IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ගාමිණීගේ රහස් වැඩ

 

1993 පැවැති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත් වූවේ හිටපු ඇමැතිවරයෙකු වූ ගාමිණී දිසානායක මහතා ය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ලලිත් ඇතුළත් මුදලි සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කීප දෙනෙකු සමග දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හේතුව මත ඔහු ඒ වන විට එ.ජා.ප. -යෙන් පමණක් නොව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයෙන් පවා නෙරපා හැර තිබුණේය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවර එම ඡන්දයට ඉදිරිපත් වූයේ ල.ස.ස.ප.ය. සහ කො.ප.ය. ඇතුළු පක්ෂ කීපයක් සමග සන්ධානගතව පොදු ජන එක්සත් පෙරමුණ වශයෙනි. ගාමිණීලාගේ ප්‍ර.එ.ජා.පෙ.ට කැඩී යන්නේ එ.ජා.ප. ඡන්ද බව දැන සිටි ශ්‍රී.ල.නි.ප.ය ප්‍රධාන පොදු පෙරමුණු සන්ධානය එවර මධ්‍යම පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීමේ අරමුණින් තරග කළ ද එම මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ එ.ජා.ප.ය. විසිනි. 


මේ අතර ලේසියෙන් පරාජය පිළිගැනීමට අකමැති වූ ගාමිණී දිසානායක එවකට පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම්වරයා වූ දි. මු. ජයරත්න මහතා හමු වී අලුත් යෝජනාවක් කළේය. 


“දිමු මෙදා සැරේ ඡන්දෙන් යු.එන්.පී. එක වැඩිපුර ආසන ගණනක් අරගෙන තිබුණට අපේ පක්ෂ දෙක එකතු වුණොත් අපට පුළුවන් පාලන බලය අපේ අතට ගන්න.” 


ඊට එකවර පිළිතුරක් නොදී මඳක් සිතා බැලු දිමුට පෙනී ගියේ ඒ අදහසත් නරක නැති බවය. 


හරි එහෙම වුණොත් මහ ඇමැතිකම ගාමිණී ගන්න. හැබැයි වැඩි ඇමැති ධුර ගණනක් අපට ඕනෑ යි කියමින් දිමු ඉදිරිපත් කළ කොන්දේසියට ගාමිණී එකඟත්වය පළ කළෙන් ඊළඟ මොහොතේ සිට මෙහෙයුම් ඇරඹුණේ ඉතාමත් රහසිගතවය. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කයට වී තිබුණේ එවර පොදු ජන එක්සත් පෙරමුණෙන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් පළාත් සභාවලට පත් වී සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍ර.එ.ජා.පෙ.න් පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් බහුතරය පෙන්වා පළාත් සභාවේ මංගල රැස්වීමේදීම පාලන බලය ලබා ගැනීමය. ඒඅනුව එකී කණ්ඩායම් තුනට අයත් මන්ත්‍රීවරුන් මුල්ගම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවසකට කැඳවූ ගාමිණී සහ දිමු තමන්ගේ අරමුණ කුමක් දැයි එම පිරිසට අවබෝධ කර දුන්නේ සිත් ඇද ගන්නා අයුරිනි. 


දැන් ඔන්න හෙට තමයි පළාත් සභාවේ මංගල රැස්වීම පැවැත්වෙන්නේ. අපේ පක්ෂයේ කට්ටිය ගැන බලා ගන්න එක ගාමිණී මට පවරලා තිබුණා. හැබැයි ගාමිණීගේ හිතේ පොඩි සැකයකුත් තිබුණා. අපේ පැත්තේ බහුතරය පෙන්වනකං මේ කට්ටිය එකට තියා ගන්න පුළුවන් වෙයි ද කියලා යි කියමින් ඒ සඳහා සිදු කරන ලද විශේෂ මෙහෙයුම ගැන ආවර්ජනය කරන දිමු වැඩි දුරටත් සඳහන් කරන්නේ තමන් එම මන්ත්‍රී කණ්ඩායම ප්‍රදේශයේ එක්තරා වන බංගලාවකට කැඳවාගෙන ගොස් වටිනා සැර බීම සහ රසමසවුලින් සපිරි ඉහළම පෙළේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් වූ බවය. ගන්න සහෝදරයා ගන්න යි කියමින්තම සගයන්ට පෙරැත්ත කරමින් රට බීම වලින් සංග්‍රහ කළ හෙතෙම එම මත් පැන් බිඳක් වත් තොල නොගා සිටීමට තරම් ප්‍රවේසම් වූවේය. 


කොහොම හරි සංග්‍රහය ඉවර වෙන කොට රෑ දොළහත් පහු වෙලා. ඒ සැරේ මම කිව්වා එහෙමනං අද රෑ මෙහේ නතර වෙලා හෙට උදේ කෙළින්ම මංගල රැස්වීමට යමුය කියලා. ගාමිණී ඒ වෙන විට කාටත් කට්ටියට නිදා ගන්න තැනකුත් සූදානම් කරලයි තිබුණේ. දැන් මමත් ඒ අය එක්කම කාමරේට ගිහින් දොර ලොක් කරලා යතුර සාක්කුවේ දමා ගත්තා. ඔහු සඳහන් කරන අන්දමට ඒ අතර සිටි ඇතැමෙක් ඇඳට වැටුණ විගස නින්දට ගියහ. තවත් සමහරු ඔවුනොවුන් හා උස් හඬින් කතා කරමින් දොඩමළු වී සිටියහ. මේ අතර දිමු තම ඇඳෙහි දිගා වී පිරිස දෙස විමසිල්ලෙන් බලා සිටියේය. 


දැන් ඔන්න පුත්‍රසිගාමනී පාන්දර හතරට විතර මගේ ළඟට ඇවිත් කියනවා ගෙදර යන්න ඕනෑ කියලා. ඒ සැරේ තවත් දෙතුන් දෙනෙක්ම ඇවිත් ඒ විදියටම කිව්වා. එතකොට මට තේරුණා මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙන බව. ඒ සැරේ මම කාමරේ දොර ළඟට ගිහින් දොරට හේත්තු වෙලා කිව්වා හෙට රැස්වීම ඉවර වෙනකං කවුරුවත් ගෙවල්වලට යන්න හිතන්න එපයි කියලා. 


දි. මු. එසේ කියන ගමන්ම තමන් ඇඳ සිටි කමිසය මඳක් ඉහළට ඔසවා ඉණේ ගසාගෙන තිබූ උණ්ඩ පිරවූ රිවෝල්වරය එම පිරිසට පෙනෙන්නට සැලැස්වුවේය. ඉන් පසු එහි සිටි කිසිවකු හෝ ගෙදර යාමට අවශ්‍ය යැයි නොපැවසූ බව හෙතෙම පැවසීය. 


පසුදා උදෑසන වන විට පිරිසගේ උදේ ආහාරය ද සමග සුඛෝපභෝගී බස් රියක් ගාමිණී එහි එවා තිබුණේය. ඒ අනුව මුහුණකට සෝදා ගත් මන්ත්‍රීවරුන් පිරිස උදෑසන ආහාර වේල ද බුක්ති විඳීමෙන් පසු ගෙදර දොරකඩ අසලටම ගෙනැවුත් නතර කර තිබූ සුඛෝපභෝගී බස් රියට ගොඩ වැදුණේ දිමුගේ විධානයට අනුවය. 


එම බස් රියේ දොරටු දෙකක් තිබුණද එහි පසු පස දොරටුව වසා අඟුලු දමා තිබුණේය. බිම සිටි සියලුම දෙනා බස් රියට ගොඩ වන තුරු බලා හුන් දිමු අන්තිමට එහි නැග ඉණෙහි ගසා ගෙන තිබු රිවොල්වරය සුරතට ගත්තේය. 


දැන් මට හිතුණා මේ සිද්ධිය ගැන ආරංචි වෙලා යූ.ඇන්.පී. එක මැරයන් දමලා අතර මඟ දී කලබලයක් කරන්නත් බැරි නෑ කියලා. ඒ සැරේ අපි ආපු පාරෙන් නොගිහින් ටිකක් දුර පාරකින් යමුය කියලා මම රියැදුරාට කිව්වා. කොහොම හරි ටිකක් දුර පාරකින් අපි පළාත් සභාව ළඟට යන කොට ගාමිණීලා හොඳටම බය වෙලා. වාහන දෙකතුනක් මඟට පිටත් කරලත් තිබුණා. ඒ සැරේ මම අපේ කට්ටිය ගාමිණීට බාර දීලා ළඟ පාත දන්න කියන ගෙදරකට ගිහින් මූණ එහෙමත් හෝදගෙන ඇඳුම් මාරු කර ගත්තා. 


දිමු කියන අන්දමට එදින පැවති මංගල රැස්වීමේදී තම බහුතරය පෙන්වා පළාත් සභාවේ පාලන බලය ඩැහැගැනීමට ගාමිණීලාට නොහැකි විය. එසේ වූයේ එවර පළාත් සභාවට එ.ජා.ප.යෙන් පත් වී සිටි සරත් කෝන්ගහගේ මන්ත්‍රීවරයා විසින් මතුකළ රීති ප්‍රශ්නයක් නිසා එදින අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවූ බැවිනි. 


“හැබැයි ඊළඟ රැස්වීම පැවැත්වෙන දිනයටත් කලින්ම ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ අත හැර එ.ජා.ප.යට. ගිහින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වී ආණ්ඩුවේ ඇමැතිකමක් අරගෙන හිටපු නිසා මධ්‍යම පළාත් සභාවේ පාලන බලය ඩැහැ ගැනීමේ මෙහෙයුම ඉබේටම නතර වුණා”යි කියන දි. මු. ජයරත්න මහතා එම සිද්ධිය ගැන ආවර්ජනය කරමින් අදටත් සිනාසෙන්නේ දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නොමැති බව සඳහන් කරමිනි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ගාමිණීගේ රහස් වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 543 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17307 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site