IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ආපනශාලාවල හොර මගඩි වැළැක්වීමට අවදියෙන් සිටිමු

ආහාර නිෂ්පාදනයේදී එකම පොල්තෙල් කිහිප වරක් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපන ශාලා වැටලීමේ මෙහෙයුමක් දියත් කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු රටේම දියත් කළ යුතු මෙහෙයුමකි. ‘ආරෝග්‍යා පරමා ලාභා’ හෙවත් නිරෝගි බව උතුම්ම ලාභය යැයි අදහන සංස්කෘතියක් ඇති රටක් වුවද අපගේ ආහාර සංස්කෘතිය මිනිසුන් රෝගීන් කරන තත්ත්වයට පත් කර ඇති බව සත්‍යයකි. හෝටල්වල ඉතිරි වන මස්, මාළු හා එළවළු, මාළු පාන්, එළවළු රොටි බවට පත්ව යළිත් හෝටලයේ ෂෝකේස් එකට එන බව නොරහසකි. කන බොන කෑමෙන් පවා ගසා වඩා ගැනීමක් නොකරනු ඇතැයි මෙරට අහිංසක ජනතාව විශ්වාස කරති. එහෙයින් සැකයකින් බියකින් තොරව එම ආහාර අනුභව කරති. වැළඳුණ රෝගය කුමක් දැයි නොදැනම මිය යාමේ ඉරණම රටේ පුරවැසියාට බාර ගැනීමට සිදු වී තිබේ.

ආහාර නිෂ්පාදනයේදී එකම පොල් තෙල් කිහිප වරක් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපන ශාලා වැටලීමේ මෙහෙයුම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් ලෙස අර්ථ දැක්විය යුත්තේ ඉහත පරිසරය තුළය. ආහාර නිෂ්පාදනයේදී එකම පොල් තෙල් කිහිප වතාවක් භාවිත කිරීමෙන් එහි දිගු මේද ද්‍රව ඇති විය හැකි බවත් එය පිළිකා, හෘද රෝග, බෝ නොවන රෝග ඇති වීමට ඇති හැකියාව වැඩි බවත් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මෙරට ජනයා කොතරම් අනාරක්ෂිත පරිසරයක දිවි ගෙවන්නේ ද යන්න වටහාගත හැකිය.

වෙළෙන්දාගේ අරමුණ ලාභ ලැබීම වේ. ලාභ නොලබන්නේ නම් ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ලාභ ඉපයිය යුත්තේ දැහැමින් සෙමින්ය. සාධාරණවය. එසේ නොමැතිව මහ ජනයා සෙමින් සෙමින් වළපල්ලට දක්කමින් එමගින් තම මඩිය තර කර ගන්නේ නම් ඒවා නීතියෙන් වැළැක්විය යුතුය.

ආහාර නිෂ්පාදනයේදී එකම පොල් තෙල් කිහිප වරක් පාවිච්චි කිරීමේ හැකියාව තිබේ. ඒ බවත් සාමාන්‍ය ජනයාට පහසුවෙන් හඳුනා ගැනීමට ද නොහැකිවීම සාමාන්‍ය තත්ත්වයකි. තමන් මේ කන්නේ, බොන්නේ පිළිකා රෝගය තමන් තුළ ඇති කිරීමට සමත් භයානක විසක් බව බොහෝ දෙනා නොදනිති. එමෙන්ම මෙම ආහාර ගැනීමෙන් තමන් හෘද රෝගියකු බවට පත් වන බව බොහෝ දෙනෙක් නොදනිති.  බෝ නොවන රෝගවල පහසු ගොදුරක් බවට පත් වන බව නොදැන සාමාන්‍ය ජනයා ආහාර අනුභව කරති. මෙය ශාපලත් ඉරණමකි. එහෙත් තම මඩිය තර කර ගැනීමේ නොතිත් ආශාවෙන් මඩනා ලද සිත් ඇති චෞර වෙළෙන්දන් නිසා එම ශාපලත් ඉරණම නොදැනුවත්වම තමන්ගේ ඉරණම ලෙස බාර ගැනීමට රටේ ජනතාවට සිදු වී තිබේ.

රටක් සංවර්ධනය කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ එම රට තුළ නිරෝගී මිනිස් පරපුරක් සිටීමය. ජනයා විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන්නේ නම්, එම රෝගවලින් නැගෙන වේදනාවන්ගෙන් යුතුව දිවි ගෙවන්නේ නම් එය සංවර්ධනයට බාධාවකි. මන්දයත් සංවර්ධන ව්‍යාපෘති වල යෙදවිය යුතු ධනය ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා යෙදවීමට සිදු වන හෙයිනි. අවධානය ඒ දෙසට යොම කිරීමට සිදු වන හෙයිනි. නිරෝගි බව පරම ලාභයක් බවට අර්ථ දැක්වෙන්නේ ඒ අනුවය. රෝගී නොවී සිටින්නේ නම් රෝග සුවපත් කිරීමට මුදල් යෙදවිය යුතු නැත.

ජගත් පරිමාණයෙන් ගත් කල්හිද ලෝකය පාලනය කරනු ලබන්නේ බහුජාතික සමාගම් දෙකක් මගිනි. එක් බහුජාතික සමාගමක් වන්නේ ආහාර නිෂ්පාදන සමාගම්ය. අනෙක් බහුජාතික සමාගම් වන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම්ය. මෙම සමාගම් එකිනෙකා මත පදනම් වෙමින් තම පැවැත්ම සරිකර ගනිති. ගමේ පුංචි හෝටලය දක්වා පැතිර ඇත්තේ මෙම විෂම චක්‍රය ම වේ.

එළැඹෙමින් තිබෙන්නේ උත්සව සමය වේ. කොරෝනා අනතුර තුළ ද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව බොහෝ දෙනෙකු නගර වෙත පැමිණිය හැකියි.

එය බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. මජර වෙළෙන්දා ඉලක්ක කරනු ලබන්නේ එම ජනතාවය. ඒ අනුව ආහාර නිෂ්පාදනයේදී එක් වරක් නොව සිය දහස් වාරයක් වුවත් තම එකම තෙල් තාච්චිය පාවිච්චි කිරීමට ඉඩ තිබේ. කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ එබඳු ස්ථාන සොයා වැටලීම් සිදු කරන බවය. අපගේ ඉල්ලීම වන්නේ ජනතාවගේ නාමයෙන් මුළු රටේම මෙම වැටලීම් සිදුකරන ලෙසය.


(***)



අදහස් (2)

ආපනශාලාවල හොර මගඩි වැළැක්වීමට අවදියෙන් සිටිමු

Rasika Friday, 02 April 2021 07:19 AM

පරණ තෙල් එකතු කරන ක්‍රමයක් සෑමතැනටම අවශ්‍ය වේ.

:       1       3

nandana Saturday, 03 April 2021 06:39 PM

එකම පොල් තෙල් කිහිප වරක් රත් කිරීමෙන් එහි අඩංගු මේදය පිළිකාකාරකයක් වන බව සත්‍යයක්. අද රටේ ඇති වාතාවරණයට අනුව, දුර ගමනක් යනවිට හැකි සෑම අවස්ථාවකදීම, ගෙදරදී තමන් විසින්ම සාදාගත් කෑම පාර්සලයක් රැගෙන යාම සෞඛ්‍යයට හිතකර බවයි මගේ අදහස.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site