IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කියුබාවේ නව සුක්කානම

කියුබාව නම් කස්ත්‍රෝලාය. කස්ත්‍රෝලා නම් කියුබාවය. මේ අපූරු ගැළපීම දශක පහකට පෙර ඇතිවූවති. කියුබානු විප්ලවයේ වීරයා වන ෆිදෙල් කස්ත්‍රෝ සහ රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාව බාර ගන්නේ කවුරුන්දැයි යන්න දශක ගණනාවක් තිස්සේ ප්‍රශ්නාර්ථයක් වී තිබුණි. දැන් ඒ ගැටලුව විසඳී අවසානය. එය විසඳෙන්නේ 1960 වසරේ අප්‍රේල් 20 වැනිදා උපන් 57 හැවිරිදි මිගුවෙල් ඩියෑස් කැනෙල් එහි ජනාධිපති ධූරයට ජනතා වරමෙන් තේරී පත්වීමත් සමඟය.

මිගුවෙල් කියුබාවේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර, එරට උප ජනපති ධුරය හෙබවීය. ඒ, පසුගිය පස් වසරක කාලය පුරාවටය. වැඩි ප්‍රසිද්ධියක් නැතත්, වත්මන් කියුබානු දේශපාලන කරළියේ කැපී පෙනෙන කෘතහස්ත චරිතයක් ලෙස මිගුවෙල් ජනතා බුහුමනට පත්ව සිටියේය.


ඉකුත් අප්‍රේල් 19 වැනිදා ඔහු කියුබාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ කස්ත්‍රෝ නම වාසගමට නැති පළමු ජනාධිපතිවරයා ලෙසිනි. ඒ, 2008 වසරේ සිට එරට ජනපති ධුරයේ සිටි අසූ හත්හැවිරිදි රාවුල් කස්ත්‍රෝ එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ කරළියට පැමිණෙන මිගුවෙල්ට කස්ත්‍රෝ පවුලේ ආශිර්වාදය නොඅඩුව ලැබෙමින් පවතී. හිටපු ජනපති රාවුල්ට කියුබාවේ ජනාධිපති ධුරය හිමිවූයේ වැඩිමල් සොහොයුරු ෆිදෙල් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුණු අවස්ථාවකය. විප්ලවීය නායක ෆිදෙල් අභාවප්‍රාප්ත වූයේ 2016 වසරේදීය. ඒ වනවිට ඔහු 90 වියෙහි පසුවිය.


ජනපති ධුරයෙන් ඉවත් වුවත්, රාවුල් කස්ත්‍රෝ සෙවණැල්ලක් ලෙස තව දුරටත් මිගුවෙල් පසුපස සිටිනු ඇත. හේතුව, ජනපති මිගුවෙල්ට වගඋත්තර බැඳීමට සිදුවන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂයට වීමත්, රාවුල් 2021 තෙක් කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරය දැරීමත් නිසාය.


එහෙයින්, තීන්දු තීරණ ගැනීම මිගුවෙල්ට තනිවම කළ නොහැකිය. ඒ රාජ්‍යයේ ප්‍රතිපත්ති සකස් කිරීම තවදුරටත් සිදුවනු ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය සහ එහි ජ්‍යෙෂ්ඨයන් හරහා සිදුවීමෙනි. එහෙයින් කස්ත්‍රෝ වාසගම නැති මිගුවෙල්, ජනපති ධුරයට පත් වුණු සැණින් කියුබාවේ මහා පරිමාණයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි යැයි ප්‍රවීණ ලෝක දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


කෙසේ නමුත් කියුබාවට නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබේ. මේ වනවිට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින කියුබාවේ නව ජනාධිපති මිගුවෙල් හමුවේ තවත් අභියෝග රැසක් ඇත. ඒ අතරින්, පළමු මෙන්ම ප්‍රධානතම අභියෝගය නම් කියුබාවේ කඩා වැටී ඇති ආර්ථිකය පණ ගැන්වීමයි. ඊට අමතරව කියුබාවේ විරැකියාව ද ඉහවහා ගොසිනි. කියුබාවේ පවතින්නේ ද්විත්ව මුදල් පද්ධතියකි. එයින් එකක් දේශීය ගනුදෙනු සඳහා වන අතර අනෙක විදෙස් ගනුදෙනු සහ සංචාරයකන් වෙනුවෙනි. මෙම මුදල් ගනුදෙනු ක්‍රම දෙක එක් කළොත් ආනයනික භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.


සුදුස්සෙකුට ජනපති ධුරය පිරිනමමින්, 2018 වසරේ දී තමන් ධුරයෙන් ඉවත්වෙන බව රාවුල් කස්ත්‍රෝ නිවේදනය කළේ ඉකුත් වසරේය. ඒ වනවිටත් රාවුල් කස්ත්‍රෝ නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබුණි. පෞද්ගලික අංශයේ ගොවීන් වෙනුවෙන් නව කෘෂිකර්ම වැඩපිළිවෙළක් ඔහු හඳුන්වා දී ක්‍රියාවට නැංවීය. ඒ, 2008 වසරේදීය. 2010 දී, කියුබානුවන්ට ඔවුන්ගේම කියා පෞද්ගලික ව්‍යාපාර පිහිටුවා ගැනීමට ඉඩ දුන්නේය. 2011 දී,  කියුබානුවන්ට ඔවුන්ගේ නිවාස විකිණීමට සහ මිලදී ගැනීමට නිවාස වෙළෙඳපොළක් පිහිටුවීය. 2013 වසරේ දී, රාවුල් කස්ත්‍රෝ මැදිහත් වී, කියුබානුවන්ට අන්තර් ජාලය වඩාත් සමීප කිරීමේ අරමුණින්, නොමිලේ වයි ෆයි කලාප පිහිටුවීය. කෙසේ නමුත් රාවුල් කස්ත්‍රෝ හඳුන්වා දුන් එම ප්‍රතිසංස්කරණ මගින් කියුබාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


2014 වසරේ දී දෛවෝපගත හමුවක් පැවැත්විණි. එම හමුවට පෙරමඟ සකස් කළේ ද ෆිදෙල් කස්ත්‍රෝ සේම තවත් අසහාය ජනතා වීරයෙකි. ඒ, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. මැන්ඩෙලා අභාවප්‍රාප්ත වූයේ 2014 වසරේදී ය. ඔහුට අවසන් ගෞරව දැක්වීමට ෆිදෙල් කස්ත්‍රෝ අවශ්‍යවී තිබුණ ද අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවුණු බැවින් එය කළ නොහැකි විය. ඒ අනුව, කියුබානු ජනාධිපති ලෙස රාවුල් දකුණු අප්‍රිකාවට ගියේය.


ඇමෙරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණ සිටියේය. ඒ, බැරැක් ඔබාමා ය. ඔබාමා සහ රාවුල් කස්ත්‍රෝ ඉතා සමීපව සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.


මාස කිහිපයක් යද්දී, ඔබාමාගේ මැදිහත් වීමෙන් දශක පහකට ආසන්න කාලයක් තිස්සේ නවතා දැමුණු ඇමෙරිකා ‐කියුබා සබඳතා යළි අලුත් විය. ඇමෙරිකා තානාපති කාර්යාලයක් හවානා නුවර දී පිහිටුවනු ලැබීය. ඇමෙරිකන් සමාගම් කියුබාවේ ආයෝජනවලට යොමු විය. හොලිවුඞ් චිත්‍රපට කියුබාවේ රූගත කෙරුණි. ඇමෙරිකන් සංචාරක නැව් කියුබාවට පැමිණෙන්නට විය. කියුබා ඇමෙරිකා මගී ගුවන් සේවා ඇරැඹිමද විශේෂත්වයකි.


හිටපු ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා, බිරිඳ මිෂෙල් දියණියන් දෙදෙනා සමඟ කියුබාවේ සංචාරය කළේ කියුබාවට පැමිණි පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසිනි. ෆිදෙල් කස්ත්‍රෝ, ඔබාමා පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ද, රාවුල් කස්ත්‍රෝ ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.


එම සංචාරයෙන් පසු ඇමෙරිකාව කියුබාවට පනවා ඇති රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කළේය. කෙසේ නමුත්, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු ඒ සියල්ල වෙනස් විය. කියුබාවට පනවා ඇති සම්බාධක ලිහිල් නොකිරීමට ට්‍රම්ප් තීරණය කළේය. කියුබාව දෙස ට්‍රම්ප් බලන්නේ වපර ඇසකිනි. යම් හෙයකින්, ට්‍රම්ප් මෙම තීරණය නොගත්තේ නම්, මිගුවෙල් වෙනුවට වෙනත් අයෙකු අද කියුබාවේ ජනාධිපතිවරයා වීමට ද ඉඩ ඇත. කියුබා ජනාධිපති මිගුවෙල් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ හිතවත්කම් කෙසේ වේවිදැයි යන්න අවිනිශ්චිතය.


මිගුවෙල් ඩියෑස් කැනැල් ජනපති ධුරයට පත් වූයේ කියුබා ජාතික මන්ත්‍රණ සභාවේ ඒකමතික තීරණයට අනුවය. මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් 605 දෙනකු සිටින අතර, ඔවුන් හැමෝම මිගුවෙල් ජනපති ධුරයට සුදුස්සා යැයි ඒකමතිකව තීරණය කළේ යැයි වාර්තා වේ. ඒ අනුව මිගුවෙල්ට වෙන කිසිම අභියෝගයක් එල්ල වූයේ ද නැත. ධනපති ක්‍රමය යළි කියුබාවේ ස්ථාපිත වේවි යැයි කවුරුන් හෝ සිතනවා නම් ඒක වැරදියි. ඒක එහෙම වෙන්නේ නැහැ. වෙන්න ඉඩ දෙන්නේ නැහැ” යැයි ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ දේශනයේ දී මිගුවෙල් අවධාරණය කළේය. කියුබානු විප්ලවය අවසන් නොවනු ඇති බව ද නව ජනාධිපති මිගුවෙල් වැඩි දුරටත් කියා සිටියේය.


1959 වසරේ දී ඇමෙරිකන් හිතවාදී, බැටිස්ටා පාලනය පෙරළා දමා, කියුබානු විප්ලවය මෙහෙයවමින් ජනතාවගේ වීරයා බවට පත් වුණු ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම විප්ලවයට සම්බන්ධ රාවුල් කස්ත්‍රෝ ගැන මිගුවෙල් තුළ ඇත්තේ ගෞරවයකි. මිගුවෙල් උපත ලැබුවේ කියුබානු විප්ලවයෙන් පසු වුවත් කියුබානු විප්ලවය ගැන ඔහුට ඇත්තේ ලොකු පැහැදීමකි. ඔහු රාවුල් කස්ත්‍රෝවගේ දකුණු අත ලෙස සැලකෙන්නේ ද එහෙයිනි. 
මිගුවෙල් විදුලි ඉන්ජිනේරුවෙකි. එපමණක් නොව ගුරුවරයකු ලෙස ද කටයුතු කර ඇත. සිය පෞද්ගලික ජීවිතය ගැන අඩුවෙන් කතා කරනා මිගුවෙල් දෙවරක් විවාහ වූ අයෙක් වන අතර මාර්තා නැමැත්තිය සමඟ සිදුවූ සිය පළමු විවාහයෙන් දරුවෝ දෙදෙනෙක්ද වෙති. වර්තමානයේ ඔහු දෙවැනි බිරිඳ වූ ලිස් සමඟින් වෙසෙන්නේය.


ලෝක දේශපාලනයට තවමත් නවමු රාජ්‍ය නායකයෙකු වන මිගුවෙල්ට කියුබාවට යහපතක් ඉටු කිරීමට ජ්‍යෙෂ්ඨ නායකත්වයේ ආශිර්වාදය මෙන්ම ජනතා ආශිර්වාදය ලබන 2021 වසර වෙනතුරු ලැබෙනු ඇත.

 

 

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

කියුබාවේ නව සුක්කානම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 573 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17406 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site