IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රටට පාඩු කරන මෙහෙම ගනුදෙනු කුමටද?

අපේ රට නම් මහා පුදුම රටකි. එක් අතකින් ලෝකයේ දරුණුවටම කඩා වැටුණු ආර්ථිකයට හිමිකම් කියයි. එහි තත්ත්වය කොතරම් බරපතළ දැයි කිවහොත් බහුතරයක් ජනතාවට ඊළඟ ආහාර වේල පිළිබඳ කිසිදු විශ්වාසයක් නැත. රජයේ සියලු වියහියදම්  කපා හැරීමට සිදුව තිබුණත් ආහාර උද්ධමනය  සියයට 95 ඉක්මවා යමින් තිබේ. අත්‍යවශ්‍ය ආහාර හෝ ගෙන්වා ගැනීමට ඩොලර් නැත.

රටේ මුදල් තත්ත්වය එසේ වුවත් ප්‍රමිතියෙන් තොර බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන තොග ලබාගැනීම හේතුවෙන් තෙල් සංස්ථාව මාස 06ක් තුළදී ඇමෙරිකානු ඩොලර් කෝටි 09ක මුදලක් අහිමි කරගෙන තිබේ. එම මුදල කොතරම්ද යත් එය ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නෞකා දෙකක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් බව ද සඳහන්ය.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පසුගිය මාස 06ක් තුළදී මිලදී ගත් බොරතෙල් සහ ඉන්ධන තොග සම්බන්ධයෙන් සිදු කෙරුණු විශ්ලේෂණයකදීය. තෙල් සංස්ථාවට සිදු කරන ලද පාඩුව හේතුවෙන් එක් සමාගමක් සදාකාලිකවම අසාදු ලේඛනගත කිරීමට එම වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන බවද සඳහන් වෙයි. අදාළ සමාගමේ නියෝජිතයන් සමග සංස්ථාවේ ඉහළ මට්ටමින් රහසිගත සම්බන්ධතා පැවති බවත් වෙනත් සැපයුම්කරුවන්ට නොතිබූ සුවිශේෂ සැලකිලි සහ වරප්‍රසාද මෙකී සමාගමට ලැබී තිබුණු බවත් හෙළි වී තිබේ. සංස්ථාව  මගින්  ගුවන් යානා ඉන්ධන සැපයුමේ පූර්ණ අයිතිය ලබාදී තිබුණේ මෙම අසාදුගත කිරීමට නියමිත සමාගමට බවත් සෙසු සැපයුම්කරුවන්ට මිල ගණන් ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවත් කියති.

දැන් කතාව පැහැදිලිය. සංස්ථාව ගනුදෙනු කර ඇත්තේ දූෂිත සමාගමක් සමගිනි. එම ගනුදෙනුවේ එක් කෙළවරක සිටින්නේ සංස්ථාව බැවින් එතැන ද සිදුව ඇත්තේ දූෂණයකි. එසේ නොවන්නට රහසිගත සාකච්ඡා අවශ්‍ය නැත. කිසියම් හෝ හේතුවකින් මේ දූෂිත ගනුදෙනුව හෙළි නොවන්නට එය සදාකාලිකවම වැළලී යාමට හොඳටම ඉඩ තිබිණි. එසේ වී නම් මෙතරම් පාඩුවක් රටට සිදු වූ බවට දැනගැනීමටවත් ලැබෙන්නේ නැත. දරුණුම ආර්ථික අගාධයකට වැටී සිටින රටකට මෙතරම් පාඩුවක් සිදු කිරීම මහත් අපරාධයක් බව ද කිව යුතුය.

එසේ වුවද මෙතරම් බරපතළ පාඩුවක් සිදුකළ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස කවුදැයි එකී විශ්ලේෂණ වාර්තාව මගින් පෙන්වා දී නොතිබීම බරපතළ අඩුපාඩුවක් බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. අපේ රටට ඩොලර් කෝටි 09ක් අහිමි කිරීමේ  වැරැද්දට වගකිව යුතු පුද්ගලයන් කවුදැයි වහාම හෙළිදරව් කළ යුතුය. එය නොවුණහොත් ඉදිරියේදී තෙල් නැව් අයිති සමාගම්වලට රටම උගස් වනතුරු කිසිවකුත් දැන නොසිටීමටත් ඉඩ තිබේ. තෙල් නැව් ගනුදෙනු හරහා කෝටි ගණන් ඩොලර් රටට අහිමි කළ පුද්ගලයන් තරාතිරම නොබලා අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බව අපි දැඩිව  අවධාරණය කරමු.

තවත් අතකින් අදාළ සමාගම අසාදු ලේඛනගත කිරීමට කෙරුණු නිර්දේශය ද පලක් නැති දෙයක් බව කිව යුතුය. මේ සමාගම  අසාදු ලේඛනගත වුවත් අදාළ ගනුදෙනුවට මැදි වූ සමාගමේ කිසිදු පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තාක් එම සමාගමට සිදුවන හානියක් හෝ පාඩුවක් නැත. ලංකාවෙන්  විශේෂ සැලකිලි ලැබූ නිලධාරීන්ට මෙම ‘බ්ලැක්ලිස්ට්’ සමාගමේ නම් වෙනස් කරගෙන අලුත් නමකින්ද දැනට එහි නැව් මගින්ම ලංකාවට ඉන්ධන රැගෙන ඒමට කිසිම අපහසුකමක් නැත. තෙල් සංස්ථාවට දැන් සිදුවී තිබෙන්නේ ඩොලර් කෝටි 09ක් ද අහිමි කර ගනිමින් වැරදිකරුවකු නැති ගනුදෙනුවක ලැජ්ජා සහගත කොටස්කරුවකු වීමට පමණි.

තෙල් සංස්ථාවට පමණක් නොව රටේ කිසිම සංස්ථාවකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මෙවැනි රටට පාඩු කරන ගනුදෙනුවලට සම්බන්ධ වීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය.  ඒ සඳහා වගකිව යුතු නිලධාරීන්ට හෝ  දේශපාලකයන්ට හෝ නීතියෙන් ගැලවීමට තිබෙන ඉඩකඩද වසා දැමිය යුතුය. රටට කෝටි ගණනින් පාඩු සිදුකර දේශපාලකයකුගේ  සෙවණැල්ලට මුවා වී වැඩේ ෂේප් කරගන්නා නිලධාරීන් රටටම මහා වින්නැහියකි. ඔවුන් ආරක්ෂා කරන දේශපාලකයන් සිටී නම් ඔවුන්ද රටටම සිදුකරන්නේ මහා අපරාධයකි.

බොරතෙල් ගනුදෙනුවකින් ඩොලර් කෝටි 09ක් වැනි විශාල මුදල් අහිමි වීමේ පාඩුව විඳින්නේ රටේ පොදු මහ ජනතාවය. බදු හරහා එහි බර පැටවෙන්නේද ඔවුන්ගේ කර මතටමය. බොරතෙල් ගනුදෙනුවෙන් සාක්කු පුරවාගත් නිලධාරීන් සහ දේශපාලකයන් කවුදැයි හෙළි නොවන තාක් මේ පාඩුව සිදුකර ඇත්තේ රජයට සම්බන්ධ පාර්ශ්වයක් විසින් බවට වන සැකය මහජනතාවගෙන් ඈත් නොවන බව ද පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (0)

රටට පාඩු කරන මෙහෙම ගනුදෙනු කුමටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site