රජයේ වාහනවලින් සිදුකෙරෙන ගැහිලි ගැන කතා නිමක් නැත. ඒ ගැහිලි අතරේ ඉන්ධන සොරා ගැනීමේ සිට ගෙඩිය පිටින් වාහනයම අතුරුදන් කිරීම දක්වා කටයුතු සිදුවෙමින් පවතී. මේ බොහොමයක් ගැහිලි සිදුවන්නේ හොර රහසේ වුවද ඒ සිදුවීම් ඇතැම් විට ‘ප්‍රසිද්ධ රහස්’ බවට ද පත්වෙයි. එවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට විනය පරීක්ෂණවලට මුහුණ දීමට පමණක් නොව රැකියාව අහිමිවීම දක්වා දඬුවම්වලට යටත්වීමට ද සිදු වෙයි.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මගින් පසුගියදා අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එවැනි ගැහිලි හේතුවෙන් සිදුවන විශාල මූල්‍ය නාස්තිය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා පා තිබේ. රුපියල් 100ක පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් 300ක් තරම් ඉහළ පිරිවැයකට ධාවනය කළ යුතු වන තත්වයකට පත්වීම ඒ සඳහා එක් උදාහරණයකි. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකසන ලද පර් යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වන්නේ යැයි කාරක සභාව ප්‍රකාශ කර තිබිණි.
රුපියල් 100කින් කළ හැකි වැඩේට රුපියල් 300ක් වැය කිරීම යනු විශාල නාස්තියකි. එය නාස්තියක් පමණක් නොව දූෂිත සහ වංචනික ක්‍රියාදාමයක එක් ශක්තිමත් පුරුකක් ද වෙයි. ඒ අනුව වැඩිපුර වැය වන රුපියල් දෙසීය අවසානයේ නවතින්නේ කාගේ හෝ සාක්කුවක ය. රජයේ ආයතන බොහොමයක වාහනවලට වර්තමානයේ අත්වී තිබෙන ඉරණම එයයි.
රජයේ වාහන බරපතළ ලෙස අවභාවිතයේ යෙදෙන බව ද ඒ සමග සඳහන් කළ යුතු ය. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල සුපිරි පාසල් ගේට්ටු අසලට එම පාසල් ඇරෙන වේලාවට ගොස් පරීක්ෂා කළහොත් රාජ්‍ය ලාංඡනය ගැසූ වාහන කොපමණ සංඛ්‍යාවක් අවභාවිතයේ තිබේදැයි බලාගත හැකිවනු ඇත. එසේම දිගු සති අන්තවලදී විවිධ පළාත්වල තිබෙන නිවාඩු නිකේතන සහ සුපිරි ගණයේ හෝටල් පරිශ්‍රවල ද රාජ්‍ය ලාංඡනය සහිත වාහන දැක ගැනීම අසීරු නැත.
ආංශික කාරක සභාව සඳහන් කර ඇති පරිදි රාජ්‍ය අංශය සතුව මේ වනවිට පවතින වාහන සංඛ්‍යාව අසූ දෙදාහක් පමණ වන අතර එයින් ධාවන තත්වයේ පවතින්නේ හැත්තෑදහසක පමණ සංඛ්‍යාවකි. ධාවන තත්වයේ ඇති වාහනයක් කිලෝමීටරයක් දුරක් යාමේදී රුපියල් 300ත් 500ත් අතර වියදමක් ආසන්න වශයෙන් වැය කෙරෙන බව ද සඳහන්වීම නිසා සිදුවන විශාල පාඩුව ගණන් හදාගත හැක.
මෙවැනි විශාල මුදලක් වැය වන්නේ එකී වාහන නඩත්තුවට සහ රියැදුරන්ටත් සහායකයන්ටත් වැටුප් ගෙවීමට සිදුවීම නිසා බව පෙනීයයි. එහෙත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි නම් ඒ සඳහා කිලෝමීටරයකට වැය වන්නේ රුපියල් සියයක් හෝ ඊට වඩා අඩු මුදලක් බව ද අදාළ පර් යේෂණ වාර්තාව අනුව හෙළිවී ඇතැයි කියති. ඒ අනුව එවැනි වැඩපිළිවෙළකින් රජයට ඉතිරි කරගත හැකිවන මුදල රුපියල් කෝටි 2000ක් පමණ වන බව ද සඳහන් ය.
මේ තොරතුරු අදාළ කර ගනිමින් රාජ්‍ය ආයතන සතු වාහන භාවිතයේ දී සිදුවන නාස්තිය වැළැක්වීමට හඳුන්වාදිය යුතු වෙනස්කම් කවරේ ද යන්න ගැන ආණ්ඩුව තීන්දුවක් ගත යුතුය. අත්‍යවශ්‍යම රාජකාරී කටයුතු සඳහා හැර වෙනත් අවශ්‍යතා සඳහා වාහන බැහැරින් කුලී පදනම මත ලබාගත හැකිනම් එය මේ නාස්තිය වැළැක්වීම සඳහා සුදුසු එක් පියවරක් වනු ඇත. එහෙත් එහිදී සැලකිලිමත් විය යුත්තේ රාජ්‍ය ආදායම ඉතිරිකර දෙන අතරේ වැඩි මිලකට වාහන කුලියට ගනිමින් අතයට ගනුදෙනු හරහා තවත් දූෂණයකට ඉඩ නොතැබීමට ය. එය සිදු වුවහොත් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම කෙසේ වෙතත් ඒ ඒ රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන්ට අයථා අන්දමින් මුදල් රැස්කර ගැනීමේ මාර්ගයක් උදාකර දීමක් වනු ඇත.
(***)

COMMENTS
ඔය පත්‍රිකාවට අනුව රුපියල් 100 කින් කිලෝ මීටරයක් යන්න පුළුවන් වෙන්නේ මොන වාහනයේද? මොකද ත්‍රී රෝද රථයක වුණත් ඊට වඩා ගන්නවා. අනෙක වාහන කියන්නේ හුදෙක් කාර්, වෑන් විතරක් නොවෙයි. හමුදාවේ වාහන, පොලිසියේ වාහන, ගිලන් රථ වගේ ඒවා කුලියට අරන් පාවිච්චි කරන්න පුළුවන්ද?
රජයේ වාහන වලින් සිදුවන නාස්ති ගැන කියද්දී ගමන් වියදම් හා සංයුක්ත දීමනා ගැන කියන්න වෙනවා... අතීතයේ එනම් මෙයට වසර පනහකට හෝ ඉන් පෙර කාලයේ ලංකාවේ ගමනාගමන හා ප්‍රවාහන පහසුකම් ඉතාමත් අඩුයි. ඉතින් කලාතුරකින් හෝ තියෙන බසයක ගොස් පා ගමනින් රාජකාරි කරන නිලධාරින්ට කෑමට යමක් ගන්න තැනක් තිබුනේ නැහැ. කුසගින්නේ දවසක් ඇවිදලා කාගේ හෝ පැලක රාත්‍රිය ගතකර පසුදා ආපසු යන්නේ ඉතාමත් විඩාවට පත්වෙලා තමයි... වර්තමානයේ එවැනි ගමනක් තියෙන්නේ නම් ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් සඳහා පහසුකම් සැලසීම බාර නිලධාරින්ට පමණයි. ඉතින් අතීතයේ එවැනි ගමන් යෙදීම වෙනුවෙන් බස්ගාස්තු හා කාලය පදනමෙන් යැපීම් දීමනා ගෙවීම් කරනවා. ඇත්තටම අතීතයේ එහෙම කරපු දේ අනුගමනය කරමින් තවමත් එම දීමනා ගෙවීම කෙසේවත් සාධාරණයක් නැහැ. ඒ අතර සමහරක් රියදුරෝ පිරිසක් ඉන්නවා දිනක් තුළ දෙවරක් ගමන් ගියොත් දෙවරක්ම එම දීමනා ගන්නවා... තවත් දෙයක් තමයි රියදුරුට වැටුප් ගෙවන්නේ ඔහුගේ රාජකාරි කිරීම සඳහා වුණත් රියැදුරෝ වාහන පැදවීම වෙනුවෙන් සංයුක්ත දීමනා නැත්නම් රාජකාරි කරන්නේ නැහැ. මේ ගෙවීම් ක්‍රම නොපමාව අහෝසි කරන්න හෝ සංශෝධනයක් කරන්න අවශ්‍ය වෙනවා..!
ඔයිට වඩා හොද ගසා කෑමක් කියන්නද. ලංකාවේ ඕනම දුරකතන සමාගමකින් මාසයකට රු 1000ට අඩුවෙන් සීමාවකින් තොරව ඇමතුම් ගන්න පුලුවන්. ඒ කියන්නෙ මාසෙම කතා කරත් රු 1000යි. එසේ තිබියදී මන්ත්‍රීවරුනට රු 50000ක දුරකතන දීමනාවක් දෙන්නෙ ඇයි