IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


චන්ද්‍රිකා වෙනුවෙන් දිමු බෙල්ල දෙයි

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සහ විජය කුමාරතුංග මහතා ඇතුළු පිරිසක් 1980 දශකයේ මැද භාගය පමණ වන විට අනුරලා සමඟ මත ගැටුමක් ඇති කරගෙන ශ්‍රී.ල.නි.ප.යෙන් වෙන්වී ගොස් ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවාගෙන තිබුණහ. එහෙත් විජයගේ ඝාතනයෙන් පසු චන්ද්‍රිකා මැතිනිය පක්ෂය තුළ හුදකලා වූවාය. විශේෂයෙන්ම ඒ සඳහා බලපෑවේ මහජන පක්ෂයේ ප්‍රබලයෙකු වූ ඔසී අබේගුණසේකර එ.ජා.ප.යේ. ප්‍රේමදාස කණ්ඩායම සමග ඇගෑළුම්කම් පෑමය. 

අනතුරුව චන්ද්‍රිකා මැතිනිය තම දරු දෙදෙනා ද සමඟ එංගලන්තයට ගොස් ලන්ඩන් නගරයේ තාවකාලිකව පදිංචි වූවාය. එම කාලය තුළ මහජන පක්ෂය දෙකඩවී ගිය අතර රාජිත සේනාරත්නලා ඇතුළු පිරිසක් එරටට ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ආරාධනා කළහ. චන්ද්‍රිකා මැතිනිය රාජිත සේනාරත්න මහතා ඇතුළු කීප දෙනෙකු සමග බහුජන නිදහස් පෙරමුණ නමැති දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තිබුණත් එහි ආයුෂ ද කෙටි කාලයකට සිමා විය. එහි ඊළඟ ප්‍රතිඵලය වුයේ චන්ද්‍රිකා මැතිනිය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී මධ්‍යස්ථව සිටීමට පෙලඹී යාමයි.


මේ කාලයේ ඇය පදිංචිව සිටියේ මැතිනියගේ රොස්මිඞ් මන්දිරය අසලම විජේරාම මාවතට යාබදව ඉදිකර තිබූ චන්ද්‍රිකාගේ නිවසේය. ඒ වනවිට ඇය ශ්‍රී.ල.නි.ප.ය. සමග කිසිදු සම්බන්ධතාවක් නොපවැත්වුවද එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් දෙපළක් වූ මංගල සමරවීර සහ එස්. බී. දිසානායක නිතරම පාහේ චන්ද්‍රිකා මැතිනියගේ නිවසට ගොස් කතා බස් කරමින් සිටින බව ප්‍රසිද්ධ රහසක් විය. 


ආ. ඔය ගොල්ලො දැන් නිතර නිතර චන්ද්‍රිකා හම්බ වෙන්න යනවා කියලා ආරංචියි. කී අනුර බණ්ඩාරනායක ඒ ගැන වහෙන් ඔරෝ බසින් තම අප්‍රසාදය කීප විටක්ම පළ කර තිබුණේය. 


මේ දවස්වල චන්ද්‍රිකා අම්මා මුණ ගැහෙන්න රොස්මිඞ් මැඳුරට ආවා ගියා. එහෙම ආපුවහම නොයෙක් දේ ගැන දෙන්න කතා බහ කෙරුවත් දේශපාලනේ ගැන කතා කරනවා නම් අපට ඇහිල නෑ. හැබැයි නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න චන්ද්‍රිකා මැතිනිය යම් කැමැත්තක් තිබුණ බවත් අපට පෙනුණෙ නෑ. මංගලයි එස්.බී.යි. තමයි ඒ ගැන අදහස එතුමියගේ හිතට දාලා තියෙන්නේ. හැබැයි අනුර හිටියේ චන්ද්‍රිකා එක්ක තරහින්. සමහරවිට අනුර බය වෙන්න ඇති චන්ද්‍රිකා පක්ෂයට ගත්තොත් පක්ෂයේ බලය අල්ලයි කියලා.. එසේ කියමින් එම මුල් යුගයේ විවිධ සිදුවීම් ආවර්ජනය කරන දිමු වැඩි දුරටත් සඳහන් කරන්නේ එම ප්‍රශ්නයේදී අනුරගේ පැත්ත ගත් සිරිමාවෝ මැතිනිය තම බාල දියණිය යළි ශ්‍රී.ල.නි.පයට වැද්ද ගැනීම සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස විරුද්ධ වු බවය. විශේෂයෙන්ම මැතිනිය ඊට විරුද්ධවූයේ අනුර තම සහෝදරිය ගැන තරහින් පසු වන බව දැන සිටි නිසා යැයි දිමු හොඳින් දැන සිටියේය. 


ඒ වෙනකොට 1989 මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප.යට. ආසන 67 ක් ලැබී තිබුණා. හැබැයි චන්ද්‍රිකා වගේ ජනතාව අතර ජනප්‍රිය චරිතයක් අපි අතරෙ හිටියනං අපට ඊටත් වඩා ආසන දිනා ගන්න පුළුවන් බව අපි දැනගෙන හිටියා. ඒත් අනුරගෙයි මැතිනියගෙයි විරුද්ධත්වය මත ඒ ගැන අපටත් කරන්න දෙයක් තිබුණෙන් නෑ යි කියන දිමු දිනක් අනුර හමු වීමට ගොස් ඒ ගැන ඔහුගෙන් කෙළින්ම ඇසුවේය. 


වැඩක් නෑ. අනික එයා ආවයි කියලා මොනවා කරන්නද? යි ඇසූ අනුර, හොඳයි අපි අම්මගෙනුත් අහල බලමු යි කීවේ මුණ ඉච්ඡාවටය. 


කෙසේ වෙතත් දිමුගෙත්, ධර්මසිරි සේනානායකගේත් බල කිරීම මත චන්ද්‍රිකා යළි පක්ෂයට ගැනීමට සිරිමාවෝ මැතිනිය එකඟ වූවාය. ඇය එවැනි තීරණයක් ගෙන තිබුණේ විශේෂයෙන්ම සුනේත්‍රා මැතිනියගේ පෙලඹවීම මත බව දිමුලාට රහසක් නොවීය. 


හැබැයි එයත් එන්න ඕනෑ අනුර වගේ රුපියල් පහක් ගෙවලා අලුත් සාමාජිකත්වයක් අරගෙන තමයි. 


එතුමිය එසේ කියන්නට ඇත්තේ විශේෂයෙන්ම අනුරගේ සිත සැනසීමේ අදහසින් බව දිමු දැන සිටියේය. මුලින් චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්ව අයදුම්පත අනුමත නොකළ ඇය පසුව ඊට අත්සන් කර තිබුණේ පක්ෂයට ළැදි බොහෝ දෙනෙකු විසින් කරුණු පහදා දීමෙන් පසුවය. 


කෙසේ වෙතත් තමන්ගේ අකමැත්ත නොසලකා චන්ද්‍රිකා මැතිනිය යළි ශ්‍රී.ල.නි.ප.යට. වැද්දා ගැනීම ගැන කලකිරුණු අනුර ඊට සතියකට පමණ පසු එ.ජා.ප. ආණ්ඩුවට එක්වී උසස් අධ්‍යාපන ඇමැති ධුරය භාර ගෙන තිබුණේය. ඔහු සමග තවත් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් හත්දෙනෙක් ද පක්ෂය අතහැර එ.ජා.ප.යට එකතුවී සිටියහ.


ඒ වන විට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීම නිසා අගමැති ධුරය ඉසිලූ ඩී. බී. විජේතුංග මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටියේය. දෙවැනි පළාත් සභා මැතිවරණය ද මේ කාලයේ ළඟ ළඟම එමින් තිබුණේය. 


නරක ද මැඩම් අපේ චන්ද්‍රිකා මැතිනිය බස්නාහිර පළාතේ මහ ඇමැති අපේක්ෂිකාව විදියට දැම්මොත්...


දිමුත්, එවකට පක්ෂයේ මහලේකම්වරයාව සිටි ධර්මසිරි සේනානායක මහතාත් මැතිනියගේ හොඳ වේලාවක් බලා එසේ කීවේ නිකමට මෙන් සිතට ආ අදහසක් අනුවය. 


දිමුලට පිස්සුද? යි ඇස් ලොකු කරගෙන ඇසූ මැතිනියි කිංස්ලි වික්‍රමරත්න ජිනදාස නියතපාල හෝ ඒ. එච්. එම්. ෆවුසි යන තිදෙනාගෙන් එක් අයකු ඒ සඳහා නම් කරන්නැයි කීවාය. මැතිනිය ඒ ගැන ෆවුසි මහතාට කියා තිබුණෙත් ඔහු දිනකට තුන් හතර වතාවක් තමන්ට කථා කර වැඬේ හරිදැයි ඇසු බව දිමුට මතකය. 


මේ කාලයේ සිරිමාවෝ මැතිනිය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා සුනේත්‍රා දියණිය ද සමග විදේශගතව සිටියාය. ඒ වන විට අභිනවයෙන් පිහිටුවා තිබු පොදු ජන එක්සත් පෙරමුණු සන්ධානයේ මහලේකම් ධුරය දිමු වෙත පැවරී තිබුණෙන් මැතිනිය දිනකට එක් වතාවක් වත් ඔහුට කතා කර තොරතුරු විමසීමට පුරුදුවී සිටියාය. 


ඒ වනවිට බොහෝ පළාත්වල පොදු පෙරමුණේ පළාත් සභා අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන්වී තිබුණු අතර ඉතිරිවී තිබුණේ කොළඹ, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුන පමණි. 

මට මතක හැටියට හැටන් පැත්තේ නගර සභාවක හිටපු එ.ජා.ප. සභාපති කෙනෙක් ඒ දවස්වල අපේ පැත්තට ඇවිත් හිටියා. අපි පොදු පෙරමුණ කණ්ඩායමේ නුවරඑළිය දිස්ත්‍රික් නායකත්වය දෙන්න තීරණය කර තිබුණේ එයාටයි. ඒත් එස්. බී. දිසානායකයි. කුමාර දසනායකයි. දැඩිලෙස කියා තිබුණේ දිස්ත්‍රික් නායකත්වය වෙන කාට ද දෙන්න කියලයි. මේ ගැන දෙපාර්ශ්වය අතරේ ලොකු කඹ ඇදිල්ලක් තිබුණා. ඔන්න දවසක් මම හවස 6.00 ට විතර විපක්ෂ නායක කාර්යාලයේ අපේක්ෂක ලැයිස්තු හද හදා ඉන්නකොට අර කට්ටියක් බස් තුන හතරකින් සෙනඟ තුන්හාර සීයක් එක්කරගෙන ඇවිත් විපක්ෂ නායක කාර්යාලයට ඇතුළු වෙන්න හැදුවම මම සේවකයන්ට කිව්වා ගේට්ටුව වහන්න කියලා. දැන් අර මිනිස්සු ගේට්ටුවට පිටින් ඉඳගෙන කෑ කෝ ගහනවා. ඔන්න එතකොටමත් වගේ මැතිනිය  පිටරටක ඉඳලා මට කතා කෙරුවායි කියන ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එලෙස කෑ කෝ ගසන්නේ කවුරුන් දැයි එතුමිය තමන්ගෙන් විමසු බවය. මැතිනිය එසේ විමසද්දී පිටත සිටි පිරිස ගේට්ටුවට ගසමින් කෑ කෝ ගසන හඬ එතුමියට ඇසී ඇතැයි ඔහු නිසැකවම දැන ගත්තේය. ඒ සමගම එක්තරා අදහසක් ඔහුගේ සිතට ගලා ආවේ නිමේෂයකිනි. 


අනේ ඔව් මැඩම් මේ අත්තනගල්ලේ කට්ටියක් බස් හතර පහකින් ඇවිත් විපක්ෂ නායක කාර්යාලය වට කරලා දොර කඩන්න හදනවා චන්ද්‍රිකා මැතිනියට නොමිනේෂන් දෙන්න කියලායි කී දිමු එක්කෝ මං එයාලට කියන්නද මට ඒවා කියලා වඩක් නෑ. ලබන සතියෙ මැඩම් එනකොට එයාපෝට් එකට ගිහින් ඔබතුමියට කියන්නය කියලා යි විහිළුවට මෙන් ඇසුවේය. ඔහුගේ ඒ කතාව ඇසුවිට මැතිනිය තවත් කලබල වූවාය. 
එපා එපා එහෙම කියන්න ඕන නැහැ. ඔය මිනිස්සු එයාපෝට් එකට ඇවිත් කලබල කරන කොට අපට ඉන්න මිනිස්සුන් නැති වේවි යි කී එතුමිය කවුද ඔය අත්තනගල්ලෙන් ඇවිත් ඉන්නවයි කියන්නේ යි කියමින් මඳක් කල්පනා කළාය. අත්තනගල්ලෙ එයාට කවුරුවත් නෑ. එහෙම නං ඌරාපොළ පැත්තෙ අය වෙන්න ඇති. 


මොකද්ද මැඩම් මං දැන් කරන්නේ? 


ඔහු එසේ ඇසුවේ නුවරඑළියේ සිට පැමිණ විපක්ෂ නායක කාර්යාලය අසට කෑ කෝ ගසමින් සිටි පිරිසගේ පිට දමා හෝ මැතිනියගෙන් චන්ද්‍රිකාට බුරුලක් ලබා දීමේ අදහසිනි. විශේෂයෙන්ම කලින් දා රෑත් චන්ද්‍රිකා එස් බී සහ මංගල සමඟ තම නිවසට පැමිණ තම මෑණියන්ගෙන් ගම්පහට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඒ වන විටත් දිමුගේ මතකයේ රැඳී තිබුණේය. කෙසේ වෙතත් අන්තිමේදී මැතිනිය තරමක් මෙල්ල වූ අතර එහෙම නං ඔන්න එයාටත් නොමිනේෂන් දීලා දාන්නැයි කියා සිටියේ කපන්න බැරි අත ඉඹින්නාක් මෙනි. 


හරි මැඩම් මම එහෙම කරන්නං යි කියමින් රිසීවරය ආපසු තැබු ඔහු මුලින්ම කළේ ඇඳ සිටි සුදු සරමත් මඳක් ඉහළට ගන්නාගෙන එළියට බැස එහි කෑ කෝ ගසමින් සිටි පිරිස එම ස්ථානයෙන් පන්නා දැමීමය. අනතුරුව චන්ද්‍රිකා මැතිනියට දුරකථන ඇමතුමක් දුන් දිමු වහාම පැමිණ නාම යෝජනා ලැයිස්තුවට අත්සන් කරන ලෙස දැනුම් දුන්නේ දිස්ත්‍රික් අපේක්ෂකත්වයට කවුරුන් නම් කරන්නේ දැයි දැනට තීරණය කර නැතැයි කියමිනි. අන්තිමේදී බස්නාහිර පළාතේ මහ ඇමැතිනිය වශයෙන් පත්වෙමින් දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනකට මුල පිරීමට ඇය සමත් වූවාය.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

චන්ද්‍රිකා වෙනුවෙන් දිමු බෙල්ල දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site