ලංකාව පුරා විසිරී සිටින උසින් අඩු ප්‍රජාවගේ සංගමයක් “ශ්‍රී ලංකා පුංචි ජනතාවගේ සංගමය” නමින් පිහිටු වූ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එහි සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මිය “උසින් වැඩි මිනිසුන්ගේ උසුළු විසුළුවලට එවැනි මිනිසුන් නිරන්තරයෙන් පත්වන බවත්, එය මානසික පීඩනයක් බවත් ප්‍රකාශ කළේ” යැයි අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
පීඩනය විසින් ඊළඟ නිමේෂයේ සංවිධානය වීමට බල කරනු ලබන බව පිළිගත් විද්‍යාත්මක සිද්ධාන්තයකි. උසින් අඩු මිනිසුන් පැමිණ තිබෙන්නේ ඒ තීරණාත්මක නිමේෂය වෙතය. ඔවුන්ම ප්‍රකාශ කරන පරිදි ඔවුහු නිරන්තරයෙන්ම උසින් වැඩි මිනිසුන්ගේ උසුළු විසුළුවලට ලක්වෙති. ඒ මිටි මිනිසුන්ගෙන් උස මිනිසුන් ගන්නා එකම ප්‍රයෝජනය නම් ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට හා දැන්වීම්වලට යොදා ගැනීමය. එයත් එක් අතකින් ඒ මිනිසුන් නිර්දය ලෙස සූරාකෑමකි. එහෙත් උසින් අඩුවීම නිසාම ඒ අයුක්තිය දරා ඉවසා සිටීම හැර වෙනත් විකල්පයක් ඔවුන් සතුව නැත. මනුෂ්‍යත්වයේ අසරණකම යනු එයම විනා අන් යමක් නොවේ.
මිටි මිනිසුන්ට මිටි වීම නිසාම කොතෙක් හිරිහැරවලට ලක්වන්නේ ද යන්න සිතා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම බස් රථයකින් බැසීමේදී සීනුව නාද කිරීමද ඔවුන්ට මහත් වදයකි. ඒ වෙනුවෙන් වෙනත් අයකුගෙන් පිහිටක් පැතීමට සිදුවීම අනිවාර්ය වූවකි. රාජ්‍ය ආයතනයකට, පෞද්ගලික ආයතනයකට ගියවිටද මෙවැනි මිටි මිනිසුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා නැත. එහෙයින්ම ඔවුන් පීඩාවට පත්වීම ඇරැඹෙන්නේම විමසීම් කවුන්ටරයෙන්ය. ඔවුන්ට ඔවුන් සම්බන්ධයෙන් විශාල වේදනාවක් ඇතිවීමට මෙම තත්ත්වය බලපාන බව ඒකාන්ත සත්‍යයකි.
උසින් අඩු මිනිසුන් සමස්තයක් වශයෙන් ගත් කල්හි අඩු ප්‍රතිශතයකි. එය එසේ වූවද ඒ මිනිසුන්ටද මානව අයිතිවාසිකම් පොදුය. එය අනුල්ලංඝනීය අයිතියකි. එහෙත් එම අනුල්ලංඝනීය අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වීම සත්‍යයකි. එබඳු පීඩාවකට තවත් මිනිස් සමූහයක් ලක්කිරීමට අයිතියක් නැත. එහෙත් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව එය සිදුවේ.
උසින් අඩු මිනිසුන් සම්බන්ධයෙන් පමණක් නොව ආබාධිත ජනයා සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් බොහෝ තැන්හි දක්නට නැත. අවම තරමින් ආබාධිත පුද්ගලයකුට අවශ්‍ය පහසුකම් බොහෝ රෝහල් පරිශ්‍ර තුළ නැත. මේ සියල්ලෝම ඉතාම නරක දෙයෙහි පහසු ගොදුරු බවට පත්ව සිටිති.
ලෝකයේ දියුණු රටවල මෙබඳු විශේෂ මිනිසුන් වෙනුවෙන් සාදා නිමකළ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. ඒ වෙනුවෙන්ම විවිධ විශේෂ සංවිධාන බිහිවී තිබේ. ලෝකයේ බොහෝ දෙයින් මෙන්ම මෙම අංශයෙන් ද ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. තට්ටු දෙක තුනක් සහිතව පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතනවල වුව විදුලි සෝපාන නැත. එබඳු ආයතනයකට පැමිණෙන ආබාධිත පුරවැසියකු මුහුණ දෙන ඉරණම වටහා ගැනීම අසීරු නැත.
අවධාරණය කළ යුතු කාරණාවක් ද තිබේ. එනම් මේ රට ආසියාතික ගුණගරුක බවින් පිරිපුන් මිනිසුන් ජීවත්වන රටකි. බුදුදහමෙන් මෙන්ම අනෙකුත් සමය දර්ශනවලින් හික්මීමක් ලද එමෙන්ම එමගින් ජීවන දැක්මක්, ජීවන විලාසයක් හා ජීවන විලාසිතාවක් නිර්මාණය කරගත් කුළුණුබර බව උරුම කරගත් ජනතාවක් ජීවත්වන රටකි. “පර දුක්ඛේ සති සාධු සාදෙ කම්පනං කරෝතීති කරුණා” යනුවෙන් දැක්වෙන පරිදි අනුන්ගේ දුකේදී කම්පනයට පත්වන, සසල වන හදවත් ඇති මිනිසුන් බහුතරයක් ජීවත්වන රටකි.
හදිසි අනතුරකදී විපතකදී ඒ බව මනාව පසක් වේ. අනාදිමත් කාලයක් පුරා රැගෙන එන එම උරුමය දුගී අප සතු පරම ධනය වෙයි. එහෙත් විශේෂ අවධානයට ලක්විය යුතු පුරවැසියන්ට ජීවත්වීම සඳහා එයම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් සාදා නිමකළ වැඩසටහනකි. විශේෂිත පුරවැසියන්ගේ ගැටලු හා අභියෝග එයට හිමි නිසි බරින්ම හඳුනාගෙන සාදා නිම කළ දියුණු හා විධිමත් යාන්ත්‍රණයකි.
උසින් අඩු මිනිසුන් මේ සංවිධානය වී තිබෙන්නේ ඒ වෙනුවෙනි. සමාජ සේවා දෙපාර්තමේන්තුවද මෙම සද්කාර්යයට දායකවන බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එය යහපත් ප්‍රවණතාවකි. එහෙයින් මෙම හඬ නිවැරැදිව හඳුනාගෙන දියුණු විද්‍යාත්මක ව්‍යාපෘතියක් සකස් කිරීම බලධාරීන්ගේ වගකීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම පාලන අධිකාරිය මේ පිලිබදව අවදානය යොමු කලයුතුය. එමෙන්ම රෝද පුටුවල යන උදවිය මෙන්ම වමතින් වැඩිපුරම වැඩකිරීමට පුරුදුවී සිටින උදවිය ගැනද එලෙසම අවදානය යොමුවිය යුතු බව අපගේ හැගීමයි.
ඔන්න අපි දෙනවා අපේ උපරිම සහයෝගය
මන් උදේට කාර්යාලයට යනකොට මෙවැනි පිරිමි හා කාන්තාවන් කිහිප දෙනෙකුත් දකිනවා. ඉදිරියට හමුවෙනවා. ඒ ඔවුනුත් කුමන හෝ රැකියාවකට යන අතරතුරයි. එයාලට සාමාන්‍ය අය තරම් වේගෙන් ඇවිද යන්න අසීරුයි. මම කරන්නේ හිනාවෙලා පොඩ්ඩක් නැවතිලා එයාලට යන්න දෙනවා. එවිට ඔවුන් තුලින් මන් දකින්නේ ප්‍රීතිමත් මුහුණක්. මට නිතරම හිතුන දෙය නම් තමන්ගේ සිරුරේ ප්‍රමාණය ගැන දුක් නොවී සමාජයට බරක් නොවී ගෞරවනීයව ජීවත් වීම අනිත් අයටත් අභිමානයක් නේද කියලා. ඒ නිසා මේ ආකාරයෙන් හෝ ඔවුන් ගැන සමාජ කතිකාවක් ඇරඹීම ඉතා වැදගත්.
හොඳ වැඩක්. බටහිර රටවල මේ වගේ අයට සලකන විදිය දැක්කම බෞද්ධයන් වශයෙන් අපි ගැනම ලැජ්ජයි.
දැන් ඉතින් ඕකට නිට්ටෑවොත් බඳවාගන්න පුළුවනි..!