IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවට සවන්දෙමු

බිත්තර මිල පිළිබඳ ගැටලු මීට දෙවසරකට පෙර දක්නට ලැබිණ. රටේ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට කුකුළු ගොවිපොළ ව්‍යාපාරයටද කනකොකා හැඬීම නිසා බිත්තර නිෂ්පාදකයෝද අමාරුවේ වැටුණාහ. කුකුළු මස් කිලෝවක මිලද සමග බිත්තර මිලද ශීඝ්‍රයෙන් ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විය. ඒ කාලයේ තිබූ ගැටලු හේතුවෙන් බිත්තරයක මිල ද දරාගත නොහැකි මට්ටමට ළඟාවිය. ඒ ගැන කොතෙකුත් කතා බහ කෙරුණත් විසඳුමක් නොලැබිණි.

එහෙත් රටේ ආර්ථිකය තුළ තිබූ බරපතළ ගැටලු බොහොමයක් දුරට පාලනය කරගෙන තිබූ තැනින් රට ගොඩගත් බවට රටේ බලධාරීන් උදම් අනන අවස්ථාවක බිත්තරයක මිල ඉහළ මට්ටමක ගෙන ඒමට හැකියාවක් නැත. එහෙත් එය එලෙස සිදුවෙමින් තිබේ. වරින්වර බිත්තරයක මිල ඉහළ පහළ යන අතර රුපියල් 70 දක්වා ඉහළ මිලකට පසුගිය දිනවල බිත්තර අලෙවි වූයේ නිෂ්පාදන මට්ටම ඉහළ ප්‍රගතියක් අත්කර ගනිමින් තිබියදීය. එයට පිළිතුරක් වශයෙන් රජය තීරණය කළේ ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමයි. එය දැන් සිදුවෙමින් පවතී. ඉදිරි උත්සව සමයේදී මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ඉන්දියාවෙන් බිත්තර කෝටි ගණනාවක් ගෙන්වීමටද වෙළෙඳ අමාත්‍යවරයා අවසර දී ඇත. මෙසේ කටයුතු සිදුවෙද්දී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි.

එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා තිබුණේ තොග මිලට බිත්තර මිලදී ගන්නේ නම් ඉන්දියානු බිත්තරයක මිලටත් අඩුවෙන් නැතහොත් ඊට සමාන බිත්තර දින 10ක වගකීමක් සහිතව කෝටි දෙකක් හෝ ලබාදිය හැකි බවය. ඉන්දියාවෙන් ගෙන්වන ග්‍රෑම් 35ට අඩු බිත්තර ලක් සතොස හරහා රුපියල් 45ට විකුණුවත් ග්‍රෑම් 40කට ආසන්න බිත්තරයක් රුපියල් 40 බැගින් කෝටි හතරක් වුවද ලබාදීමට තම සාමාජිකයන්ට හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. රට තුළ බිත්තර නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති හෙයින් මිල මෙසේ පහත දැමිය හැකි බවද ඔහු සඳහන් කරයි.

බිත්තර වෙළෙඳාම සම්බන්ධයෙන් මේ පවතින පරස්පර කතා අනුව අපට නම් වැටහෙන්නේ බිත්තර නිෂ්පාදකයාත් සිල්ලර වෙළෙන්දාත් අතර කිසියම් සංවිධානාත්මක ජාලයක් බිත්තර මිල ඉහළ මට්ටමක තබා ගැනීමට දිගටම ක්‍රියාත්මක වෙන බවය. එසේ ක්‍රියාත්මක වීමෙන් අරමැදියන් වශයෙන් ක්‍රියා කරන අයට නිෂ්පාදකයාටත් වඩා ලාබයක් උපයා ගැනීමට අවස්ථාව පෑදෙන අතර ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට ඉඩ ලැබීමෙන් තවත් පිරිසකට විශාල කොමිස් කුට්ටියක් කඩා ගැනීමටද පොට පෑදෙයි. අවසානයේ පහර වදින්නේ පාරිභෝගිකයාටය. රුපියල් 40කට පමණ මිලදී ගත හැකි අපේ රටේ බිත්තරයකට රුපියල් 50කට අධික මිලක් ගෙවීමටත් ඉන්දියාවෙන් ගෙන්වන කුඩා බිත්තරවලට පවා රුපියල් 45ක් ගෙවීමටත් පාරිභෝගිකයාට සිදුවී තිබෙන්නේ ඒ හේතුවෙනි.

ඉතාම පීඩාකාරී ආර්ථික කුණාටුවකින් පසුව යන්තමින් හුස්ම ගත හැකි ලෙසට ආර්ථිකය හැඩ ගැසෙමින් තිබියදී බිත්තරයක මිල මෙතරම් අසාධාරණ ඉහළ මට්ටමකට තිබීම සම්බන්ධයෙන් සොයා බැලීම රජයේ බලධාරීන්ගේ වගකීමකි. මේ සියලු මිල ගණන් සොයා බැලීම පාරිභෝගික අධිකාරියට පවරා අත සෝදා ගැනීම බලධාරීන්ගේ යුතුකම නොවේ. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරන කාරණා පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකර අයුතු ලාබ ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියා කරන පුද්ගලයන් හෝ සංවිධාන හෝ වෙත්නම් ඒ අයට එරෙහි අප්‍රමාදව පියවර ගත යුතුය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කර තිබූ තවත් කරුණක් කෙරෙහිද අපගේ අවධානය යොමු කිරීම වටී. බිත්තරයක මිල රුපියල් 75 දක්වා ගිය කාලයේ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් පෙන්වා බිත්තරයක මිල ඉහළ ගොස් තිබූ ආකාරය සම්බන්ධයෙන් නිෂ්පාදකයාට බැට දුන් ඇතැම් පිරිස් අද බිත්තරයක් රුපියල් 40ට සතොසට ලබාදීමට නිෂ්පාදකයෝත් කැමැත්තෙන් සිටියදීත් එසේම බිත්තරයක සිල්ලර මිල රුපියල් 50ට තිබියදීත් ඒ ගැන කතා නොකර සිටීම කනගාටුවට හේතුවක් බවය. අප තදින්ම කියා සිටින්නේ මෙරට දරුවන්ගේ පෝෂණයට පවා ප්‍රබල බලපෑමක් ඇති පෝෂ්‍යදායී ආහාරයක් වන බිත්තරයෙන් ගසා කෑම වළක්වා එය සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීමට ආණ්ඩුව දැඩි පියවර ගත යුතු බවය.

(***)



අදහස් (1)

බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවට සවන්දෙමු

vernon Wednesday, 20 March 2024 12:11 PM

දැන් බිත්තර ගෙන්වලා කොමිස් ගහන්නේ කවුද? බිත්තර නිෂ්පාදකයන්ගෙන් තොග වෙළෙන්ඳා මිලට අරන් තමයි සිල්ලර කඩේට දාන්නේ. ඒකට ප්‍රවාහන වියදම්, ගබඩා කුලී, සේවක පඩි නඩි, ලාභය එකතු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මෙයාලාට රු 40ට බිත්තර දෙන්න පුළුවන් නම් ඉතින් දෙන්න කියන්නකෝ... එයාලාට එකතුවෙලා සේල් දාලා. හැමදේටම රජයට බනින්න එපා. රටින් බිත්තර ගෙනාවේ නැත්නම් බලන්න තිබ්බා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site