IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විදුලි බිලට කප්පම් ගන්න හදන්න එපා

ලංකා විදුලිබල මණ්ඩලය යළිත් මාධ්‍යයේ සිරස්තල මවමින් සිටී. ඒ, හොඳ හේතුවක් නිසා නොව නරක හේතුවකටය. සාමාන්‍යයෙන් ලංවිම මාධ්‍යයේ පුවත් මවන විට පාරිභෝගිකයන්ගේ ඉහ මොළ රත් වෙයි. මතකයට නැගෙන්නේම රතු බිල් පමණි. විදුලිය ගාස්තු ඔරොත්තු නොදෙන මට්ටමටම පවා ඉක්ම ගොස් ඇති බැවිනි.

අලු‍ත් ප්‍රවෘත්තියෙන් හෙළි කර ඇත්තේ, ලංවිම විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේදී රුපියල් කෝටි 20,000ක පමණ අධි තක්සේරුවකින් වියදම් ඉදිරිපත් කර තිබෙන බවකි. එම අධි වියදම් ඉවත් කරන්නේ නම්, සියයට 25ත් 30ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමට හැකියාව ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

විදුලි ගාස්තු අඩු කිරීමට හැකි ප්‍රතිශතය එතරම් ඉහළ මට්ටමක තිබුණත්, පසුගියදා ලංවිම මගින් කොමිසමට ලබා දී ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාවේ නිර්දේශය වී ඇත්තේ, සියයට 3.4ක ප්‍රතිශතයක් පමණි. ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගනිමින් සිටින බවත්, පෙබරවාරි මැද වන විට එම සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි බවත්, කොමිසම කළ ප්‍රකාශයේ සඳහන් වෙයි. එහෙත්, මෙහිදී වඩාත්ම සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ, සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකිව තිබෙන විදුලි ගාස්තුව සියයට 3.4ක තරම් ඉතා අවම අගයකින් සංශෝධනය කළ යුතු බවට ලංවිම යෝජනා කර තිබීමය.

කොමිසම පෙන්වා දී තිබෙන්නේ, ලංවිම පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවය. එසේම, සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500ක් සහ අතිරේක වියදම් හැටියට රුපියල් කෝටි 20,000ක් ද හදිසි මිලදී ගැනීම්වලට තවත් විශාල වියදමක් ද එකතු කර ඇති බවත්, මහජන උපයෝගිතා කොමිසමේ අදාළ උපදේශන පත්‍රිකාවේ සඳහන් වෙයි.

මේ ආකාරයට රුපියල් කෝටි දහස් ගණනින් බොරු වියදම් පෙන්වා විදුලි පාරිභෝගිකයන්ගෙන් අධික ගාස්තු අයකර ඇත්නම්, එයින් වැටහෙන්නේ, විදුලි පාරිභෝගිකයන් මේ සිදුකරන්නේ බිල් ගෙවීමක් නොව කප්පම් ගෙවීමක් බවය. ශත 18ක් හිඟ තැබුවත් විදුලිය විසන්ධි කරන තරමට අකුරට නීතිය ක්‍රියාත්මක කරන ලංවිම නිලධාරීන් විදුලි පාරිභෝගික ජනතාව මේ ආකාරයට කප්පම් ගෙවීමකට හසු කරගැනීමට ක්‍රියා කරන්නේ මන්දැයි රටට පැහැදිලි කළ යුතුය. වියදම් අධි තක්සේරුවකින් ඉදිරිපත් කිරීමට කටයුතු කළ නිලධාරීන් කවුදැයි රටට හෙළි කළ යුතුය. එම නිලධාරීන් එසේ කටයුතු කර ඇත්තේ කාගේ උපදෙස් අනුවදැයි සොයාගැනීමත් අවශ්‍යය. පාරිභෝගිකයන් රජයට බොරු කරනවා නම්, ඔවුන්ට හිමි වන්නේ උපරිමව දඬුවම්ය. එසේ නම්, මේ බොරු වියදම් ඇස්තමේන්තු සකස් කළ නිලධාරීන්ට ද හිමි විය යුත්තේ උපරිම දඬුවම්ය.

අවම ඒකක භාවිත කරන විදුලි පාරිභෝගිකයන් සඳහා 2022 ජුනි මාසයේදී රුපියල් 4.60ක් වූ ඒකකයක මිල එම වසරේ සැප්තැම්බරයේදී රුපියල් 12.13ක් දක්වාත්, 2023 වසරේ පෙබරවාරියේදී රුපියල් 15.40ක් දක්වාත්, ඉන් පසුව අවස්ථා තුනකදී පිළිවෙළින් රුපියල් 36.15 (මාර්තු), රුපියල් 48.15 (අප්‍රේල්) සහ රුපියල් 47.10 (ජුනි) දක්වාම ලංවිම මගින් වැඩි කරනු ලැබීය. ඒ අනුව, ප්‍රතිශතයක් වශයෙන් වැඩි වීම සැලකුවොත්, 2022 සැප්තැම්බරයේදී සියයට 263ක් දක්වාත්, 2023 පෙබරවාරියේදී සියයට 334ක් දක්වාත්, මාර්තුවේදී සියයට 785ක් දක්වාත් වැඩි කර තිබෙන අතර, අප්‍රේල් මාසයේදී සියයට 1,054ක් දක්වාත්, ජුනි මාසය වන විට සියයට 1,023ක් දක්වාත් වැඩි කර තිබේ.

මේ වැඩි කිරීම් හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ පමණ විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බව ද පසුගිය කාලයේදී වාර්තා විය. මීට අමතරව ඉහළ ඒකක සංඛ්‍යාවක් භාවිත කරන පාරිභෝගිකයෝ ද මේ ආකාරයේම විදුලි ගාස්තු ඉහළ යාමේ පීඩනයට මුහුණ දී සිටිති. උපයෝගීතා කොමිසමට ලැබී ඇති තොරතුරු තහවුරු වී ඇත්නම්, විදුලි පාරිභෝගිකයන්ට සිදුව ඇති අසාධාරණයෙන් ඔවුන් ගලවා ගැනීමට කොමිසම වහාම පියවර ගත යුතුය. පාරිභෝගිකයන් බිල් ගෙවීම කළ යුතු වුවත්, කප්පම් ගෙවිය යුතු නැත.

(***)



අදහස් (0)

විදුලි බිලට කප්පම් ගන්න හදන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30762 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12774 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site