IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මහබැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම

ලංකාවේ අනාගතය පිළිබඳ මේ දිනවල බොහෝ පුරෝකථන සිදුවෙමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් පසුව දින කිහිපයක් ඉක්ම යද්දී එම පුරෝකථනවල බර වැඩි විය. ඒ අතුරින් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ ප්‍රකාශය කැපී පෙනෙයි.

හැකි ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතු බවත් එසේ නොකළහොත් සතියක් දෙකක් බලා තමා ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ රටක දේශපාලන සහ සමාජමය අස්ථාවරත්වයක් තිබෙන තත්ත්වයක් තුළ කිසිදු ජගතකුට ආර්ථිකය ගොඩ දැමිය නොහැකි බවය. තමා මේ සම්බන්ධයෙන් රටේ නායකයන්ටද වෙනත් වගකිවයුතු පාර්ශ්වවලටද දන්වා තිබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය භාරගත්තේ රටේ ආර්ථිකය තිරිංග නොමැති වාහනයක් පල්ලමක් බසින තත්ත්වයක් පවතිද්දී බව නොරහසකි. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වී දින කිහිපයකදී ඉතා වැදගත් දැඩි තීන්දු ගණනාවක් ගනිමින් යන්තමින් වාහනය පල්ලමට යා නොදී තිරිංග යෙදීමට සමත් වූ බව රටටම දැනුණි. රටේ බැංකු පද්ධතිය පිළිබඳ සමස්ත රට තුළ පැවති අවිනිශ්චිතභාවය තුනී කිරීමට ආචාර්ය වීරසිංහ මහතා විසින් ගන්නා ලද එම තීරණ හේතු වූ බව මේ රටේ ආර්ථික විශ්ලේෂකයන් ගණනාවකගේ මතය විය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා අරඹා වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩනැගීම පිළිබඳ යම් බලාපොරොත්තුවක්ද ඇති කළේය.

ධුරය භාරගෙන කෙටි කාලයක් තුළදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එවැනි සාධනීය පියවර ගණනාවක් ගත් නව මහ බැංකු අධිපතිවරයා රටේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ පළ කරන මතය කෙරේ රටේ දේශපාලන අධිකාරියේ අවධානය වහාම යොමුවිය යුතුය. මේ අන්දමින් අස්ථාවර ආකාරයකින් රටට ඉදිරි ගමනක් නැත. අග්‍රාමාත්‍යවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලයකින් තොරව රට මේ අන්දමට තව දින කිහිපයක් පැවතියහොත් රට තුළ ඉන්ධන හිඟය, ගෑස් හිඟය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් උග්‍ර වනු ඇති බවටද මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවා තිබිණි.

කෙසේ වුවද ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ඉහත අදහස් දැක්වූ දිනයේම රාත්‍රියේ ජාතිය අමතමින් ප්‍රකාශයක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළදී පත් කරන බව සඳහන් කළේය. එම ප්‍රකාශයට අනුව යමින් නව අග්‍රාමාත්‍යවරයකු බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ දිව්රුම් දීමට සූදානමක් ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් විය. එය එසේ සිදුවීම රටේ යහපතට හේතු වන බව අමුතුවෙන් කිවයුතු නැත. අගමැතිවරයා ඊයේ සවස දිවුරුම් දුන්නේය.

නව මහ බැංකු අධිපතිවරයාද පත්කර ගනිමින් රට පුරා ඇතිවෙමින් තිබූ පෝලිම් ඇතුළු සමස්ත ආර්ථික අර්බුදයටම විසඳුම් සෙවීමේ මාර්ගයකට අවතීර්ණ වෙමින් සිටී. රටම කණපිට පෙරළුණේ ගාලු‍මුවදොර සාමකාමී අරගලයට සිදු කළ පාදඩ ප්‍රහාරය හේතුවෙනි. අඳබාල දේශපාලන තකතීරුවන් පිරිසකගේ මෙහෙයැවීමෙන් සිදුකෙරුණු එම මෘග ප්‍රහාරයත් ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් මේ රටේ දේශපාලන සහ ආර්ථික අර්බුදය ගොඩගැනීමට අමාරු අගාධයකට තල්ලු‍ කර දමා තිබේ. ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී ආර්ථිකය නැංවීමට ගත් ශුභවාදී උත්සාහය එම සිද්ධි මාලාවෙන් ආපස්සට ගිය බවය. එසේ ආපස්සට ගිය උත්සාහයන් සියල්ල යළි ඉදිරියට හරවා ගැනීම අලු‍තින් පත්වෙන ආණ්ඩුවේ මුල්ම ඉලක්කය විය යුතුය. එසේ නොවුණහොත් ඉතා අමාරුවෙන් ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා සෑම උත්සාහයක්ම අසාර්ථක වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති පුරෝකථනය අලු‍ත් ආණ්ඩුවකට කදිම මගපෙන්වීමක් කර තිබෙන බවද සඳහන් කළ යුතුය.

මේ රටේ මූල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුවට මේ දිනවල දොරගුළු වැටී තිබේ. එකදිගට රටේ සිදුවූ අරගල, ආවේගශීලී ජනතා නැගිටීම් හේතුවෙන් ඉතා උණුසුම් වූ පාර්ලිමේන්තුවේදී රටේ ප්‍රශ්න විසඳාගැනීමට කිසිදු හරවත් කතාවක් සිදු නොවීය. අවසානයේ ගාලු‍මුවදොර ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ ඇතිවූ කලහකාරී තත්ත්වය මගින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පවා ඉතා අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබේ. උද්ගතව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳාගැනීමට ආණ්ඩුවක අවශ්‍යතාව තදින්ම දැනෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නිහඬ වීම රටේම අවාසනාවකි.

රට ගොඩනැගීමට නම් මොන උප්පරවැට්ටියක් දමා හෝ ආර්ථිකය කෙළින් සිටුවිය යුතුය. ඒ සඳහා වඩාත්ම අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේ. එම අදහසට අනුව ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයාටත් අලු‍තින් පත්වන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් හැකි විය යුතුය. එසේ වුණොත් රට පිළිබඳ ශුභවාදී අදහසක තවදුරටත් රැඳී සිටීමට අප කාටත් හැකිවනු ඇත.

 

(***)



අදහස් (0)

මහබැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 946 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site