IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


රොස්මීඞ් පෙදෙසේ මව - පුතු ගැටුම්

 

විජය කුමාරතුංගගේ ඝාතනයෙන් පසු මෙරට දේශපාලනය කෙරෙහි දැඩි ලෙස කලකිරුණු චන්ද්‍රිකා මැතිනිය තම දරු දෙදෙනා ද සමග එංගලන්තයට ගොස් ලන්ඩනයේ පදිංචිව සිටියාය. ඒ වනවිට ශ්‍රී ලංකා මහජන පක්‍ෂයෙන් පමණක් නොව ඉන්පසුව පිහිටුවා ගත් බහුජන නිදහස් පෙරමුණෙන්ද ඉවත්වී දුර රටකට ගොස් සිටියත් සිතින් මෙන්ම කයින්ද දේශපාලන ජීවියෙකුවූ ඇයට මෙරට දේශපාලනයෙන් බැහැරව සිටීමට නොහැකි විය. ඒ අනුව සිදුවූයේ තමන් සමග නිතර දුරකථනයෙන් සම්බන්ධ වන මංගල සමරවීර සහ එස්. බී. දිසානායක වැනි මන්ත්‍රීවරුන්ගෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳව තොරතුරු විමසීමට චන්ද්‍රිකා මැතිනිය නිරායාසයෙන්ම පෙලඹී යාමයි. 
එහිදී යළි මෙරටට පැමිණීමට ඇය තුළ අදහසක් පවතින බව මංගලටත්, එස්. බී. ටත් හොඳාකාරවම පෙනී ගොස් තිබුණේය. එහෙත් ප්‍රශ්නයකට තිබුණේ අනුර ඒ ගැන දක්වන අයහපත් ප්‍රතිචාරය ඔවුන් දෙදෙනා විසින්ම වටහා ගෙන තිබීමයි.


“කමක් නෑ ප්‍රශ්නයක් ඇතිවුණොත් අම්මටයි, දූටයි ඒක බේරගන්න බැරියැ...” යි සිතූ මංගලටත්, එස්. බී. ටත් අන්තිමේදී චන්ද්‍රිකාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළේ තම පක්‍ෂ නායිකාව වූ සිරිමාවෝ මැතිනියටද නොදන්වමිනි. 


චන්ද්‍රිකා මැතිනියද ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව පැවැති කලකිරීම පසෙක දමා යළි ආපසු පැමිණීමට තීරණය කිරීම එහි ඊළඟ ප්‍රතිඵලය විය. එලෙස ආපසු පැමිණි ඇය සිරිමාවෝ මැතිනියගේ නිවසට යාබදව පිහිටි තමන්ගේ නිවසේ පදිංචි වූවාය.


“ආ... ඔයා ආපු එක කොයි තරම් හොඳද?” යි කී සිරිමාවෝ මැතිනිය තම බාල දියණිය සාදරයෙන් පිළිගනු ලැබූවද අනුරගෙන් ඒ පිළිබඳව දක්වුණේ තරමක අයහපත් ප්‍රතිචාරයකි. ශ්‍රී ල.නි.ප. ය හැර ගොස් සිටි චන්ද්‍රිකා මැතිනිය යළි පක්‍ෂයට එකතු කර ගැනීමට දැඩි කැමැත්තකින් සිටි දි. මු. ජයරත්න සහ ධර්මසිරි සේනානායක වැනි ජ්‍යෙෂ්ඨයන් ඒ පිළිබඳව අනුරගේ අදහස විමසූ බොහෝ අවස්ථාවලදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ “එයා ආවයි කියලා මොනව කරන්නද?” යි අසමින් එතැනින් ඉවත්ව යාමය. 


“හරි කමක් නෑ. ඕනමනම් චන්ද්‍රිකාටත් එන්න ඉඩ අරින්න. හැබැයි රුපියල් පහක් ගෙවලා අලුතින් සාමාජිකත්වය අරගෙනයි එයා පක්‍ෂයට බැඳෙන්න ඕනෑ....” යි සිරිමාවෝ මැතිනිය අන්තිමේදී චන්ද්‍රිකා පක්‍ෂයට වැද්ද ගැනීම සඳහා අනුමැතිය පළ කිරීම දිමූලාගේ සිතට ඉමහත් සැනසිල්ලක් විය. ඒ අනුව නවක සාමාජිකාවක වශයෙන් ශ්‍රී ල.නි.ප. යට දෙවැනි වරටත් එක්වූ චන්ද්‍රිකා දැඩි උද්‍යෝගයකින් යුතුව පක්‍ෂ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගී වූවාය. 


එහෙත් අනුර බණ්ඩාරනායක තම සොහොයුරිය පක්‍ෂයට එක්වීම ගැන තම විරෝධය පළ කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව විවේචනය කිරීමටද පෙලඹී සිටියේය. එමගින් පක්‍ෂයට සිදුවිය හැකි හානිය පිළිබඳව සිතූ දි. මූ. සහ ධර්මසිරි සේනානායක වැනි ජ්‍යෙෂ්ඨයන් අනුරගේ එවැනි ක්‍රියා වළක්වා ගැනීමට සෑහෙන තරම් උත්සාහයක් දැරුවද එය අසාර්ථක විය. එම තත්ත්වය වඩාත් උත්සන්න වූයේ අනුර තම මවගේ ක්‍රියා කලාපය පවා දැඩි ලෙස විවේචනය කිරීමට පෙලඹී යාමෙනි. අන්තිමේදී ප්‍රශ්නය බොහෝ දුරදිග ගිය අතර ශ්‍රීල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී පවා ඒ පිළිබඳව සාකච්ඡා කෙරුණු බව දි. මූ. ජයරත්න මහතා පවසයි.


“මේ ගැන අපි දැඩි තීන්දුවක් නොගත්තොත් අපට මේ පක්‍ෂය පවත්වාගෙන යන්නත් බැරි වෙනවා” යි කී සිරිමාවෝ මැතිනිය මධ්‍යම කාරක සභා සාමාජිකයන්ට කැමැතියැයි හැඟෙන ඕනෑම තීන්දුවක් ගැනීමට තම අනුමැතිය පළකරන ලද්දේ ඒ හැර වෙනත් විකල්පයක් නොවූ බැවිනි. ඒ අනුව අනුර ඇතුළු ඔහුගේ සමීපතම හිතවතුන් කීප දෙනෙකුගේම පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණේය.


“සාමාන්‍යයෙන් ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වන්නේ මැතිනියගේ රොස්මීඞ් මංදිරයේ. ඒත් එදා රැස්වීමේදී තමන් පිළිබඳව දැඩි තීන්දුවක් ගැනීමට යන බව දැනගත් අනුරලා රොස්මීඞ් නිවසට ඇතුළුවීමට කාටවත් ඉඩ නොදී ගේට්ටුව ඉදිරිපිට ලොකු නාඩගමක් නැටුවා. අපි මැතිනියගේ ගෙදර පිටුපස තාප්පය අයිනේ මේසයක් තියල එතැනින් චන්ද්‍රිකාගේ ගෙදර පැත්තෙන් මැතිනිය එළියට අරගෙනයි විපක්‍ෂ නායක කාර්යාලය වෙත කැඳවා ගෙන ගියේ....” යි කියන මංගල සමරවීර එම සිද්ධිය ගැන සඳහන් කරන්නේ මැතිනිය යාබද නිවසේ තිබූ කසිකබල් ඩබල් කැබ් රියකින් විපක්‍ෂ නායක කාර්යාලය වෙත යද්දී ඒ බව නොදත් අනුරගේ හිතවතුන් රොස්මීඞ් නිවසේ ගේට්ටුව අවහිර කරගෙන පැය දෙකකටත් වැඩි කාලයක් සටන් පාඨ කියමින් රැඳී සිටි බවය.


මැතිනිය තම අකීකරු පුත්‍රයා පිළිබඳව මුලින් දැඩි ස්ථාවරයක් දැරුවද අනුර ඇතුළු ඔහුගේ සගයන් පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ නියෝගයට අත්සන් තබන ලද්දේ කඳුළු සලමිනි. මේ අතර තම පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි දැනගත් අනුර දැඩි ලෙස කෝපයට පත්වූ අතර ඔහු දිගින් දිගටම දෝෂාරෝපණය කළේ තම අක්කණ්ඩියටය. දි. මූ. සහ ධර්මසිරි වැනි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පමණක් නොව මංගල, එස්. බී. වැනි නවක මන්ත්‍රීවරුන්ට පවා මහ හඬින් බැණ වැදුණු අනුර යළි සංසුන් වූයේ ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගෙන් උන්හිටිගමන් අති විශේෂ දුරකථන පණිවුඩයක් ලැබීමෙන් පසුවය. 


“අනුර ඔයා එන්න අපේ පැත්තට. අපි ඔයා හෙටම ඇමැති මණ්ඩලයටත් පත් කර ගන්නවා....!” යි කියමින් අනුර තමන් වෙත ගෙන්වා ගත් ජනාධිපතිතුමා පසුදා සිටම ඔහු උසස් අධ්‍යාපන ඇමැති ධුරයට පත් කරනු ලැබුවේ ඒ වනවිට එම තනතුර දරමින් සිටි තිස්ස අත්තනායක විශ්වවිද්‍යාල රාජ්‍ය ඇමැති ධූරය දක්වා පහතට ඇද දමමිනි. 
ඒ බව දැනගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය “අපොයි මේ කොල්ලාගේ මුළු දේශපාලන අනාගතයම විනාශ වුණා...!” යි කියමින් දැඩි ලෙස දුක්වූයේ මව් සෙනෙහස ඉස්මතුවීමෙනි.

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (1)

රොස්මීඞ් පෙදෙසේ මව - පුතු ගැටුම්

d.upul Tuesday, 12 February 2019 10:59 AM

එදා ඉඳන්ම කුලල් කා ගන්න එක තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 485 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17053 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 679 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site