IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


රජුන් ඇසුරේ කෙළින් සිටි මිනිසෙක්

විධායක ජනපති ජේ. ආර්. ඔහු ඇමතුවේ නානා යන සුරතල් නමිනි. ආචාර්ය කොල්වින් පුතා යනුවෙන් ඔහු ඇමතීය. ජනපති ප්‍රේමදාස නෙවිල් යැයි නමින්ම ඔහුට කතා කළේය. ප්‍රබල දේශපාලනඥයන්ට නැතිවම බැරි අවංක, නිහතමානී, කාර්යක්ෂම රජයේ නිලධාරීන් අතළොස්සට නොබෝදා දිවංගත වූ කැලණියේ, දලුගම නෙවිල් පැටි්‍රක් නානායක්කාර ඇතුළත් විය.


ඔහු ඇතැම් වරදාන පතන අවස්ථාවාදී රජයේ නිලධාරීන් මෙන් අත්තෙන් අත්තට පනින අයකු නොවීය. භාරගන්නා සෑම රාජකාරිමය අභියෝගයක්ම නීතිපොතට මෙන්ම ආයතන සංග්‍රහයට එකඟ නම් කුමන තර්ජන බාධක ආවත් කළයුක්ත අකුරටම කළ නිලධාරියෙකි.


කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී තරුණ මෙන්ම එකම උපාධිධාරියා ලෙස 1975 දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට බැඳෙන ඔහුගේ ක්‍රියාශූරත්වය නිසාම 1981 වන විට දෙපාර්තමේන්තු ප්‍රධානියා වීමේ වරම ලැබීය.


වසර 200 ට අධික ඉතිහාසයක් ඇති රජයේ මුද්‍රණාලයාධිපති ධුරයෙන් පිදුම් ලත් නෙවිල් මැතිඳු ශ්‍රී ලංකාවේ ළාබාලතම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ඉතිහාසගත වෙයි. ඔහු 2005 දක්වා පුරා වසර 24 ක් එම තනතුර දැරූ අතර විධායක ජනපතිවරුන් වූ ජේ. ආර්., ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග සහ චන්ද්‍රිකා කුමාරතුංග යන පාලන කාලවලදී පෙරළි රැසකට මැදිවූවේය.


එතෙක් ඊයම් අකුරු සහිත පැරණි ලෙටර් ප්‍රෙස් තාක්ෂණයෙන් මුද්‍රණ කටයුතු සිදු කෙරුණු රජයේ මුද්‍රණාලයට පරිගණක තාක්ෂණය හඳුන්වාදී පෙරළියක් කළේ එම යුගයේදීය. එතෙක් එම ක්‍රමය පැවැතුණේ විභාග සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවල පමණි.


රජ්ජුරුවන්ගේ අච්චුකන්තෝරුවට පරිගණක තාක්ෂණය හඳුන්වා දී ඉන් නොනැවතී නව පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්‍රණ පාසල සංස්ථාගත කිරීමේ සත්කාර්යය සිදු කළ ඔහු එහි පළමු සභාපති පදවිය ද දැරීය.


සීතල කාමර තුළ කොටුවී දැවෙන කම්කරු හා කාර්මික ගැටලු පිළිබඳව හාන්කවිසියක්වත් නොදත් උසස් නිලධාරීන්ට නෙවිල් නානායක්කාර චරිතය පූර්වාදර්ශයකි. ඔහු තරම් වෘත්තීය සමිති සම්බන්ධීකරණ කළ පාලකයෙකු නොවූ තරම්ය. එයිනුදු නොනැවතී සේවකයන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල දුක්ගැනවිලිවලට පවා සවන්දී තමන්ගේ ගැටලු බවට පත් කරගෙන පිහිටවූ අවස්ථා එමටය.


මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා වැනි දේශපාලනඥයන් හා දරදඬු අමාත්‍යාංශ නිලධාරීන් සමග තර්ක කරමින් වෘත්තීය සමිති නිලධාරීන් සමගද ගැටෙමින් නිරතුරු කටයුතු කළ ඔහු තමන්ට අපහාස මෙන්ම මරණ තර්ජන කළ කිසිවකු සමග ආරවුල්වල පැටලී පළිගැනීම් නොකළේය.


පැරැන්නන් පවසන පරිදි මුද්‍රණාලය තුළ සේවය කළ කම්කරුවන් 3000 කගේ පැටිකිරිය දන්නා ඔවුන් නමින් ඇමැතිය හැකි දැනුමක් ඔහු සතුව තිබිණ. යන්ත්‍ර සූත්‍රවලට හිරවී සිටින කම්කරුවන්ගේ කලා සහ නිර්මාණ කුසලතා හඳුනාගත් නෙවිල් මැතිඳු රජයේ මුද්‍රණාලයීය සංස්කෘතික සංසදය බිහිකර දක්ෂයන් රටට හඳුන්වා දීමට වෑයම් කළේය.


පාසල් වියේ සිටම ඔහු මුද්‍රණ කර්මාන්තයට දැක්වූයේ පුදුම උනන්දුවකි. 1957 දී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් වූ ඔහු අමතර විෂය ලෙස තෝරාගත්තේ ප්‍රින්ටින් හෙවත් මුද්‍රණ ශිල්පයයි. අකුරු ඇමිණීම තුළින් එහි අත්පොත් තැබූ නෙවිල් තරුණයා පශ්චාත් උපාධිය සඳහා බි්‍රතාන්‍ය රජයෙන් ලද ශිෂ්‍යත්වයකින් එංගලන්තයට ගිය අතර සහකාර මුද්‍රණාලයාධිපති ධුරය පිරිනැමුණේ එම සුදුසුකම මතය.


කර්මාන්ත කළමනාකරණය පිළිබඳව නෙදර්ලන්තයේ ඩෙල්ෆ් සරසවියෙන් හදාළ ඔහු මව්බිමට ආ වහාම නියෝජ්‍ය මුද්‍රණාලයාධිපති ධුරයද අනතුරුව මුද්‍රණාලයාධිපති ධුරයද ලැබීය.


1971 දී නෙවිල් නානායක්කාර මැතිඳුන් රජයේ මුද්‍රණාලයේ වැඩ අධිකාරි ලෙස කටයුතු කරද්දී ඇමැතිවරිය වූයේ සිරිමාවෝ මැතිනියයි. ඔහු උගත් ශාන්ත ජෝසප් විදුහලේ ගැහැනු පාසල වූයේ ඇය ඉගෙනුම ලැබූ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයයි.


‘සිරිමාවෝ උගත්කමින් පරතෙරට ගිය කෙනෙක් නොවන නිසා එයාට අගමැතිවීම හීනයක්’


මෙසේ ඇය අවතක්සේරු කළද ඇය ඇසුරු කළ කාලය තුළ නෙවිල් නානායක්කාර ඇය සතු මහඟු ගුණාංග හඳුනාගත්තේය.


‘මැතිනිය බොහොම ගාම්භීර කෙළින් එඩිතර තීරණ ගත්ත චරිතයක්. රටට පුදුම ආදරයක් ඇයට තිබුණා. මට හමුවූ දේශපාලනඥයන් අතර ඉතා ගරු කරන කෙනෙක්’ ඔහු මාධ්‍යයට පැවසීය.


1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුද්‍රණය කිරීමේ භාරදූර වගකීම පැවරුණේ නෙවිල් මැතිඳු ප්‍රධාන රජයේ මුද්‍රණාලයටය. ඒ සඳහා උපදෙස් දීමට නිතර ආගිය චරිතයක් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ධුරය දැරූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය.


රජයේ මුද්‍රණාලය තුළ සිටි එකම උපාධිධාරියා වූ කඩවසම් නෙවිල් නානායක්කාර තරුණයාට වැඩ අධිකාරි කාමරය තුළ ගත කළ වාමාංශික දේශපාලන කඳවුරේ දැවැන්තයා වූ කොල්වින් වැනි අත්දැකීම් බහුල චරිතයක් සමග මෙම භාරදූර කටයුත්තට එක්වීමට ලැබීම වාසනාවක් බව ඔහු පැවසුවේය.


විෂය අනුබද්ධ කරුණු පමණක් නොව මුද්‍රණ දෝෂ පවා කොල්වින් තමාට පෙන්වා දුන්නේ තමන් අතින්ම තැනූ තේ පැන් තොලගාමින් බව නෙවිල් මැතිඳු පවසා ඇත.
ආචාර්ය කොල්වින් මෙන් නොව ජනපති ජේ. ආර්. කිසිදා රජයේ මුද්‍රණාලයට නොආවේය. ඔහු රාජකාරි අවශ්‍යතාවන් සඳහා නෙවිල් නානායක්කාරයන්ව වෝඞ් ප්ලේස් හි තම මන්දිරයට කැඳවීය. රජයේ නිලධාරියකු ඉදිරියේ ප්‍රතාපවත් ඇඳුමකින් සැරසීම රාජ්‍ය නායකයාගේ සිරිත වුවත් ජේ. ආර්. ‘නානා’ ඉදිරියේ පෙනී සිටියේ පරණ බැනියමකින් හා සරමකින් සැරසී චාම් ලෙසින් බව ඔහු මාධ්‍යයට හෙළි කර තිබිණි.


ජනපති ආර්. ප්‍රේමදාස නෙවිල් මැතිඳුට රාජකාරි කටයුතු සඳහා ඇරයුම් කළේ කෙසෙල්වත්තේ සුචරිත මැදුරටය. ඒ පාන්දර 6 වැනි වේලාවකය. පාන්දරින් අවදිව ජනතා මෙහෙවර අරඹන ජනපතිඳුන් කිසිවිටකත් වේලාව වරදන චරිතයක් නොවේ.


එතුමා දවසක් පාන්දර 6.30 ට මට එන්න කිව්වා. එදා තමයි ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් අධිබලැති බෝම්බයෙන් විනාශ වූ දවස. එදා හරිම කලබලකාරී මොහොතක්. ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීම්වලට පස්සෙයි ප්‍රේමදාස මහත්තයා මට මුණගැසුණේ.


ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදී මිලින්ද මොරගොඩ යටතේ තිබූ ලොතරැයි මණ්ඩලය ඔහුගෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම පමාවීම පිළිබඳ අර්බුදයක් ඇතිවිය.


ජනාධිපතිනියගේ ලේකම්වරයා වහා එය මුද්‍රණය කරන ලෙස දැනුම් දුන් අතර විෂයභාර ඇමැති වූ ඉමිතියාස් බාකිර් මාකර් දන්වා එවූයේ එසේ නොකරන ලෙසය. මෙම පරස්පර නියෝග නිසා වාචික තර්ජන ගර්ජන මෙන්ම මරණීය අභියෝග පවා මුද්‍රණාලයාධිපතිට එල්ල විය.

 

නෙවිල් නානායක්කාර

 


මං කරන්නේ රාජකාරියක්. කිසිකෙනෙකුට මාව වළක්වන්න බෑ. ඕනෑ ගණන්කාරයකුට මූණ දෙන්න මං ලෑස්තියි. කියූ නෙවිල් මැතිඳු නීතිපති උපදෙස් ඉල්ලා සිටි අතර එදින රාත්‍රී මැරවරයන් මුද්‍රණාලයට පහරදී තිබිණ.


ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් අගමැති රනිල්ගේ ආණ්ඩුව විනිසුරුවා හැරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමේදී ද තර්ජන ගර්ජන මත ගැටුම්වලට මුහුණ පෑමට නෙවිල් නානායක්කාරයන්ට සිදුවිය. තමන් භාරගත් රාජකාරිය අකුරටම ඉටුකර ගැසට් පත්‍රය නිකුත්වී ආණ්ඩුව විසුරුවන තුරුම එම වගකීම් අත් නොහළේය.


‘මා හිතවත් නානා’ යනුවෙන් ඉංග්‍රීසියෙන් නෙවිල්ට නියෝග දුන් ජේ. ආර්. මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ධුරය ඇතුළත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂ පිටපතක් පරම්පරා ගණනාවක් පවතිනතුරු ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු සංකීර්ණයේ අත්තිවාරම තුළ තැන්පත් කිරීමට පියවර ගත් බව මියයන්නට පෙර නෙවිල් මැතිඳු මාධ්‍යයට පවසා තිබිණි.


‘දිගු කලක් පවතින්න ඕනෑ නිසා එතුමා මෙම ව්‍යවස්ථා පිටපත විශේෂ කඩදාසියක ලොකු අකුරින් මුද්‍රණය කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපති ලේකම් මැණික්දිවෙලගේ අනුදැනුම මත ඊට සුදුසු කඩදාසියක් සොයා මං එංගලන්තයට ගියා. ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ මංජුසාවක බහා අපි අලුතෙන් ඉදිවන පාර්ලිමේන්තු භූමියේ එය තැන්පත් කළා.


අද වන විට වසර 215 ක් පමණ ඉතිහාසයක් ඇති රජයේ මුද්‍රණාලය මෙන්ම මෙම ව්‍යවස්ථාවද වසර 200ක් වත් පොළව යට සුරක්ෂිතව පවතිනු ඇත. අදටත් 78 ව්‍යවස්ථාව සහමුලින් අහෝසි කර දැමීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි වී ඇත්තේ එම නිසා යැයි හැඟේ.


රජයේ විශ්වාසයත් කම්කරු ජනතාවගේ විශ්වාසයත් එකවිට දිනාගත් නෙවිල් නානායක්කාර වැනි කීර්තිමත් රජයේ නිලධාරීන්ගේ දුරදක්නා නුවණ නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය තවමත් සුරැකී පවතී.


දෙස් පාලන අණසක ළඟ තබා සිත 
නිස්කාරණේ කම්කරුවන් පෙළා නැත 
හිස් වදනින් දෝස නොහෙලූ ඔවුන් වෙත 
උස් ගුණ බොහොම විය මැතිසතු අපරිමිත


එතුමා සේවකයන් සඳහා ඇරඹූ ‘පිළිසඳර’ සඟරාවෙනි.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රජුන් ඇසුරේ කෙළින් සිටි මිනිසෙක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12103 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6800 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14487 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14844 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2762 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1880 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site