IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ගාලු මුවදොර සිද්ධිය හෙළා දකිමු

අරලියගහමන්දිරය අසළ විරෝධතා පවත්වමින් සිටි පිරිස අතරට ඊයේ කඩා වැදී ඔවුන්ට පහර දී අට්ටාල කඩා බිඳ දැමූ කලහකාරී පිරිසක් එතැනින් නොනැවතී ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධතා අරගල භූමියට ද ගොස් එම විරෝධතාකරුවන්ට ද පහරදී ඔවුන්ගේ අට්ටාල ද ගිනි තබා එම ප්‍රදේශයම යුදපිටියක් බවට පත් කළහ. මේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කිරීමට ද සිදු වූ අතර නැවත දැනුම් දෙනතුරු රටටම ඇඳිරි නීතිය පැනවීමට ද ආරක්ෂක අංශවලට සිදුවිය.

සාමකාමීව පැවැත්වුණු උද්ඝෝෂණ අතරට පොලු මුගුරු රැගෙන කඩා වැදී ප්‍රහාර එල්ල කිරීම නිර්ලජ්ජිත බියගුළු අමානුෂික ක්‍රියාවකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමකාමීව විරෝධතා පැවැත්වීමට තිබෙන අයිතිය කිසිවකුට හෝ බලහත්කාරයෙන් පැහැරගත නොහැක. සාමකාමී විරෝධතාවලට අවශ්‍ය විසඳුම් ලබාදිය යුත්තේ ද සාමකාමී අයුරිනි, සාකච්ඡාවෙනි. එසේ නොවී අතේ පයේ හයියෙන් පොලු මුගුරු යොදාගෙන විරෝධතාකරුවන්ට පහරදී ප්‍රශ්නය විසඳා ගැනීමට කවුරුන් උත්සාහ දැරුවත් එය තිරිසන් ක්‍රියාවක් බව කිව යුතුය. එවැනි තැනකට තම හිතවත් පාක්ෂිකයන් තල්ලුකළ දේශපාලනඥයන් සිටිනවා නම් ඔවුන් ද මේ තිරිසන් ක්‍රියාවට වගකිව යුතුය. මේ ක්‍රියාව කොන්දේසි විරහිතව දැඩිව හෙළා දැකීමට අපි පසුබට නොවෙමු.

පසුගිය මාසයක් මුළුල්ලේම ගාලු මුවදොර පිටිය ලෝක ප්‍රසිද්ධ වූයේ එහි තිබෙන ඓතිහාසික වැදගත්කම සහ ස්වභාව සෞන්දර්යය හේතුවෙන් නොව එහි පවත්වාගෙන ගිය විරෝධතා අරගලය හේතුවෙනි. එම අරගලයට මූලික වූ හේතුවක් තිබිණි. එය දේශපාලනිකය. මේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව මුළු රටම පෙළන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමක් නැත. ගාලුමුවදොර පිටියේ විරෝධතා අරගල භූමියට ලේ සෙල වූ ප්‍රචණ්ඩත්වයක් ආරෝපණය කළ කිසිවකුත් නීතියෙන් සමාවක් නොලැබිය යුතුය. ඔවුන් සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවා හැකි ඉහළම දඬුවම් ලබා දිය යුතුය. එක් සිවිල් යුද්ධයක් අවසන් කළ රටකට තවත් සිවිල් යුද්ධයකට යාමට කිසිදු ඉඩක් තැබිය යුතු නැත.

මේ රටේ දේශපාලන භූමිය සති කිහිපයක් තිස්සේ ඉතා උණුසුම්ව පවතින බව රහසක් නොවේ. එය මුළු ලොවම දැන සිටියි. මේ දේශපාලන උණුසුම නිවා දැමීම සඳහා සියලු පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට මේ වගකීමෙන් මිදිය නොහැක. එහෙත් ඒ සියලු පාර්ශ්ව පසු ගිය සති කිහිපය තිස්සේම එම වගකීමෙන් කර අරින බවක් පෙනී ගියේය. ගාලුමුවදොර සාමකාමී අරගලයේ ලේ සෙලවුණේ එම දේශපාලන පක්ෂ ද තම වගකීම් ඉටු කිරීමට පමා වූ බැවිනි. අඩුම තරමින් දැන්වත් එළඹගත් සිහියෙන් යුතුව පියවර ගනිමින් මේ රටට දේශපාලනික සංහිඳියාවක් ගෙන ඒමට ඔවුන් අප්‍රමාදව කටයුතු කළ යුතුය. ඒ සඳහා දැනටමත් ප්‍රමාද වූවා වැඩි බව නීතිය අතට ගන්නා කලහකරුවන්ගෙන් පෙනී යයි. ගතවන හැම තත්ත්පරයම රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මකය.

මේ රටේ කිසියම් හෝ දේශපාලනඥයකු කොළඹට පොලු, මුගුරු අතට දී පිරිසක් එවා ලේ සොලවා ආණ්ඩුව ශක්තිමත් කළ හැකි යැයි සිතන්නේ නම් එය පවතින තත්ත්වය මුළුමනින්ම කණපිට පෙරළා ගැනීමකි. වරදවා වටහා ගැනීමකි. ගාලු මුවදොර සති ගාණක් තිස්සේ දිවා රාත්‍රි වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් අරගලයක නිරතව සිටින්නේත් ඔවුන්ගේ සහායට වැඩිහිටි පිරිස් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන උගත් බුද්ධිමත් පිරිස් ද දිනෙන් දින රොද බඳින්නේ මේ අරගලයට නිශ්චිත අරමුණක් තිබීම හේතුවෙනි. මේ අරමුණු තේරුම් නොගෙන මැතිවරණ කාලවල දී කරනවාක් මෙන් ගැටුම් ඇති කරගෙන බොරු පොරොන්දු දී අතේ පයේ හයිය පෙන්වා අරගලය බිඳ දැමීමට හැකිවනු ඇතැයි සිතන දේශපාලනඥයන් කරන්නේ මේ රට තව තවත් වළ පල්ලට තල්ලු කිරීමකි. එවැනි නොහික්මුණු කලහකාරීන් උපරිමව හෙළා දැකිය යුතුය.

ඒ අතරම ජනාධිපති මන්දිරය අභියස අරගල කරුවන්ට සහ අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවනට මැර ප්‍රහාරයෙන් ඇති වූ සිද්ධින් සහ විපක්ෂ නායකවරයාට පහරදීමේ සිද්ධිය පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතුය. විශේෂයෙන්ම බස්වලට පහරදීම සහ ඒ බස්වල ගමන්ගත් පිරිස්වලට කායික වශයෙන් හිංසා කිරීම් ද සාමකාමී සමාජයක් පතන කිසිවකුට අනුමත කළ නොහැක. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පෙළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මරුමුවට පත්වී ඇත.

රටේ වටින් ගොඩින් ලැබෙන ආරංචිවලින් පැවසෙන්නේ ගාලු මුවදොර පහර දීමේ සිද්ධිය දෙබරයට ගල් ගැසීමක් බවට පත්වෙමින් තිබෙන බවය. මේ තත්ත්වය පාලනය කර ගැනීම රජයේත් විපක්ෂයේත් මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය විය යුතුය. ගෑස් නැතිව, තෙල් නැතිව ආදායම් මාර්ග ද අහිමිවී ඇති ජනතාවට සහනයක් ලැබෙන ආකාරයට සියලු පියවර ගත යුතුය. පවතින තත්ත්වය පාලනය කර ගැනීමෙන් පසුව අර්බුදය විසඳා ගැනීම ද අප්‍රමාදව සිදුවිය යුතුය. නැතහෙත් රට අරාජික තත්ත්වයට පත්වී සියලු රටවැසින් අමාරුවේ වැටෙනු ඇත.

(***)



අදහස් (0)

ගාලු මුවදොර සිද්ධිය හෙළා දකිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site