IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජීවන බර අඩු කිරීමට ජනතාවට සහන සලසනු

මෙරට පොදු ජනතාව මුහුණදෙන ආර්ථික ප්‍රශ්න දිනෙන් දින තියුණු සහ සංකීර්ණ බවට පත්වෙමින් තිබේ. හටගෙන ඇති ආර්ථික අර්බුදය විසින් වඩාත්ම හෙම්බත් කර ඇත්තේ මධ්‍යම පාන්තිකයා සහ දුප්පතාය. තමන්ගේ පෞද්ගලික ආර්ථිකය එක තැනම පල්වෙමින් තිබියදී රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ ගොසිනි. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට සාපේක්ෂව උද්ධමනය ද වේගයෙන් ඉහළ නැග ඇත.

මේ සතියේ වාර්තා වූ නවතම සංඛ්‍යා දත්ත අනුව අපේ රටේ සාමාන්‍ය උද්ධමනය (භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය) සියයට 66.7කි. පෙර මාසයට සාපේක්ෂව එය සියයට 8ක පමණ වර්ධනයකි. මෙහිදී වඩාත් අවධානයට ලක්වන්නේ ආහාර අංශයේ උද්ධමනය සියයට  82.5 ක් දක්වා ඉහළ නැගීමයි. ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ ලොව බරපතළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 5 වැනි ස්ථානයේ බවය. උද්ධමනය අතින් ශ්‍රී ලංකාව පසුපසින් සිටින්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය යන රටවල් හතර පමණි. මෙයට පෙර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙරට උද්ධමනය ළඟදීම සියයට70 ඉක්මවනු ඇති බවය. ඉදිරි කාලයේදී වැඩි වන විදුලිය බිල්පත, ජල බිල්පත ආදියේ ගණන් මිනුම් එකතු වූ විට ජනතාව කබලෙන් ළිපටම වැටීම සක්සුදක් සේ පැහැදිලි කරුණකි. බිල්පත් හා බදු ආදිය ඉහළ නගිද්දී ජනතාවට ඉතාම ලාභයට ලබාගත හැකි වූ ප්‍රෝටීන් බහුල ආහාරය වූ බිත්තරය සහ කුකුළු මස් ආදියේ මිල දිනපතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්වයි. භූමිතෙල් ලීටරයක මිල එකවර රු. 253කින් ඉහළ යාම හේතුවෙන් ධීවර බෝට්ටුකරුවන් මාළු මිල ගණන් ද ඊට සාපේක්ෂව ඉහළ නංවනු ඇත.

පවත්නා අර්බුදය ඉදිරියේදී තව තවත් බැරෑරුම් වනු මිස සහනදායී තත්ත්වයට පත්වෙතැයි සිතීමට හේතු සාධක නැත. ආහාරපාන මිල ඉහළ යාම නිසා බොහෝ ප්‍රදේශවල තිබූ හෝටල් සහ කුඩා ආපනශාලා ආදී සුළු ව්‍යාපාර වැසී යමින් තිබේ. ත්‍රිරෝද රථ කර්මාන්තය පවා දැන් බෙහෙවින් දුෂ්කර අවධියක් පසු කරයි. ඊට හේතුව අධික ත්‍රිරෝද රථ ගාස්තු ජනතාවට දරාගැනීමට අසීරු බැවින් ජනතාව විකල්ප කරා යොමුවීමයි.

රටේ සමස්ත මිල මට්ටම ඉහළ යාමත් සමඟ අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවල ගාස්තුද ජනතාවට දරාගැනීමට අසීරු බවට දසතින් වාර්තා ලැබේ. එහෙත් රටේ පාලන තන්ත්‍රයේ සුක්කානම මෙහෙයවන මැති ඇමැති භවතුන්ට නම් මේ බරපතළ තත්ත්වය ගැන දයාබර හැඟීමක් නැති බවට සාක්ෂි අපමණය. ඔවුන් මේ දුර්භාග්‍ය සම්පන්න අල්ලපනල්ලේ පවා බලන්නේ තව තවත් මැති ඇමැතිකම් ලබාගන්නටය. මැති ඇමැතින්ගේ ඉන්ධන හා සෙසු දීමනා වැඩි කර ගන්නටය.

ජනතාව වෙනුවෙන් කැපවෙන බවට ඡන්ද කාලයේ දස අතේ පොරොන්දු වන දේශපාලනඥයන් බලය ලැබුණු පසු මුලින්ම අමතක කරන්නේ ඡන්දදායක හාම්පුතුන්ය. එහෙත් සෑම දේශපාලනඥයාටම මෙය අදාළ නොවේ. දේශපාලනඥයන් ජනතා ප්‍රශ්න ගැන සංවේදී වීම පිළිබඳව ඉතා කදිම අතීත සිදුවීමක් දේශපාලන වාර්තා පොත්වල සඳහන්ය. එය මෙසේය.

1970 - 77 ආණ්ඩු සමයේ මුල්භාගයේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය නිල කටයුත්තකට ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය මෙරටට පැමිණෙන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක් දැඩි නියඟයකට මුහුණ දී ජනතාව බරපතළ ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටියහ. කොළඹට පැමිණි ඉන්දිරා වෙනුවෙන් එවකට අගමැති ධුරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඉතා අනර්ඝ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කළේ ඉන්දීය නායිකාවට හරසර පිණිසය. ඒ සඳහා සහභාගි වූ ඉන්දීය නායිකාව රස මසවුලින් පිරි රාත්‍රි භෝජන සංග්‍රහය පිළිගත්තේ ස්තූති පූර්වකවය. එහෙත් එදින භෝජන සංග්‍රහය සඳහා සූදානම් කර තිබූ කිසිදු ආහාරයක් ඇය අනුභව නොකොට පිරිසුදු වතුර වීදුරුවක් පමණක් පානය කළාය. අනතුරුව එහි රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් ඇමතූ ඉන්දිරා ගාන්ධි ප්‍රකාශ කළේ සිය රටේ දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් නියඟය නිසා ආහාරපාන නොමැතිව හාමතේ සිටියදී මෙම රාජකීය භෝජන අනුභව කිරීමට සිය හෘදසාක්ෂිය තමන්ට ඉඩ නොදෙන බවය. ඒ නිසා දුක් විඳින තම ජනතාව මෙන් තමන්ද ජල බිඳකින් කුසගිනි නිවාගන්නා බව ඇය ප්‍රකාශ කළාය.

මෙය ඉතා සරල සිදුවීමක් වුවද දේශපාලන නායකයන් රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව සංවේදී විය යුතු ආකාරය ගැන කදිම පාඩමක් අපට කියා දෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ ගරාවැටෙන දේශපාලන ව්‍යාපාරයට අරක්ගෙන සිටින මෙරට දේශපාලනඥයන්ගෙන් කිසිවකු සැබෑ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් එලෙස සංවේදී වන බවක් නොපෙනේ.

අද ශ්‍රී ලාංකික ජනතාව දැඩි ආර්ථික පීඩාවකට පත්ව සිටින්නේ පසුගිය දශක කිහිපය තුළ පැවති ආණ්ඩු විසින් ගන්නා ලද වැරදි තීන්දුවල පව් ගෙවමිනි. එහෙත් දේශපාලනඥයන් විදුලිය බිල, ජල බිල්පත, ඉන්ධන මිල, ආහාරපාන ආදියේ මිල ගණන් ඉහළ දමන විට ප්‍රකාශ කරන්නේ එළඹ තිබෙන කාලය දුෂ්කර බැවින් ජනතාව මේවායේ බර දරාගත යුතු බවය. මෙරට සමස්ත ජනතාවගෙන් ලක්ෂ 90කට වැඩි පිරිසක් දුප්පත්කමේ රේඛාවෙන් පහළ ස්ථරය නියෝජනය කරති. තවත් ලක්ෂ 80ක් පමණ පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරති. සෙසු පිරිස මධ්‍යම පන්තිය හා ඉහළ පැළැන්තිය නියෝජනය කරති. මෙයින් දුප්පත්ම ජනකොටසත් පහළ මධ්‍යම පන්තියත් පවත්නා ආර්ථික අර්බුදයේ සාහසික ගොදුරු බවට පත්ව සිටිති. එබැවින් ඒ අයට හව්හරණක් සැපයෙන ආර්ථිකමය වැඩපිළිවෙළකට රජය කඩිනමින් අවතීර්ණ විය යුතුය.

(***)



අදහස් (2)

ජීවන බර අඩු කිරීමට ජනතාවට සහන සලසනු

menuka Friday, 23 September 2022 10:51 AM

හොඳ තීරණයක් නේද?

:       0       0

menuka Friday, 23 September 2022 10:55 AM

හොඳ තීරණයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site