IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු

පාර්ලිමේන්තුවේ පැය එකහමාරක හදිසි රැස්වීමක් පැවැත්වීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වී ඇතැයි පසුගියදා වාර්තා වූයේය. පසුගිය 02 වැනිදා මෙම හදිසි රැස්වීම පවත්වා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා ය. මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව විපක්ෂ නායකවරයාද ප්‍රකාශයක් කළ අතර එයින් පසුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබූ බව වාර්තා විය.

පාර්ලිමේන්තුව පැය එකහමාරක් වැනි සුළු කාලසීමාවකට ක්‍රියාත්මකව පැවතීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වන බව එකවරම කෙනකු විශ්වාස නොකරනු ඇත. එහෙත් පැය එකහමාරක් වැනි කෙටි කාලසීමාවකට වුවද පාර්ලිමේන්තුව විවෘත කර තැබීමේදීත් සම්පූර්ණ දිනයක් සඳහා වැය වන  මුදල හා සමාන මුදලක් වැය කිරීමට සිදුවීම යථාර්ථයයි.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සියලු අවශ්‍යතා සම්පූර්ණ කරදීම කතානායක, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ වගකීමයි. එහෙත් ඒ සමග පාර්ලිමේන්තුව විවෘතව තැබීමේ කාලසීමාවෙන් උපරිමව ප්‍රයෝජන ගැනීමද සිදුවිය යුතුය. හදිසියේ සිදුකරන කතාවක් පමණක් සඳහා පාර්ලිමේන්තුව මෙසේ  විවෘත කිරීමෙන් මහජනතාවට සිදුවන සෙතක් නැත. අඩුම තරමින් එම කතාව සම්බන්ධයෙන් විවාදයක් හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබුණා නම් එම කාලය ඵලදායි ලෙස භාවිත කළ හැකිව තිබිණි. එවැනි විවාදයක් පැවැත්වීමට නියමිත බව මුලදී ප්‍රකාශ වී තිබුණද එය පැවැත්වුණේ නැත. එසේ නම් ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී මේ හදිසි රැස්වීම යොදාගත හැකිව තිබූ බව අපගේ විශ්වාසයයි. එය කාලයද උපරිම ලෙස යොදාගැනීමක් මෙන්ම මහජනතාවගේ බදු මුදල් අපතේ යාම වැළැක්වීමක් වනු ඇත.

පාර්ලිමේන්තුව පැවැත්වීමේදී දිනකට වැය වන මුදල පසුගිය  කාලය තුළදී වරින් වර විවාදසම්පන්න මාතෘකාවක් බවට පත්විය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා විපක්ෂයට එරෙහිව  චෝදනාවක් නගමින් ප්‍රකාශ කර සිටියේ එදින වැට් (සංශෝධිත) පනත පිළිබඳ විවාදය සමගි ජනබලවේගය විසින් කඩාකප්පල් කර දැමීම නිසා රුපියල් කෝටියක මුදලක් අපතේ ගිය බවය. පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප්‍රකාශයක සඳහන්ව තිබුණේ දිනකට පාර්ලිමේන්ව පැවැත්වීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය වන බවකි. එම ප්‍රකාශ තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හෝ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මගින් සිදුනොවූ අතර එසේ දිනක වියදම ගණනය කිරීම අපහසු බව ඔවුන් පෙන්වාදී තිබිණි.

මේ ගණන් හිලව් කෙසේ වෙතත් මහජනයා විසින් මහජනයා වෙනුවෙන්ම පවත්වා ගත යුතු පාර්ලිමේන්තුවේ කාලය සහ ඒ සඳහා වැය වන මුදල අපතේ නොයවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වගකිව යුතු සියලු දෙනාගේම කාර්ය භාරය වෙයි. මේ රටේ ජනතාව සිටින්නේ ‘‘ මල් පිබිදෙන එක් වසන්ත සමයක’’ නොවන බව සියලු බලධාරීන් සිතට ගත යුතුය. දැඩි ලෙස ජීවන බරින් මිරිකී සිටින ජනතාවට පාර්ලිමේන්තුවේ කාලය නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා බව දකින විට සිදුවන්නේ ඔවුන්ගේ කලකිරීම තවදුරටත් උග්‍රවීම පමණි. මේ කලකිරීම දෝරේ ගලා ගොස් අරගලයක ස්වරූපයෙන් පුපුරා ගිය අවස්ථාවේ සියලු දෙනාගේ දැඩි විවේචනයට හසුවූ එක් මර්මස්ථානයක් වූයේ පාර්ලිමේන්තුව බවද මෙහිදී සිහිපත් කළ යුතුය. 225ම තමන්ට එපා වී ඇති බවට  ජනතාව හඬ නැගුවේ එබැවිනි.

ඒ මෑත කාලීන ඉතිහාසය රාව ප්‍රතිරාව දෙනු දැකීමට කිසිවකුත් කැමැති නැත. අමාරුවෙන් හිස ඔසවන මේ කාලයේදී පාර්ලිමේන්තුවේ කටයුතුවලින්ද  රටට ඉහළම ආදර්ශය ලබාදීම අවශ්‍යය. හදිසි රැස්වීමකට පැය එකහමාරක් පාර්ලිමේන්තුව විවෘත කර තැබීම වැනි ක්‍රියා මගින් එයට රුකුලක් ලැබෙන්නේ නැත. 

 

(***)



අදහස් (1)

පාර්ලිමේන්තු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු

chandima Tuesday, 09 July 2024 09:46 PM

ඒක නේන්නම්... කාලයෙන් ප්‍රෙයා්ජන අරන් පුටු කඩලා මයික්‍රෆෝනය කඩලා සෙංකෝලය පොළවේ ගහලා එහෙම ඉන්න ඕනෑනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site