IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


තිස්සගෙ කම්පාව

තිස්සගේ මතක වත-99

 

සෝභිත හාමුදුරුවො ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදියට කරු ජයසූරියගේ නම යෝජනා කරද්දී මම කිව්වා ඔබවහන්සේගේ අදහස ගැන අපිට ලොකු ගැටුමක් නෑ. ඒත් මේ ගැන පක්ෂ නායකතුමත් එක්ක සාකච්ඡා කරල තමයි තීරණයක් ගන්න වෙන්නෙ කියලා. එහෙම කතාබහ කරලා අපි උන්වහන්සේට උත්තරයක් දෙන්නම් කියලා පොරොන්දුවුණා. සෝභිත හාමුදුරුවොත් ඒකට එකඟ වුණා.


සෝභිත හාමුදුරුවො වැඩිදුරටත් කිව්වෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට හොඳට තේරුම් කරලා කියන්න ඉදිරි ජනාධිපතිවරණයේදී හැමදෙනාම එකට එකතුකර ගන්න පුළුවන් අපේක්ෂකයෙක් විදියට කරු ජයසූරිය මහත්තය තමයි ඉතාම සුදුසු පුද්ගලයා ඒක නිසා ඔහුව අපේක්ෂකත්වයට නම් කරන්න කියන්න කියලා. ඒ කතාබහ ඉවරවෙලා අපි නාග විහාරයෙන් පිටත්වෙලා ආවා.


ඊට පහුවැනිදා උදේම මම පස්වැනි පටුමගේ රනිල් වික්‍රමසිංහගෙ ගෙදරට ගියා. ගිහින් මම සියලු විස්තර රනිල්ට කිව්වා. මම කියපු විස්තර අහලා රනිල් වික්‍රමසිංහ ඒ තරම් සතුටු වුණේ නෑ. ඔහු කිව්වෙ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් මිසක් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො නොවෙයි කියලා. ඒ වගේම මේ ජනාධිපති ව්‍යාපාරයට නායකත්වය දෙන්නෙත් එක්සත් ජාතික පක්ෂය බව ඔහු මතක් කළා. මේ බව සෝභිත හාමුදුරුවන්ට දන්වන්න කියලා රනිල් වික්‍රමසිංහ මට කිව්වා.


මේ කතාවෙන් මම පත්වුණේ හරිම අපහසුතාවයකට. සෝභිත හාමුදුරුවො තමන්ගෙ ස්ථාවරයේම ඉද්දි රනිල් වික්‍රමසිංහත් මේ තරම් දැඩි තීරණයක ඉන්නකොට දෙපැත්ත බැලන්ස් කරන්න ගියපු මම තමයි අපහසුතාවට පත්වුණේ. දෙන්නම මැද තැනකට ගේන එක එච්චර ලේසි වැඩක් නොවෙයි කියලා මට තේරුණා. රනිල් වික්‍රමසිංහ නුරුස්සන ස්වරූපයෙන් කිව්වෙ මම කිව්වෙ සෝභිත හාමුදුරුවො හම්බවෙලා මම ගැන කතා කරන්න කියලා. ඒත් ඔයගොල්ලො කරු ජයසූරිය ගැනනේ කතා කරල තියෙන්නේ කියලා. ඒ කතාවෙන් මගේ හිත ගොඩක් රිදුණා. මොකද අපි රනිල් වික්‍රමසිංහ ගැන සෝභිත හාමුදුරුවන්ට කරුණු කියපු හැටි දන්නේ අපිනෙ. ඒ සිදුවීමෙන් රනිල් වික්‍රමසිංහ යම්කිසි සැකයක් ඇතිකරගත්තා. මම ඔහුව කපලා කරු ජයසූරියව ගේන්න උත්සාහ කරනවා කියලා. ඔහුට මං ගැන ඊට කලිනුත් පුංචි කහටක් ඇතිවෙලා තිබුණේ රනිල් - සජිත් ගැටුම වෙලාවෙ ඒක විසඳුමකට පත්කරන්න නියෝජ්‍ය නායකයා විදියට සජිත්ව පත්කරන්න ඕන කියල බල කරලා කියපු වෙලාවේ. මේ සිදුවීම් දෙකෙන්ම මගේ හිත ලොකු කලකිරීමකට පත්වෙලා තිබුණෙ. ඒ කොහොම වුණත් මම රනිල් වික්‍රමසිංහට කිව්වා ඔහුගෙන් පිට වෙන අපේක්ෂකයෙකුට ඒ තැන දෙන්න මම කිසිවිටෙක කටයුතු කරන්නේ නෑ කියලා. ඔහු මොන විදියට තේරුම් ගත්තත් මගේ ස්ථාවරය ඒකයි කියලා මම කිව්වා.
මේ කතාබහ අතරෙම රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක් ආවා. ඒ එක්කම රනිල් මට කිව්වා වහාම ගිහිල්ලා චන්ද්‍රිකා කුමාරතුංග හම්බවෙන්න කියලා. මගේ හිත රිදිලා තිබුණත් එවෙලෙම මම නිදහස් මාවතේ චන්ද්‍රිකාගේ ගෙදරට ගිහින් එතුමිය හමුවුණා. චන්ද්‍රිකා මගෙන් විමසුවා ඒ වෙනකොට ඇතිවෙලා තිබුණු අලුත්ම තත්ත්වයේ විස්තර කොහොමද කියලා. ජනාධිපතිවරණයට තියෙන සූදානම ගැන මම එතුමියට තොරතුරු කිව්වා. එතුමියත් විවිධ යෝජනා කළා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා.


මේ කතාබහේදී තමයි චන්ද්‍රිකා කුමාරතුංග මට මුලින්ම කියා හිටියේ මෛත්‍රීපාල සිරිසේන තවත් තිස්පහක් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අතඇරලා එන්න සූදානමක් තියෙනවා කියලා. එතුමිය කිව්වා මෛත්‍රී එහෙම එළියට ආවම ඔයගොල්ලො එයාව බාරඅරගෙන වැඩ කරන්න කියලා. ඒ වගේම එතුමිය මට කිව්වා එක පොරොන්දුවක් වෙන්න කියලා. මෛත්‍රී පක්ෂය කඩාගෙන ආවම එයා සුදුසු තැනක තියන්න ඕනෑ නිසා එයාට අගමැති තනතුර දෙනවා කියලා ඔයාල මට පොරොන්දු වෙන්න ඕන කියලා චන්ද්‍රිකා මගෙන් ඉල්ලුවා. ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයට දෙනවා නම් මෛත්‍රීට අගමැතිකම දෙන එක ප්‍රශ්නයක් නෑ කියල මමත් කිව්වා. එහෙනම් ප්‍රශ්නයක් නෑ ඔය විදියට මේ සාකච්ඡා ඉදිරියට අරගෙන යමු කියලා එතුමිය කිව්වා. එතනින් ඒ සාකච්ඡාව ඉවර වුණා.

 

තව කොටසක් ලබන සතියේ.



ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

තිස්සගෙ කම්පාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 525 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17226 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 695 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site