IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


රජයේ රෝහල්වල ඖෂධ හිඟයකට ඉඩ තියනු එපා

ලෙඩට දුකට බෙහෙතක් නැති රටක් යනු එම රට කිසි ලෙසකින් හෝ මිනිස් වාසයට සුදුසු රටක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ලෝකයෙන් ම උතුම් රට යැයි පුරවැසියා හදපිරි ගෞරවයෙන් විශ්වාස කළ උදම් ඇනූ සසිරිබර මෙසිරිලක සම්බන්ධයෙන් දිගින් දිගටම ලිවීමට සිදු වී තිබෙන්නේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව ය. නැත්නම් ඖෂධ ඇත්තේ ම නැති බව ය. එබඳු අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.

මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන ‘‘ලික්නොකේන්’’ නමැති එන්නත මාස කීපයක සිට දැඩි ලෙස හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත වාර්තා කළේ නොබෝදා ය.

ඖෂධ හිඟය හා ඖෂධ ඇත්තේ ම නැති තත්වය සම්බන්ධයෙන් අප දිගින් දිගටම හඬ නගන්නේ එම තත්වය අප පුරවැසියාගේ ජීවිත බරපතළ අනතුරකට තල්ලු කර ඇති හෙයිනි. එය මාරාන්තික තත්වයකි. ජන ජීවිතය එබඳු අවදානම් සහගත තැනකට ඇද දැමීමට කිසිවකුට අයිතියක් නැත. එමෙන්ම එම භයංකාර තත්වය දෙස නොබැලූ දෙනෙතින් පසුවීමට කිසිදු බලධාරියකුට අයිතියක් නැත.

දරාගත නොහැකි බදු බරකින් මෙරට ජනයා පීඩා විඳිති. ආණ්ඩුව බදු පනවා තිබෙන්නේ එමගින් ලැබෙන ආදායමෙන් රටෙහි දෛනික කටයුතු පවත්වාගෙන යෑමට ය.

අඛණ්ඩව විදුලිය සැපයීමට, අඛණ්ඩව ඉන්ධන සහ ගෑස් සැපයීමට, ආනයනික ආහාර ද්‍රව්‍යවලට අවශ්‍ය වියදම් සොයා ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයක් වනුයේ බදු ආදායම වේ. මෙම ලැයිස්තුවට ඖෂධ ආනයනය කිරීම අනිවාර්යයෙන් ම ඇතුළත් විය යුතු ය. එහෙත් ඖෂධ හිඟය සම්බන්ධයෙන් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වන්නේ ජන ජීවිතයට අතිශයින්ම තීරණාත්මක වන ඖෂධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව ය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ රෝගී ස්ථානීය නිර්වින්දනය කිරීමේ දී භාවිත කරන එම එන්නත නොමැතිවීමෙන් මහනුවර ජාතික රෝහලේ විවිධ ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවට පත්වන බව ය. එසේම පේරාදෙණිය ළමා රෝහලේ ලික් නොකේන් නමැති එම එන්නත නොමැතිවීමෙන් කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම කිරීමේ දී දැඩි ලෙස බාධාවන බව ය.

රෝහල්වල නොමැති ඖෂධ බොහෝ විට රෝහල අවට ෆාමසිවලින් ලබාගත හැකි ය. ඒ අශ්ප ගණන්වලට ය. රෝහල්වල කාර්ය මණ්ඩලවල ඇතැම් සාමාජිකයන් රෝහලේ ඖෂධ පිට පාරෙන් පන්නා ජාවාරම්කරුවන් අතට පත්කරන බව අනාවරණය වූයේ වරක් දෙවරක් නොවේ. ජාවාරම්කරුවෝ ද අධික මිල ගණන්වලට මෙම ඖෂධ අලෙවි කරති. ජීවිතය බේරාගත යුතු නිසා ඉඩකඩම් විකුණා දමා හෝ ජාවාරම්කරුවන් නියම කරනු ලබන මිල ගණන්වලට එම ඖෂධ මිලදී ගැනීමට ජනයා පෙළඹෙති. එබඳු වත්කමක් නොමැති ජනයා ජීවිතාශාව අතහැර මරණයට සිත් සූදානම් කර ගනිති.

අප ජීවත්වන්නේ මෙබඳු ශාපලත් පරිසරයක ය. අප එබඳු ඉරණමකට යටත් විය යුතු නැත. ජන ජීවිතය තිබෙන තැනින් අඟලක් හෝ ඔසොවා තැබීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඇති අකාර්යක්ෂමතාව, වංචා, දූෂණ, අක්‍රමිකතා හා මහපොළොව නුහුලන ජාවාරම් වහාම නතර කළ යුතු ය. සෙසු සියලු කටයුතු පසෙකලා මෙම කටයුත්ත පෙරට ගත යුතු බව අපි අවධාරණය කරමු.

(***)

 



අදහස් (0)

රජයේ රෝහල්වල ඖෂධ හිඟයකට ඉඩ තියනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1619 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site