IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


විජ්ජාකාර දහනායක

 

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වූ ආචාර්ය විජයානන්ද දහනායක මහතාගේ නම හෙළ වහරට අනුව උසුරුවනු ලබන්නේ වි. දහනායක වශයෙනි. දහනායක මහතාගේ මුල් නම කෙටිකර දැක්වීමේදි යෙදූ එම ‘වි’ අකුර උපහාසයට ලක්කළ ඇතැම් විරුද්ධවාදීහු ඔහු “විජ්ජාකාර දහනායක” වශයෙන් හැඳින්වීමටද පුරුදුව සිටියහ.

 

ඒ සඳහා මුල් වී තිබුණේ ඔහුද විජ්ජාකාරයෙකු මෙන් අන්‍යයන්ට සිතා ගැනීමටවත්  නොහැකි දේ කළ කී බැවිනි. 1977 මහ මැතිවරණයේදී ගාල්ල ආසනයෙන් පරාජයවූ දහනායක මහතා ජයග්‍රාහි ඩී. ජී. ඇල්බට් සිල්වා මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉවත්කර දමා ඉන් අනතුරුව පැවැති අතුරු මැතිවරණයෙන් ජයගෙන ගාල්ල මහජන මන්ත්‍රී ධුරයෙන් පමණක් නොනැවතී කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්වීමෙන් පවා පැහැදිලිවන්නේ ඔහු සතු එම  විජ්ජාකාරි ස්වභාවයයි. 


විජයානන්ද දහනායක මහතා 1970 මහ මැතිවරණයේදී එ.ජා.පයෙන් තරග කර වැඩි ඡන්ද 3802කින් ගාල්ල අසුන ජයගෙන තිබුණද ඉන් සතියකින් හෝ දෙසතියකින් පමණ එ.ජා.පයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. ඔහු එලෙස එ.ජා.පයෙන් ඉවත්වෙමින් කියා සිටියේ ගාල්ලේ කුරුල්ලා නිදහසේ පියාඹා යන බවය. 


මේ අතර 1977 මහ මැතිවරණය ළංවනවිට එ.ජා.ප යේ ජයග්‍රහණය දුරතියා දුටු ඔහු එ.ජා.පයෙන් නාමයෝජනා ලබාගැනීමට සෑහෙන උත්සාහයක් දැරුවද එවකට පක්‍ෂයේ නායක ධූරය ඉසිලූ ජේ. ආර්. ජයවර්ධන මහතා වෙරිසොරි දහ.....”යි කියමින් දහනායක මහතා ප්‍රතික්‍ෂේප කළේය. එවර ගාල්ලට එ.ජා.පයෙන් නාමයෝජනා ලැබුණේ ඩී. ජී. ඇල්බට්  සිල්වා නමැති ව්‍යාපාරිකයෙකුටය. එසේම ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයෙකු සහ ඇමැතිවරයෙකු ද වූ දහනායක මහතා පරාජය කරමින් වැඩි ඡන්ද 5009කින් ගාල්ලේ අභිනව මන්ත්‍රිවරයා වශයෙන්  පත්වීමටද  සමත්වූවේය.


දහනායක මහතාගේ පරාජය ගැන ඇසූ බොහෝ දෙනාට සිතුණේ ඔහුගේ කෙරුම්කාරකම් හමාරවී ඇති බවය. එහෙත් දහනායක තමන්ගේ පරාජය පිළිනොගත්තා පමණක් නොව “අපි බලමුකෝ ඇල්බට් සිල්වා උන්නැහේ කොයි තරං කාලයක්  මන්ත්‍රීකම් කොරයිද කියලා”.. යි කියමින් තම ප්‍රතිවාදියාට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේය.


එහෙත් ඒ පිළිබඳව ඇල්බට් සිල්වා මහතාගේ නීතිඥයන් විසින් මතුකළ විරෝධතා  සලකා බැලූ අධිකරණය එය නිෂ්ප්‍රභ කළේ ඔහුට තම  නඩු ගාස්තු අයකර ගැනීමටද  ඉඩ සලසමිනි. එසේ වුවද එම තීන්දුව පිළිනොගත් දහනායක මහතා කළේ  ඊට ඉහළින් තිබූ ඇපැල් උසාවියට තම විරෝධතා ගොනු කිරීමය. ඔහු විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිගත් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් පස් කට්ටුව එම ඡන්ද පෙත්සම විභාග කළ යුතු යැයි තීන්දු කර තිබුණේ දහනායක මහතාගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. ඒ අනුව ගාල්ලේ ඡන්ද පෙත්සම විභාගයට ගැනුණු අතර එහි තිබූ විශේෂත්වය වූයේ කිසිදු නීතිඥ සහයක් ලබානොගත් දහනායක මහතා තම නඩු විභාගය සඳහා තමන්ම ඉදිරිපත්වීමයි. 


“ඔය වයසක මනුස්සයට පුළුවන්ද තනියම ඡන්ද නඩුවක් කතා කරලා දිනන්න. අන්තිමේදි ඉතින් එයාම පස්ස බිම ඇන ගනීවි...” යි. කියමින් ඇතැමුන් තමන් ගැන අවඥාවෙන් කතා කරන ලද බවද ඔහුට ආරංචි වී තිබුණේය.


“හොඳයි බලාගන්න බැරිය කාගෙද පස්ස බිම ඇනෙන්නේ කියලා”.


දහනායක ප්‍රසිද්ධියේම එසේ කියා තිබුණේ සිනාසෙමිනි. අවසානයේ දී සිදුවූයේ ඔහු ඉදිරිපත් කළ නීති තර්කයක් පිළිගත් අධිකරණය ඇල්බට් සිල්වාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් එම හිස්වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කිරීමය. ඒ අනුව 1979 දෙසැම්බර් මස 20 වැනිදා එම අතුරු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා  තීරණය කර තිබුණේය.


“ඔය මනුස්සයා ඡන්ද පෙත්සම් නඩුවෙන් දිනුවට මුළු ආණ්ඩුවක් එක්ක හැප්පිලා අතුරු මැතිවරණයෙන් දිනයි කියලා හිතන්නවත් පුළුවන්ද?යි කී ඇල්බට් සිල්වා පාර්ශ්වය කැට කඩා කියා සිටියේ දහනායක අතුරු මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වෙන බවය. ඇල්බට් සිල්වා මහතා තමන්ගේ ජයග්‍රහණය පිළිබඳව එතරම් දැඩි විශ්වාසයක් ඇතිකර ගෙන තිබුණේ කිසිදු දෙගිඩියාවකින් තොරවය. එසේ වූයේ මුළු ආණ්ඩුවම තමන් සමග සිටිතැයි ඔහු සිතූ බැවිනි. එහෙත් අන්තිමේදි සිදූවුයේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.


එනම් ඇල්බට් සිල්වා මහතාගේ බෙල්ල, කර මුලින්ම කැපී ගොස් දහනායක මහතාට එ.ජා.පයේ නාමයෝජනා හිමිවීමය.
“කොහොමද සර්. මාව පරද්දපු මිනිහාට අපේ පක්‍ෂයෙන් ටිකට් එක ලැබුණේ..?”


තමන්ට සිදුවූ අසාධාරණය හා මදි පුංචිකම ගැන එ.ජා.ප නායකයාගෙන් අසන්නට ගිය ඇල්බට් සිල්වා මහතා දෙස බැලූ ජේ. ආර්. ජයවර්ධන මහතා “එහෙම තමයි මිස්ට සිල්වා මේ දේශපාලනේ හැටි” ඒත් අපි තමුන් ගැනත් නොසලකා ඉන්නෙ නෑ”යි කියමින් තම දකුණතින් නහය පිරිමැද්දේ ඔහුට දේශපාලනය පිළිබඳ අලුත්ම පාඩමක් කියා දෙමිනි.


අවසානයේ දී සිදුවුයේ 1979 දෙසැම්බර් මස 20 වැනිදා පැවති ගාල්ල අතුරු මැතිවරණයට එජාපයෙන් තරග කළ ආචාර්ය විජයානන්ද දහනායක මහතා වැඩි ඡන්ද 13,012කින් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්ව රජයේ සමුපකාර ඇමැති ධුරයද හිමිකර ගැනීමය. තමන්ට එ.ජා.ප.යෙන් සිදුවූ අසාධාරණයෙන් කුපිත වූ ඇල්බට් සිල්වා මහතා ආණ්ඩුවට එරෙහිව සීනිගම දේවාලයේදී පොල් ගැසීමට ගත් උත්සාහය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් වළක්වා ගෙන තිබුණේ ඒ වනවිට කඹුරුපිටිය ආසනය සඳහා පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධුරයට ඔහු පත් කිරීමට හැකි පරිදි රටේ මැතිවරණ නීතිය සංශෝධනය කිරීමෙනි.


ආචාර්ය විජයානන්ද දහනායක මහතා නමට පමණක් නොව සැබෑ ලෙසම විජ්ජාකාරයෙකු බව එම සිද්ධියෙන් පසු මුළු රටම දැනගත්තේය.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

විජ්ජාකාර දහනායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 485 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17053 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 679 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site