IMG-LOGO

රනිල් විරෝධීන්ට කුරුඳු පොලු ප්‍රහාරයක්

මෛත්‍රී ගුණරත්නලා, ශිරාල් ලක්තිලකලා, ඇතුළු පිරිස රනිල් විරෝධී පාගමන දෙවුන්දරින් ආරම්භ කරද්දීම මංගල සමරවීර ඇතුළු සන්නිවේදන බළකායේ පිරිසක් මාතර ගාල්ල ප්‍රදේශවල අපේ පක්ෂ පිරිස් එකතුවෙලා මාතර ඉඳලා දෙවුන්දර පැත්තට ගමන් කළා. මුල්ම ගැටුම ඇති වුණේ මේ දෙපිරිස අතර දෙවුන්දරදී යම් කලබලකාරී තත්ත්වයක් ඇති වුණත් මෛත්‍රී ගුණරත්නලගෙ කණ්ඩායම මංගල සමරවීරලගෙ කණ්ඩායම අබිබවා යමින් ඉදිරියට ගමන් කළා.


මේ ගැන මටත් දිගින් දිගටම ප්‍රවෘත්ති ගලාගෙන එන්න පටන් ගත්තා. එක එක්කෙනා කතා කරලා විස්තර කිව්වා. මම මංගල සමරවීරට ආපහු කතාකරලා කිව්වා මේක තවදුරටත් දිගටම ආවොත් ලොකු අවුලකට යන නිසා කතාබහ කරලා බේරුමක් කර ගන්නත් බැරිනම් විකල්පයක් ගැන හිතන්න කියලා. මම මේ ගැන තොරතුරු එවෙලෙම රනිල් වික්‍රමසිංහටත් දැනුම් දුන්නා. ඔහුත් කිව්වෙ ගහලා හරි පා ගමන නවත්තන්න කියන්න කියලා.
පා ගමන මාතර ටවුන් එකට ආවට පස්සේ මෛත්‍රී ගුණරත්නලාගේ කණ්ඩායමේ ප්‍රචාරක වෑන් එකකට ටවුන් එකේදී ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයත් එක්කම කලහකාරී තත්ත්වය ආපහු ඇවිස්සුණා. එවෙලේ තමයි මෛත්‍රී ගුණරත්නගෙ තාත්ත හර්මන් ගුණරත්න එයාගෙ ළඟ තිබුණු පිස්තෝලය අරගෙන වෙඩි තියන්න පටන් අරගෙන තියෙනවා. ඒ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ ගාල්ලේ අපේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්. එයාට කවුරුත් ඇමතුවේ රත්තරන් කියලා. ක්‍රිශාන්ත පුෂ්පකුමාර තමයි මිනිහගේ ඇත්ත නම. රත්තරන්ට වෙඩි වැදීමත් එක්ක තමයි තත්ත්වය බරපතළ විදියට ඇවිළිලා ගියේ.


මංගල සමරවීර ඇතුළු කණ්ඩායම ඒවෙලාවේ තැන තැන තිබුණු පොලු මුගුරු අරගෙන අනෙක් කණ්ඩායමට පහර දෙන්න පටන් ගත්තා. ඒකෙන් තමයි මේ ගැටුම ‘කුරුඳුපොලු ප්‍රහාරය’ කියලා ප්‍රසිද්ධ වුණේ. දෙපැත්තම එක විදියට තදේටම පහර දෙන්න පටන් ගත්තා. මේ ගැටුමේ ප්‍රතිඵලය වුණේ විශාල දේපොළ හානියක් සහ විශාල පිරිසකට බරපතළ තුවාල සිදුවීම. මෛත්‍රී ගුණරත්නලගෙ පාගමනත් එතනින්ම කඩාකප්පල් වුණා. මේ ගැටුමෙන් පස්සෙ තමයි පොලිසිය එහෙම මේ සිද්ධියට මැදිහත් වුණේ. ගැටුම යද්දි පොලිසිය ඕකට මැදිහත් වුණේ නෑ, මෛත්‍රී ගුණරත්නලගෙ කණ්ඩායම බාධාවකින් තොරව ඉදිරියට එන්න පොලිසිය ඉඩ දීමෙන් අපිට පැහැදිලි වුණා ආණ්ඩුව මේ පාගමනට සහයෝගය දුන්නා කියලා.


ගැටුමෙන් පස්සේ පොලිස් පරීක්ෂණ සිදු කරන්න පටන් ගත්තා. එතනදිත් පොලිසිය අරගත්තේ මෛත්‍රී ගුණරත්නලගෙ පැත්ත. මංගල සමරවීර එක්ක ගියපු කණ්ඩායමේ අයට පහර දෙමින් පොලිසිය ඒ අයව අත්අඩංගුවට ගත්තා. ඒ සිදුවීමත් එක්ක මාතර ටවුන් එක තුළ මහා භීෂණකාරි තත්ත්වයක් නිර්මාණය වුණා.


පහුවැනිදා උදේ පාන්දරම මම මාතරට ගියා. මම මාතර පොලිසියේ උසස් නිලධාරින් මුණ ගැහුණා. ඒ අය එක්ක කතා කළත් මට තේරුණා පොලීසිය සහයෝගය දක්වන්නෙත් මෛත්‍රී ගුණරත්නලගේ කණ්ඩායමට කියලා ඒ කණ්ඩායමේ අය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තෙ නෑ. ඒකෙන් අපිට තේරුණා පොලිසිය පක්ෂග්‍රාහිව වැඩ කරන්නේ ආණ්ඩුවේ වුවමනාවට කියලා.


වෙඩි වැදුණු ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා රෝහල්ගත කරලා හිටියේ. අඩුම තරමේ ක්‍රිෂාන්තට වෙඩි තියපු බවට චෝදනා එල්ල වුණු මෛත්‍රී ගුණරත්නගෙ තාත්තාවත් අත්අඩංගුවට අරගෙන තිබුණෙ නෑ. ඒ වෙනකොටත් අපි පොලිසිය එක්ක තර්ක කළත් වැඩක් වුණේ නෑ.


හවස්වෙද්දි අපේ හැට ගානක් අත්අඩංගුවට අරගෙන තිබුණා. තවත් අය රෝහල්වල හිටියේ. අපි මංගල සමරවීරලගෙ ගෙදර ඉඳගෙන සාකච්ඡා කළා මේ අය බේරගන්නේ කොහොමද කියලා. පහුවැනිදා මංගල සමරවීරව අත්අඩංගුවට ගැනීමේ සුදානමකුත් තිබුණා. පහුවැනිදා අපි සියලුදෙනාම උසාවියට ගියා. මංගලත් අපිත් එක්ක ගියා. ඒත් මංගල රිමාන්ඞ් කළේ නෑ. අනිත් අය සියලුදෙනා දින 14කට රිමාන්ඞ් කළා. අපි මාතර බන්ධනාගාරයටත් ගිහින් ඒ අයගේ සුවදුක් බැලුවා. මම රනිල් වික්‍රමසිංහට කතා කරලා කිව්වා පහුවැනිදම මාතරට එන්න කියලා. ඇවිත් ඒ ගැටුමෙන් බන්ධනාගාර ගත වෙච්ච අයත් තුවාලකරුවොත් බලන්න කියලා මම රනිල් වික්‍රමසිංහට කිව්වා.


මේ සිදුවීමෙන් දවස් කීපයකට පස්සේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණා. එතෙන්දී බොහෝ දෙනා මේ පහරදීමට විරුද්ධව අදහස් ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් හැමදාම මධ්‍යස්ථ මතවාදයක ඉදපු කරුණාසේන කොඩිතුවක්කු වගේ අය පවා මේ ප්‍රහාරය හෙළා දැක්කා. ඔවුන් කිව්වේ ඒ පහර දුන්නෙ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකටම නේද කියලා. මංගල සමරවීර ගත්තු පියවරට බොහෝ දෙනාගේ විරෝධය පළ වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ විරෝධය හමුවේ මංගල සමරවීර දැඩි අපහසුතාවට පත්වෙන හැටි මම දැක්කා.


ඒ වෙලාවෙ මම වහාම නැගිටලා කිව්වා මංගල සමරවීරට කවුරුත් එකතුවෙලා ඇඟිල්ල දික්කරන්න එපා, මේ ප්‍රහාරයේ වගකීම මම බාරගන්නවා කියලා. මේ ප්‍රශ්නෙ බරපතළකම විග්‍රහ කරන්නේ නැතුව එකපාරට මංගලට චෝදනා කරන්න එපා කියලා මම කිව්වා.

මේ පාගමන දිගටම කොළඹ ආවනම් ඒ වෙනකොටත් පක්ෂය දෙකට තුනට කැඩෙන්න ඉඩ තිබුණා කියලා ඔය තත්ත්වය පැහැදිලි කළා. මේ ප්‍රශ්නයේ දෙපැත්තම දිහා සාධාරණව බලන්න ඕන කියල මම ප්‍රකාශ කිරීමෙන් පස්සේ මංගලට ආපු විරෝධතාව නතර වුණා. 


මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න නිශ්ශංක නානායක්කාර ඇතුළු නීතිඥ කණ්ඩායම අපිට ගොඩක් සහයෝගයක් දැක්වුවා. මේ සිදුවීම ඒ දවස් කීපයේම රටේ ප්‍රධානම මාතෘකාව බවට පත් වුණා. ඒ විදියට ඒ ප්‍රශ්නය සමථයකට පත්වුණත් කුරුඳුපොලු ගැටුමේ නඩුව තාම ඉවර නෑ. මේ ළඟදිත් මම ඒ නඩු වාරයක් වෙනුවෙන් සහභාගී වුණා.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල් විරෝධීන්ට කුරුඳු පොලු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 373 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site