ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලය, එහි සේවය ලබා ගැනීමට පැමිණ සිටි පිරිසක් විසින් පසුගිය දා ආක්‍රමණය කරනු ලැබීමේ සිද්ධියක් මාධ්‍ය මගින් හෙළි කර තිබිණි. මෙතෙක් කාලයක් දිනකට නිකුත් කරමින් තිබූ විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) 1,200ක සංඛ්‍යාව 400ක් දක්වා අඩු කිරීම මේ ආකාරයේ අර්බුදයක් නිර්මාණය වීමට හේතුව වශයෙන් සඳහන් වෙයි.
දිනකට නිකුත් කරන පාස්පෝට් සංඛ්‍යාව මෙසේ තුනෙන් එකක් දක්වා අඩු කිරීමත් සමග මෙවැනි තත්වයක් උද්ගත විය හැකි බව බලධාරීන් නොදැන සිටියේ ද? එසේ නොදැන සිටියේ නම්, ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතුය.
මහජනතාවට ඍජුවම බලපාන මෙවැනි තීන්දුවක් ගැනීමේදී නිලධාරීන් වඩාත් විමසිලිමත් වීම අවශ්‍යය. පාස්පෝට් එක හැකි ඉක්මනින් ලබා ගැනීම අවශ්‍ය වී තිබියදී එය පහසුවෙන් ලබාගත නොහැකි නම් හෝ තමන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබේ නම් හෝ ඒවායේ ඉල්ලුම්කරුවන් නොසන්සුන් වීම පිළිබඳ විශ්මයට පත්විය යුතු නැත. එවිට ඔවුන් හැරෙන්නේ තමන්ට ඒ අවස්ථාව ලබා නොදෙන නිලධාරීන් දෙසටය. එහිදී ද ඔවුන්ට පිළිගත හැකි පිළිතුරක් නොමැති නම් ඇති වන්නේ අර්බුදකාරී තත්වයකි. පසුගිය දා හටගත් සිද්ධිය පාලක ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට කඩාවැදීම එම අර්බුදයේ එක් ප්‍රතිඵලයකි.
පාස්පෝට් එකක් ලබා ගැනීමේ අරමුණෙන් බොහෝ දුරබැහැර සිට අදාළ සියලු ලියැකියවිලි කර පින්නාගෙන කොළඹට පැමිණ දින ගණනාවක් තිස්සේ පෝලිම්වලම කට්ට කෑ පිරිසක් හමුවට නිලධාරීන් පැමිණ, දිනකට නිකුත් කරන්නේ පාස්පෝට් 400ක් පමණක් බව ප්‍රකාශ කරන විට එය අසා සිටින අයැදුම්කරුවන්ට ‘මල පැනීම’ විස්මයට කරුණක් නොවේ. හැකි ඉක්මනින් පාස්පෝට් එක ලබා ගැනීම අරමුණු කරගනිමින් පැමිණි පසු එම අවස්ථාව ගිලිහී යද්දී, ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වීම සුළු කොට නොතැකිය යුතු තත්වයකි. එය ඔවුන්ගේ සියලු ඉදිරි සැලසුම් අවුල් කර දැමීමක් ද විය හැකිය. මේ නිසා ආගමන විගමන බලධාරීන් මේ කාරණය සම්බන්ධයෙන් සංවේදීව බැලිය යුතු යැයි අපි සිතමු.
පොලිසිය කැඳවා උද්ගත වූ නොසන්සුන් තත්වය පාලනය කරගැනීම, මේ ගැටලුවට විසඳුමක් නොවේ. එය තාවකාලිකව අර්බුදය යට ගැසීමක් පමණි. ගැටලුව සඳහා ජනතාව තෘප්තිමත් විය හැකි විසඳුමක් ලබා දීම බලධාරීන්ගේ වගකීමකි. එදා උද්ගත වූ සිද්ධිය පිළිබඳව තොරතුරු විමසීමට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාත්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතාත් දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට ‘ලංකාදීප’ය දැරූ උත්සාහයද සාර්ථක නොවූ බවත් සඳහන්ය. දුරකතනවලට පිළිතුරු දීමෙන් වැළකී සිටීම ද මේ අර්බුදයට විසඳුමක් නොවන බවත් බලධාරීන්ට පෙන්වා දිය යුතුය.
පාස්පෝට් ලබා දීම නවීන තාක්‍ෂණයට අනුව යාවත්කාලීන කිරීමට බලධාරීන් විසින් ටික කලකට ඉහතදී පියවර ගෙන තිබිණි. ඔන්ලයින් ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමට එයින් අවකාශ සැලසිණි. එහෙත්, බොහොමයක් අවස්ථාවල ප්‍රායෝගික දුර්වලතා මතු වීමෙන් බොහෝ දෙනකුට එම අවස්ථා ද අහිමි විය. දිනයක් වෙන් කරගැනීම සඳහා ඡායාරූපයක් යැවිය යුතු වූ අතර, බොහෝ දෙනකුට ලැබුණේ එම ඡායාරූපයේ කාලය ඉකුත් වීමට එහාට යන දිනයකි. එහිදී සිදු වූයේ දිනය වෙන් කරවාගැනීම අහෝසි වීමත්, ඡායාරූප ලබා ගැනීම සඳහා වියදම් කළ මුදලත් යන දෙකම අහිමි වීමය. එම තත්වය වෙනස් කරමින්, පසුව දිනකට පාස්පෝට් 1,200ක් නිකුත් කිරීම දක්වා සේවා කටයුතු වර්ධනය වුවත්, මේ වන විට ඒ තත්වය යළිත් වෙනස් කිරීම අර්බුදයක් ඇති කර තිබෙන බව පැහැදිලිය. දැන් ජනතාව බලාපොරොත්තු වන්නේ ගැටලු ඇති වීමට හේතු පහදා දීම නොව විසඳුමකි.
කෘත්‍රිම බුද්ධියෙන් වැඩ ගැනීම ගැන විශාල අවධානයක් යොමු කරන අපේ රටේ, කලට වේලාවට පාස්පෝට් එකක් නිකුත් කරගැනීමට නොහැකි වීම ගැන අපට නම් ඇති වන්නේ කනගාටුවකි.
(***)

COMMENTS
වසර 20 ක පමණ සිට ලෝකයේ රටවල් චිප් එකක් සහිත පාස්පෝර්ට් භාවිතා කිරීම අරඹා තිබිණි. මෙමගින් වියාජ ගමන් බලපත්‍ර හැදීම, වැනි විවිධාකාර වංචා බොහෝ දුරට පාලනයවේ , ලංකාවේ සාදන ව්‍යාජ ගමන්බලපත්‍ර වලින් 90% හදනු ලබන්නේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුදැනුම මතය එමනිසා ඔවුන් අලුත් ක්‍රමයේ e පාස්පෝර්ට් හැදීම දිගින් දිගටම පැහැර හරින ලදී , දැන් ලෝකයේ සමහර රටවල් පරණ ක්‍රමයේ පාස්පෝර්ට් වලට වීසා දීම ප්‍රතික්ෂේප කිරීම සිදු කරන නිසා මෙගොල්ලත් අලුත් ක්‍රමයේ පාස්පෝර්ට් ඇනවුම් කර ඇත. ඒවා ලංකාවට පැමිණෙන්නේ ඔක්තෝබර් මාසේ එම නිසා දැනට තිබෙන තොගය පාලනය කරගෙන පගාව දෙන පුද්ගලයන්ට ඉන් කොටසකුත් අත්‍යවශ්‍යම පුද්ගලයන්ට ඉතුරු කොටසත් නිකුත් කිරීම අරම්බහ කර ඇත .
මෙහෙමත් කාලකන්නි රජයක්.. ප්‍රමාණවත් තරම් පාස්පෝට් පොත් නැතිනම් පාස්පෝට් නිකුත් කරන්නේ කෙසේද? අසරණ අයවලුන්ගේ කී දෙනෙක්ගේ බලාපොරොත්තු මේ නිසා සුන් වෙනවාද?
වසර 20 ක පමණ සිට ලෝකයේ රටවල් චිප් එකක් සහිත පාස්පෝර්ට් භාවිතා කිරීම අරඹා තිබිණි. මෙමගින් ව්‍යාජ ගමන් බලපත්‍ර හැදීම, වැනි විවිධාකාර වංචා බොහෝ දුරට පාලනය වේ , ලංකාවේ සාදන ව්‍යාජ ගමන්බලපත්‍ර වලින් 90% හදනු ලබන්නේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුදැනුම මතය එමනිසා ඔවුන් අලුත් ක්‍රමයේ ඊ පාස්පෝර්ට් හැදීම දිගින් දිගටම පැහැර හරින ලදී , දැන් ලෝකයේ සමහර රටවල් පරණ ක්‍රමයේ පාස්පෝර්ට් වලට වීසා දීම ප්‍රතික්ෂේප කිරීම සිදු කරන නිසා මෙගොල්ලත් අලුත් ක්‍රමයේ පාස්පෝර්ට් ඇනවුම් කර ඇත , ඒවා ලංකාවට පැමිණෙන්නේ ඔක්තෝබර් මාසේ එමනිසා දැනට තිබෙන තොගය පාලනය කරගෙන පගාව දෙන පුද්ගලයන්ට ඉන් කොටසකුත් අත්‍යවශ්‍යම පුද්ගලයන්ට ඉතුරු කොටසත් නිකුත් කිරීම ආරම්භ කර ඇත . සමහරවිට පරණ ක්‍රමයේ පාස්පෝර්ට් හදාගත් පුද්ගලයන්ට වීසා බලපත්‍ර නිකුත් ප්‍රතික්ෂේප කිරීම ලෝකයේ බොහෝවිට රටවල් විසින් ලබන වසර අවසානය වන විට සිදු කරන නිසා නැවත පාස්පෝර්ට් හදන්න ඔවුන්ට සිදුවිය හැක. එහෙම වුනොත් පාස්පෝර්ට් ප්‍රශ්නේ තව වසර 2-3 දක්වා ඉදිරියට යනු ඇත
මුන් සේරම මිනිස්සු රස්තියාදු කරනවා... කාලකන්නි .... ඔක්කෝම එකයි මුන් කියන්නේ රට හදන්න එනවා කියලා ඇවිල්ලා කරන්නේ මිනිස්සුන්ට කෙලින එකයි
චිප් එක සහිත ඉලෙක්ට්‍රොනික් පාස්පෝර්ට් මුලින්ම හඳුන්වා දී ඇත්තේ 1998 මැලේසියාව විසිනි. ලෝකයේ රටවල් බහුතරයක් දැනට වසර 15-20 කට පමණ පෙර සිට මේ ක්‍රමය භාවිතා කිරීම අරඹා ඇත. නමුත් අපි මෙම ඉලෙක්ට්‍රොනික් පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹන්නට යන්නේ ලබන ඔක්තෝබර් මාසේ සිටයි. ලෝකේ සමහර රටවල් විසින් ඉලෙක්ට්‍රොනික් නොවන පාස්පෝර්ට් වලට 2025.01.01 සිට විසා නිකුත් නොකරන බව දැනුම් දී ඇත... මම අනුමාන කරන ආකාරයට 2026 සිට ලෝකයේ රටවල් වලින් 90% පමණ අපේ දැනට පවතින පාස්පෝර්ට් වලට වීසා නීකුත් නොකරන නිසා පාස්පෝර්ට් හිමිකරුවන්ට නැවතත් පාස්පෝර්ට් අලුත් කිරීම හැර වෙන විකල්පයක් නොමැත.. මෙම තත්වය උද්ගත වී ඇත්තේ පසුගිය වසර 20 තුල සිටි ආගමන විගමන පාලක වරුන්ගේ වරදින් මිස ජනතාවගේ වරදකින් නොවන බව සිහියට ගන්න ඕනේ... එවැනි තත්වයක් යටතේ පසුගිය වසර 9 තුළ පාස්පෝර්ට් ලබාගත් පුද්ගලයින් නැවත පාස්පෝර්ට් අලුත් කරනකොට ඔවුන්ට යම්කිසි මුල්‍යමය සහනයක් ලබාදීම රජයේ වගකීමක් බව සඳහන් කළයුතුයි.
ගුවන් ගමන් බලපත්‍රයක් නිසි වෙලාවට නිකුත් කර ගන්න බැරි පාලකයෝ සිටින ලෝකයේ වෙනත් රටක් ගැන මම නම් අහලා නැහැ.... ඇත්තටම මෙවුන්ට කියන්නේ අසමජ්ජාති පාලකයෝ කියලයි....මෙවුන් පාලකයෝ නෙවේ, තනිකරම හොරු කල්ලියක්...එක අතකට,මේ වගේ කම්බා හොරුන්ට ආවඩන මෝඩ උඹලට ඔහොම වෙලා මදි...? .....
පාස්පෝර්ට් ඔෆිස් එක ගැන අවංක අදහස් ලියන්න බෑ... ලියැවෙන්නේ කුණුහරුප. ඔන්ලයින් දවසක් ගන්න බෑ. සති ගානක් නිදිමරාගෙන ට්‍රයි කළත්. මේ හදන්නේ අකාර්යක්ෂමයි කියලා සීල් එක ගහගෙන මේකත් විකුණන්න. ෂුවර් ලොක්කන්ට කොටසක් ඇතී...!