IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට කප්ගසා සිටින ඇතැම් දේශපාලනඥයන් විසිනි. එහෙත් සමහර ව්‍යාපෘති හොඳ අරමුණකින් ආරම්භ කළත් අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් හෝ වෙනත් විවිධ ප්‍රායෝගික දුෂ්කරතා පැන නැගීමෙන් හෝ අතරමග නවතී.

දැනට කලකට පෙරදී ආරම්භ කළ එවැනි ව්‍යාපෘතියක් වූ කොළඹ නගරයේ ඇළ මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භයද එසේ අතරමග නැවතී තිබෙන බව අපගේ ලංකාදීප ප්‍රවෘත්තියකින් හෙළිදරව් කර තිබිණි.

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ආරම්භ වූ දෙපසටම ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව 2020 වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූවකි. සතියේ දිනවල බත්තරමුල්ල සහ වැල්ලවත්ත හරහා කොළඹට ඇතුළු වන විශාල ජනකාය හේතුවෙන් ඇතිවෙන මාර්ග තදබදයට එක් විසඳුමක් වශයෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබී ය. කොළඹ නගරයේ අලංකාර පරිසර පද්ධති මැදින් දියත උයන සිට නාවල සහ කිරුළපන හරහා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල දක්වාත් මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක විය. ආරම්භයේ දී එය මගීන්ගේ ආකර්ශනයට ලක්වූ ප්‍රවාහන සේවාවක් වශයෙන් ද හැඳින්විණි. එය කොළඹ නගරයේ මාර්ග තදබදය මග හරවාගනිමින් ඉක්මනින් ගමන් කළ හැකි ලාබදායි ප්‍රවාහන සේවාවක් වශයෙන් ද ව්‍යාපෘතිය හඳුන්වාදුන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ එවකට සිටි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා කළ ප්‍රකාශයක සඳහන් විය. එහෙත් එම ව්‍යාපෘතිය මේ ආකාරයට පසු කාලයක දී අතහැර දමනු ලැබීම කනගාටුවට කරුණක් බව පෙන්වා දිය යුතු ය.

ඒ කාලයේම බේරේ වැව ආශ්‍රිතව ද බෝට්ටු සේවාවක් ආරම්භ කරනු ලැබී ය. එම සේවාව ද ඇනහිට තිබේ. මේ සේවා සඳහා සපයාගෙන තිබූ බෝට්ටු දිරාපත්වීමට ඉඩ හැර තිබීම තවත් මුදල් නාස්තියකි. මේ බෝට්ටු සේවා නතර කර දැමීමට තීන්දු කිරීමට පෙර ඒවා වැඩි දියුණු කර පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා තිබේදැයි විමසා බැලීම ද අවශ්‍යය. ප්‍රවාහනයේ දී ඇතිවන අධික වාහන තදබදය මගහැර යාමට හැකි හැම පියවරක්ම ගත යුතුව තිබියදී ආරම්භ කළ එවැනි ව්‍යාපෘතියක් හෝ පවත්වාගෙන යාමට නොහැකි වූයේ කාගේ වරදින්දැයි සොයා බැලිය යුතු ය.

2020 වසරේ දී ආරම්භ කර තිබූ මෙම බෝට්ටු සේවාව සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බෝට්ටු කිහිපයක් ද 2022 වසරේ දී එකතු කර තිබිණි. ඒ සඳහා පියවර ගෙන තිබුණේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි. ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ පෞද්ගලික සමාගමක් ඒකාබද්ධව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ඒ අවස්ථාවේ දී සඳහන් කර තිබුණේ මේ සඳහා සූර්ය පැනල භාවිත කිරීම තෙල් හිඟයට සහ විදුලිය අර්බුදයට ද විසඳුමක් බව ද පෙන්වා දෙමිනි. එහෙත් මේ සියල්ල මේ වනවිට නවතා දමා තිබේ. අමාත්‍යවරයා ලංකාදීපය කළ විමසීමක දී ප්‍රකාශ කර තිබුණේ මගීන් එම සේවාවේ වැදගත්කම හඳුනා නොගැනීම හේතුවෙන් බෝට්ටු සේවාව නවතා දැමූ බව ය. එහෙත් එය මගීන්ගේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්කරවීම රජයේ බලධාරීන්ගේ වගකීමක් බව අපගේ විශ්වාසයයි.

මගී ප්‍රවාහන සේවා තවදුරටත් අලුත් ක්‍රියාමාර්ග ඔස්සේ වර්ධනය කළ යුතුව තිබියදී ඒ සඳහා හොඳ විකල්පයක් කරගත හැකිව තිබූ ඇළ මාර්ග ඔස්සේ බෝට්ටු සේවා පැවැත්වීම කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු ය. මෙම මගී ප්‍රවාහන ව්‍යාපෘතිය වත්මන් රජය මගින් හඳුන්වාදී තිබූ කොළඹ වාණිජ නගර සංවර්ධන සැලැස්ම (2019-2030) ට ද ඇතුළත්ව තිබූ බව ද එහි ලිපි ලේඛනවල සඳහන් වී තිබේ. වඩ වඩාත් සංවර්ධනය කළ යුතු ව්‍යාපෘති මේ ආකාරයට දිරාපත්ව යාමට ඉඩ දී තිබීම සංවර්ධන ක්‍රියාදාමයට ද කළු පැල්ලමක් බවත් පෙන්වා දිය යුතු ය.

(***)



අදහස් (1)

මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?

ලුම්බිණි Friday, 03 May 2024 07:47 AM

කිසිම අධ්‍යනයක් නොකර හිතුමතේ පටන් ගන්නා ව්‍යාපෘති එදා ඉඳලම ලංකාවේ තිබුනා. උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දැමීම දැමීම අපේ පුරුද්දක්. "පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ".

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site