IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෙවල් ගිනි තියන්නන් නොදකින ජාතියේ කරුමය

නවසීලන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධ තම සංචාරක උපදෙස් යාවත්කාලීන කරමින් අත්‍යවශ්‍ය කාරණයකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි තම රටවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර පොදු ස්ථානවලට සහ විදේශිකයන් සිටින ස්ථානවලට ද ප්‍රහාර එල්ල විය හැකි බව නවසීලන්ත රජය ප්‍රකාශ කර ඇත. ඕස්ට්‍රේලියානු රජයේ උපදෙස්වල සඳහන් වන්නේ ශ්‍රී ලංකාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීමත් දැඩි අර්ථික අර්බුදයකට මුහුණ දී සිටීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවය. මහා බ්‍රිතාන්‍යය ද මේ ආකාරයටම අවවාදාත්මක සංචාරක මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

දෙවරක් නොසිතා සංචාරක ගමනාන්තයක් වශයෙන් තෝරාගැනීමට ලොව සුදුසුම රටක් වශයෙන් ශ්‍රී ලංකාව නම් කෙරැණේ දැනට වසර කිහිපයකට පෙර සිටමය. කොවිඩ් වසංගතයේ පළමු වසර ලොවේ සෑම රටකටම සංචාරක ව්‍යාපාරය බියකරු සිහිනයක් බවට පත්කළ ද එම වසංගතයේ ව්‍යාප්තිය තුනී වීමත් සමඟ සංචාරක ව්‍යාපාරය යළි පණ ලැබුවේය. එසේ අළු ගසා නැගී සිටි ගෝලීය සංචාරක ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වීම අරඹන විටද ශ්‍රී ලංකාවට ලැබී තිබුණු ලොව සුදුසුම සංචාරක ගමනාන්තය පිළිබඳ මුද්‍රාව නොවෙනස්ව පැවතිණ. එහෙත් පසුගියදා රටපුරා හටගත් කලහකාරී සිදුවීම් සහ ගිනිතැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ එම කීර්තිමත් සංචාරක ප්‍රතිරූපය බිඳී ගියේය. එයින් සිදු වූ හානියේ තරම ඉහත සඳහන් නවසීලන්ත - ඕස්ට්‍රේලියා දෙරට සහ මහා බ්‍රිතාන්‍යය මගින් නිකුත් කර ඇති සංචාරක මාර්ගෝපදේශවලින් මැනගත හැකිය.

ශ්‍රී ලංකාවට වඩාත්ම ආදායම් ලබාදෙන සංචාරකයන් පැමිණෙන ධනවත් රටවල් තම පුරවැසියන් මේ ආකාරයට අධෛර්යවත් කරන විට එයින් රටට ඇතිවන බලපෑම ඉතා විශාලය. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තම තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට පළවෙන මේ නිවේදන සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා පැතිර යාමට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණි. එයින් පාඩුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටය.

කොවිඩ් වසංගතයෙන් පසුව යාන්තමින් හිස ඔසොවමින් සිටි මෙරට සංචාරක ව්‍යාපාරයට 09 වැනිදා රාත්‍රියේ සිදුකෙරුණු ගිනි තැබීම් ඇතුළු ආවේගකාරී ම්ලේච්ඡ ප්‍රහාර මගින් එල්ල කර ඇත්තේ කුළු ගෙඩි පහරකි. මේ පහරේ කම්පනය දැනෙන්නේ අතට අසුවූ පෙට්‍රල් කෑන් රැගෙන තමන්ගේ වෛරයට කෝපයට පාත්‍ර වූ දේශපාලනඥයන්ගේ නිවාස සහ දේපළ සොයා ගොස් එළිවන විට ඒ සියල්ල ගිනිබත් කොට විනාශ කර දැමූ කලහකාරීන්ට නොවේ. සංචාරක ව්‍යාපාරය තම බඩවියත කරගත් මෙරට දහස් සංඛ්‍යාත පිරිසකටය. සංචාරක ව්‍යාපාරයෙන් රටට ඩොලර් උපයා දුන් හෝටල් කර්මාන්තයටය. මේ ගෙවල් ගිනි තබා විනාශ කරන විට ඒවායෙන් ජීවිතය රැකගන්නා පිරිසක් සිටින බව මේ කලහකාරීන්ට නොවැටහීම මහා ඛේදවාචකයකි. සංචාරක හෝටල් ගිනිගන්නා දසුන් ලොව පුරා ප්‍රචාරය වනවිට සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන භීතිය ප්‍රචණ්ඩකාරීන්ට දැනෙන්නේ නැත. එවැනි විනාශයක් ආපසු හැරවීම පහසු නැත.

රටම මහත් විනාශයකට යොමුකළ එම කලහකාරී සිදුවීම් රජයේ දේශපාලනඥයන් පිරිසක් විසින් ගාලු මුවදොර නිර්පාක්ෂික සාමකාමී අරගලයට සැලසුම් කර එල්ල කරන ලද ලැජ්ජා සහගත ප්‍රහාරයට එරෙහිව දැක්වුණු ආවේගශීලී ප්‍රතිචාරයක් බවද සඳහන් කළ යුතුය. එසේ වුවද එවැනි ප්‍රතිචාර දැක්වීමක් රාත්‍රී කාලය දක්වා ඇදී ගොස් පිට පළාත්වලදී ප්‍රචණ්ඩකාරී මෙහෙයුම් දක්වා වර්ධනය වීම යටින්ද සැලසුම් සහගත ක්‍රියාවලියක් තිබූ බවද වටහා ගැනීම අසීරු නැත.

ගාලු මුවදොර ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ බැවින් ඊට සම්බන්ධ වූ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් කවුදැයි රටම හඳුනාගෙන සිටියේය. එහෙත් රාත්‍රී කාලයේ ගිනි තබා විනාශ කෙරැණේ ඔවුන්ගේ නිවාස සහ දේපළ පමණක් නොවන බව දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යයි. යහපත් මෙන්ම දූෂිතයකු නොවන බවට රටේම පිළිගැනීමක් තිබූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවෙස පවා ගිනිතැබීම එයට එක් උදාහරණයකි. එසේම රාජපක්ෂවරුන්ට එරෙහිව ආණ්ඩුව තුළ සිටිමින් මුල සිටම විරෝධය පෑ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අතරමගදී ප්‍රහාරයකට ලක්වීම ද එවැනිම සිදුවීමකි. ඔහු වත්මන් රජයේ මන්ත්‍රීවරයෙක් ද නොවීය. ආවේගශීලී ප්‍රතිචාර ඉක්මවා යන ම්ලේච්ඡත්වයක් මේ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස තිබූ බව මෙයින් පෙනී යයි.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහමුලින්ම හෙළා දැකීමට කිසිවකුත් පසුබට විය යුතු නැත. ගාලු මුවදොර ගෝඨාගෝගමට නින්දිත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සහගත නායකත්වයක් දුන් සියලු දේශපාලනඥයන් සහ එම ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූ සියලු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවිය යුතුය. එම සිද්ධිය දඩමීමා කර ගනිමින් එදින දවස පුරා රටපුරා ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ගිනි තැබීම්, කොල්ලකෑම් සහ පහරදීම් සිදුකළ සියලු දෙනාද වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණ විය යුතුය. රට යළිත් සංචාරකයන් කැඳවාගත හැකි කීර්තිමත් දේශයක් බවට පෙරළාගත හැක්කේ යුක්තිය සහ සාධාරණය ඉටුවුවොත් පමණි.

(***)



අදහස් (0)

ගෙවල් ගිනි තියන්නන් නොදකින ජාතියේ කරුමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site