.

‘අවදානමට වඩා සූදානම වැදගත්’ බව පසක් කරගැනීමට තව තවත් අත්දැකීම් අවැසි නැත. සැබැවින්ම කොරෝනා තුන්වැනි රැල්ලක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ මෙන්ම පොදු මහජනයාගේ අවබෝධය ප්‍රමාණවත් නොවීය යන්න සත්‍යයකි. බොහෝ දෙනකු කලබලවීමට පටන් ගත්තේ ඉන්දියාවේ සැහැසි ගොරබිරම් තත්ත්වය දැකීමෙන් පසුවය. එහෙත් ඒ වනවිට අශ්වයා පැන ගොස් අවසානය. ‘ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි’ බව ශේෂ වූ පාඩම විය.

කොරෝනාව සම්බන්ධයෙන් පුරෝකථන කළ නොහැකි බව සත්‍යයකි. එහෙත් අනුමාන කළ හැකිය. එම අනුමාන මතු විය යුත්තේ වෛද්‍ය විශේෂඥයන්ගෙනි. ඔවුන්ගේ තීරණවලට යටත්ව ක්‍රියාමාර්ග ගන්නේ නම් බොහෝ අතුරු ප්‍රශ්න මගහරවා ගත හැකිය. බලධාරීන් මෙන්ම ජනතාව ද මෙතැන් සිට හෝ එම නියමයට යටත්ව ක්‍රියා කළ යුතුය.

දිනෙන් දින ප්‍රසාරණය වන කොරෝනා පොකුරු හමුවේ බලවත් අසීරුතාවට පත්ව සිටින්නේ සෞඛ්‍ය අංශ වේ. මෙරට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් තිබුණ ද මානව සම්පත අතින් මෙන්ම භෞතික සම්පත් අතින් ඉතා දිළිඳුය. එහෙයින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවේ සීමාවන් තිබේ. එළැඹෙමින් තිබෙන්නේ එම ධාරිතාව ඉක්මවා යන පැය වේ. කොරෝනා ආසාදිතයන් රෝහල්වල කොරිඩෝවේ පත්තර පිටු මත වැතිර සිටින දසුන් අන්තර්ජාලය තුළ සැරිසැරීමට පටන්ගෙන තිබේ. එම තත්ත්වය තව තවත් වර්ධනය වුවහොත් ඇති විය හැකි පරිසරය කෙබඳු ද යන්න තේරුම් ගැනීමට අසීරු නැත.

සෞඛ්‍ය අංශයේ දරා ගැනීමේ හැකියාව බිඳී යාම යනු කොරෝනා පාලනය ගිලිහී යාමය. එහි නියත ප්‍රතිඵලය වන්නේ රට ඉන්දියාවක් වීමය. ජනයාට සිදුවනු ඇත්තේ කොරෝනාව ඉදිරිපිට දණින් වැටී අභයදානය ඉල්ලා සිටීමටය. ‘ජීවිතය අනියතයි - මරණය නියතයි’ යන්න පසක් කරගැනීමට මෙයට වඩා අවස්ථාවක් නැත. එහෙයින් මේ මොහොතේ සිදු කරන ඕනෑම වැරැද්දක් මාරාන්තිකය.

අප රටට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නොලැබී ඇති බව සත්‍යයකි. එක් අතකින් ලෝක සෞඛ්‍ය සංවිධානය අප රටට පොරොන්දු වූ පරිදි එන්නත් ලබා නොදුන්නේය. අනෙක් අතට ඉන්දියාවේ ඇති වූ හදිසි අනපේක්ෂිත අනතුරුදායක තත්ත්වය අප රටේ එන්නත්කරණයට දැඩි බලපෑමක් කර තිබේ. රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබුණේ අප රටට අවශ්‍ය එන්නත් ලබාගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මුළු ආණ්ඩුවම වෙහෙසෙන බවය. මෙම කොරෝනා මඩින මෙහෙයුමේදී ‘නිදහසට කරුණු’ කීමට අවස්ථාවක් නැත. යුද්ධයේදී ජනරාල්වරයකු තම සේනාංකයට කියා සිටියේ ‘ඔබෙන් මට නිදහසට කරුණු අවැසි නැත. නිදහසට කරුණු කීමට ඔබ අවශ්‍ය වන්නේ ද නැත’ යනුවෙනි.

කොරෝනාවට අමතරව ගංවතුර මෙන්ම නාය යෑම් භීතියක් ද ඇති වී තිබේ. සොබා දහම මෙතරම්ම දරුණු ලෙස මිනිස් ජීවිත සමග ගැටුමට පැමිණ ඇත්තේ ඇයි දැයි අපි නොදනිමු. එහෙත් කොරෝනාව මෙන්ම අනෙකුත් ‘ස්වාභාවික විපත්’ බොහොමයක් මිනිස් චර්යාවේම ප්‍රතිඵලයක් විනා අන් යමක් නොවේ. කෙසේ වෙතත් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින නාය යෑම් සම්බන්ධයෙන් රතු නිවේදන ලැබ සිටින ජනයා සම්බන්ධයෙන් මේ මොහොතේ විශේෂ අවධානය යොමු විය යුතුය.

එළැඹ ඇත්තේ සියලු දෙනාගේම සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු මොහොතකි. එය අවංක විය යුතුය. අව්‍යාජ විය යුතුය. පරාර්ථකාමී හැඟීමෙන් යුතු මිනිසාට එය කළ හැකිය. ඒ අනුව ඔබ කෙබඳු වර්ගයේ මිනිසකු දැයි ඔබටම තේරුම් ගැනීමේ අනගිතම අවස්ථාවක් එළැඹ ඇති බව තේරුම් ගත යුතුය.

(***)



අදහස් (0)

කොරෝනා උවදුර තව තවත් වර්ධනය වීමට ඉඩ නොදෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site