IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මධු සාදයෙන් අවසන් වූ සේවක වැඩ වර්ජනයක්

 

වැඩ වර්ජනයක් පවතින විට ඊට සභභාගි වන සියලු සේවකයන්ගේ අරමුණ වන්නේ තම ඉල්ලීම් දිනාගන්නා තුරු වර්ජනයන් අඛණ්ඩව කරගෙන යාමටය. එවැනි වැඩ වර්ජනයක් පැවැත්වෙන විට හොඳින් හෝ නරකින් සේවකයන් සේවයට කැඳවා ගැනීමට පෙලඹීම හාම්පුතුන්ගේ ස්වභාවය වේ. 


ඇතැම් විට සමහර හාම්පුතුන් වැඩ වර්ජකයන් යළි සේවයට කැඳවා ගනු ලබන්නේ ඔවුන් රැකියාවලින් එළියට දමන බවට තර්ජනය කරමිනි. එසේත් නැත්නම් වර්ජකයන් අතරින් කීප දෙනෙකුට නොයෙකුත් පඬුරු පාක්කුඩම් ලබා දී ඔවුන් තමන් වෙත නම්මා ගැනීමෙනි. කෙසේ වෙතත් වැඩ වර්ජනයක් පැවැත්වෙන අතර තුර එය අතරමඟ නතර කර ආපසු සේවයට වාර්තා කරන්නන් අතීතයේ සිටම හැඳින්වූයේ හොරිකඩයන් නමිනි. එවැනි හොරිකඩයෝ අද පමණක් නොව මීට වසර හැට හැත්තෑවකට පෙරත් ඕනෑ තරම් සිටියහ. කඩුවෙල ශ්‍රී.ල.නි.ප. සම සංවිධායකවරයා වූ ජී. එච්. බුද්ධදාසට අතීතයේ එක්තරා අවස්ථාවකදී මෙවැනි හොරිකඩයන්ගේ ගොඩට වැටීමට සිදුවී තිබුණේය. කෙසේ වෙතත් තමන් ඇතුළු පිරිසට එලෙස තමන්ගේ වැඩ වර්ජනය අතර මඟ නතර කර යළි සේවයට වාර්තා කිරීමට සිදුවූයේ එවකට පැවති පාලන අධිකාරියේ දැඩි පීඩනය මත වෙන කළ හැකි කිසිම දෙයක් නොතිබුණු නිසා බව හෙතෙම පවසයි. 1965 දී මෙරට බලයට පත්වූ එ.ජා.ප. ආණ්ඩුව එවකට ස.තො.ස. ආයතනය මගින් පවත්වා ගෙන ගිය රෙදිපිළි වෙළෙඳාම ස.තො.සෙන් ඉවත්කොට සළුසල නමින් පිහිට වූ වෙනම ආයතනයක් යටතට පත්කළේය. එවකට කොළඹ ජාවත්ත පාරේ පිහිටි ස.තො.ස. රෙදිපිළි අංශයේ සේවය කරමින් සිටි බුද්දෙලා අභිනවයෙන් පිහිටුවන ලද සළුසල ට අනුයුක්ත කෙරුණේ ඉන් අනතුරුවය. 
ආණ්ඩුව අලුතින් පිහිටුවන ලද සළුසල ආයතනයට සභාපතිවරයෙකු සහ සාමාන්‍යාධිකාරීවරයකු පත්කරනු ලැබූ අතර එම සභාපතිවරයා වූයේ හිටපු අග විනිසුරුවරයෙකුගේ සොහොයුරෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු එහි සාමාන්‍යාධිකාරී ධුරයට පත්කර තිබුණේය. 


අලුතින් පත් කළ ජී. එම්. තමන්ට හුරු පුරුදු පොලිස් පාලනයකුයි මුල ඉඳලම පවත්වාගෙන ගියේ. මිනිහ අපේ සේවකයන්ටත් හෙළා තළා කතා කෙරුවා. විශේෂයෙන්ම ස.තො.සේ ශ්‍රී.ල.නි.ප.ය. ඇතුළු වාමාංශික පක්ෂ වලට අයිති යුනියන්කාරයන් මිනිහට වහ කඳුරු වගේ. 


බුද්දේ එසේ කියන්නේ මීට පනස් වසරකටත් පෙර තමන් ස.තො.ස. ආයතනයේ සිට අභිනවයෙන් පිහිටුවන ලද සළුසලට අනුයුක්ත කෙරුණු අලුත එහි පැවැති වහල් පාලනය ගැනය. ඔහු ඒ වන විටත් ස.තො.සේ ශ්‍රී.ල.නි.ප. වෘත්තිය සමිතියේ ක්‍රියාකාරී සාමජිකයෙකු වූ හෙයින් පාලන අධිකාරියේ තමන් ඇතුළු පිරිස කුමන හෝ වරදකට පටලවා ගැනීම සඳහා කුරුමානම් අල්ලමින් සිටි බව හෙතෙම පවසයි. 


අපි ස.තො.ස. ආයතනයෙන් අයින් කරලා සළුසලට පත්කෙරුවට කලකින් අපේ පඩි වැඩි කරල තිබුණෙත් නෑ. අපට සළුසලේ වැඩ කරන්න සිද්ධ වුණෙත් දවසකට රුපියල් 1.35 පඩියට. ඒ සැරේ අපි අපේ පඩි වැඩි කර දෙන ලෙස යුනියන් එකෙන් ඉල්ලීමක් කෙරුවත් පාලන අධිකාරිය ඒ ගැන තුට්ටුවක් තරමට වත් සැලකීමක් කෙරුවේ නෑ යි කියමින් එම අතීතය ආවර්ජනය කරන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම තත්ත්වය යටතේ තමන් විසින් කුමන පියවරක් ගත යුතු දැයි තම මවු සමිතිය සමග සාකච්ඡා කළ බවය. 


වෙන කරන්නම දෙයක් නැත්නම් දින තුනකට කලින් නෝටිස් දීලා ස්ට්‍රයික් කරන්නයි මවු සමිතියෙන් ඔවුන්ට උපදෙස් ලැබුණේය. ඔව්, සහෝදරයා අපි එහෙම කරමුයි කතිකා කරගත් බුද්දෙලා තම ආයතනයේ පාලන අධිකාරියට ද කල්තියා දැනුම් දී වැඩ වර්ජනයක් අරඹන ලද්දේ දැඩි බලාපොරොත්තුවකිනි. 


මෙදා සැරේ සළුසලේ පොලිස්කාරයා එළවා දමනවා යි වහසි බස් කියමින් බුද්දෙලා ඇරඹු වැඩ වර්ජනයට සළු සලේ සේවකයන් අතරින් සියයට 90 ක් පමණ දෙනා සහභාගී වූහ. ඊට සම්බන්ධ නොවූයේ නවක සේවකයන් පමණි. 


තමුසෙලා හෙට ඉඳලා වැඩට එනවද? අපි අලුතින් සේවකයන් ගන්නද? 


වැඩ වර්ජනය කර ආයතනයේ දොරටුව අසල රැස්කරමින් සිටි වර්ජකයන් අතරට පොලිස් පිරිසක් පිරිවරාගෙන ආ සාමාන්‍යාධිකාරිවරයා තරමක උස් හඬින් ඇසුවේය. 


නෑ අපේ ඉල්ලීම් දෙනකං අපි වැඩට එන්නේ නෑ. නිල් සහ රතු කමිස වලින් සැරසී දැඩි උද්දාමයකින් පසුවූ බුද්දෙලා එසේ කීවේ තම වැඩ වර්ජනය නිසා පාලකයන්ට හොඳටම රිදී ඇතැයි සිතමිනි. ඒ වන විට ඔවුන්ගේ වැඩ වර්ජනය ආරම්භ කර දින හතක පමණ කාලයක් ගත වී තිබුණේය. 


“ආ එහෙමද එහෙම නං තමුසෙලා එළියෙම ඉන්නවා. අපි අලුත් සේවකයන් වැඩට ගත්තම තමුසෙලාට තේරේවි” යි කී සළු සලේ හිටපු පොලිස් ලොක්කා ඊළඟට කියා සිටියේ අලුතින් සේවකයන් බඳවා ගැනීම සඳහා දැනටමත් අයදුම්පත් කැඳවා ඇති බවය. කොහොම හරි ජී.එම්.කාරයා කිව්වත් වගේ සළු සලට අලුතින් සේවකයන් ගන්න ඊට පස්සෙන් දා ඉඳලම පත්තරවල දැන්වීම් දමා තිබුණා. හැබැයි එතකොට අපිට තේරුණා වැඬේ ටිකක් දුර දිග යන බව. ඒ වෙන කොට සළු සලේ පඩි දිනයත් පහුවෙලා තිබුණත් වැඩ වර්ජනය කරලා හිටපු කාටවත් පඩි දුන්නේ නෑ. දැන් අපේ සේවකයන්ගේ ගෙවල් වල අගහිඟකමුත් ඇති වෙන්න පටන් ගත්තා. ඒ අතරේ අපේ සමහරු කියන්න පටන් ගත්තා අපට රස්සාවල් නැතිකර ගන්න බෑ. ඒ නිසා අපි වැඩට යමු කියලා. 


බුද්දෙ එසේ කියන්නේ සළු සල ආයතනය පිහිටුවනු ලැබූ අලුත තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප. වෘත්තිය සමිති ක්‍රියාකාරීකයන් විසින් පවත්වන ලද සේවක වැඩ වර්ජනය පාලනාධිකාරිය මගින් දියකර හැරි අන්දම ගැනය. මේ අතර තමන් පාලනාධිකාරිය සමග සාකච්ඡාවකට කැමැති බව දැන්වීමට ආයතනය තුළට ගිය සේවක නියෝජිත පිරිසට පොලිස් පාට් දැමූ සාමාන්‍යාධිකාරිවරයා ඔවුන් එළවා දමා තිබුණේය. 


අන්තිමේදී බුද්දෙලාට සිදුවූයේ කිසිදු ඉල්ලීමක් දිනා ගත නොහැකිව යළි සේවයට වාර්තා කිරීමටය. එය නව පාලනාධිකාරිය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකූ සළු සල ලොක්කන් පිරිස අගනුවර ප්‍රධාන පෙළේ හෝටලයක මධුසාදයක් පැවැත් වූ බවද පසුව අසන්නට ලැබුණේය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මධු සාදයෙන් අවසන් වූ සේවක වැඩ වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1521 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1666 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 444 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site