IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


එළියෙන් කොළ ඇතුළෙන් රතු

අතුරු මැතිවරණ පුරාණයෙන්

 

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප) හා ජි. දොන් ඬේවිඞ් (එ.ජා.ප) යන අපේක්‍ෂකයෝ මෙදින නාම යෝජනා පත්‍ර භාර දුන්හ. එ.ජා.ප අපේක්‍ෂක ජී. ඩී. ඬේවිඞ් මහතා 1965 මහා මැතිවරණයේදී අගලවත්ත ආසනයට තරග කරමින් ජාතික දේශපාලනයට පිවිසියෙකු වූ අතර, කොල්වින් ආර්. ද සිල්වා මහතා 1947 පටන් වැල්ලවත්ත - ගල්කිස්ස ආසනයට (1960 මාර්තු සිට දෙහිවල  - ගල්කිස්ස) තරග කර 1947, 1956, 1960 ජූලි මැතිවරණවලදී ජයග්‍රහණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු විය.

ල.ස.ස.ප. නියෝජ්‍ය නායකයා වූ හෙතෙම පක්‍ෂයේ තරුණ සමිති සම්මේලනයේ සභාපතිවරයා ද විය. එවර පළමුවරට අගලවත්ත ආසනයට මාරු වෙන විට 1965 මැතිවරණයට දෙහිවල - ගල්කිස්ස ආසනයට තරග කර, එ.ජා.ප.යේ ඇස්. ද ඇස්. ජයසිංහ (24,652) මහතාට වැඩි ඡන්ද 3289 න් පරාජයට පත්ව සිටියේය. මෙය 1965 මැතිවරණයට පසුව පැවැත් වූ අටවැනි අතුරු මැතිවරණය වූ අතර, ල.ස.ස.ප.ය මුහුණ දුන් පළමු අතුරු මැතිවරණයද විය. 


නාම යෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ජී. ඩී. ඬේවිඞ් මහතා පිළිගැනීමට අමුඩ හැඳ කැති උදළු රැගත් ගොවි මහතුන් පිරිසක් පැමිණ සිටි අයුරු දැක්වෙන දර්ශනීය ඡායාරූපයකින් පසු දින පුවත්පත්වල මුල් පිටුව සැරසී තිබුණි.


අතුරු මැතිවරණය ඉතා තියුණු ස්වරූපයක් ගත්තේය. ජයග්‍රහණය කවර පක්‍ෂයකට හිමි වේදැයි නිශ්චය කිරීමට නොහැකි තරමට සටන උග්‍ර අතට හැරෙමින් පැවතින. ල.ස.ස.ප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ප්‍රමුඛ කණ්ඩායමක්ද සිල්වා මහතා වෙනුවෙන් මැතිවරණ කටයුතු සංවිධානය කළ අතර ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ස්වදේශ ඇමති ඩබ්ලිව්. දහනායක මහතා එම කටයුතු භාරව ක්‍රියා කළේය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාට ශ්‍රී.ල.නි.පයේ ද පූර්ණ සහාය ලැබී තිබුණි. ටී. බී. ඉලංගරත්න, පී. බී. ජී. කළුගල්ල, රොනී ද මැල්, දයා පැස්කුවල් ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කළ ප්‍රධාන කථිකයෝ අතර වූහ. ද සිල්වා මහතා අතුරු මැතිවරණ සමයේ අගලවත්තේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි බවටද වාර්තා පලවිය. මැතිවරණ දිනයේ රාත්‍රී 10.00 පමණ ඡන්ද පත්‍රිකා ගණන් කිරීම ආරම්භ වූ අතර, ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වූයේ පසු දින අළුයම් කාලයේදීය. මැතිවරණ කොමසාරිස් ඊ. ඇෆ්. ඩයස් අබේසිංහ මහතා ප්‍රකාශයට පත් කළ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප- - යතුර) 21,081, ජී. දොන් ඬේවිඞ් (එ.ජා.ප- - අලියා) 20,738, වැඩි ඡන්ද සංඛ්‍යාව: 343, ශ්‍රී.ල.නි.පයේ පූර්ණ සහාය ලබාගෙන වුවද ජයග්‍රහණය ල.ස.ස.පයට සිතූ තරම් පහසු නොවූ බව මෙම ප්‍රතිඵලය තහවුරු කර තිබුණි. 1965 මැතිවරණයේදී ල.ස.ස.ප.ය හිමිකර ගත් ඡන්ද ප්‍රමාණය නො වෙනස්ව පැවතියද එ.ජා.පයේ ඡන්ද පදනම 4854න් ඉහළ ගොස් තිබූ ආකාරය දැකගත හැකිවිය.


මෙම ප්‍රතිඵලය ගැන අදහස් දක්වමින් ඒ මොහොතේ රැස්ව සිටි මාධ්‍යවේදීන් ඉදිරියේ ජයග්‍රාහක කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අතුරු ඡන්දය දිනයේ අගලවත්ත ආසනය “කොමඩු ගෙඩිය” කට උපමා කොට දැක්විය හැකි බවය. ප්‍රචාරක කටයුතු සිදු කළ කාලය තුළ කොළ පාට බබළමින් තිබූ නමුත් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් ඉක්බිති “රතු” පැහැය එළියට දිස්වීම නිසා “ලෙල්ල කොලපාට වුනත් කොමඩු ගෙඩියේ මදය රතුපාට යැයි” සිල්වා මහතා මහත් උද්දාමයෙන් පැවසීය.


අතුරු මැතිවරණයේදී ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර පැය අටක් ගතවීමට මත්තෙන් ජයග්‍රාහී අපේක්‍ෂක කොල්වින් ආර්. ද සිල්වා මහතා කතානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා ඉදිරියේ මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමද වාර්තාගත සිදුවීමක් විය. සාමාන්‍යයෙන් සිදුවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ජයග්‍රාහී අපේක්‍ෂකයාගේ නම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ පසු ඊළඟට මැති සබය රැස්වෙන දිනයකදී දිවුරුම් දීමය. මෙම අතුරු මැතිවරණයෙන්ද, ද සිල්වා මහතා ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමසාරිස් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහ මහතා වෙත දන්වා යවනු ලැබීමෙන් පසු, මෙම දිවුරුම් දීම සිදු වූ බව එකල පුවත්පත් වාර්තා කර තිබුණේය. මෙසේ 1965 මැතිවරණයෙන් පසු වර්ෂ 02 මාස 01 දින 27ක නිහැඩියාවකින් පසු මැති සබයේ අසුන් ගත් ද සිල්වා මහතා 1970 මැතිවරණයේදී ඡන්ද 25,164ද, වැඩි ඡන්ද 5186 ද හිමිකරගෙන දෙවැනි වරටත් අගලවත්ත අසුනට තේරී පත්ව සමගි පෙරමුණු රජය යටතේ වැවිලි කර්මාන්ත ඇමැති පදවියට අමතරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ධූරයද හොබවමින් 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ ගෞරවයද දිනා ගත්තේය. එහෙත්, ඉන් වර්ෂ 07ට පසුව, 1977 මැතිවරණයේදී, දීර්ඝ වූ සිය දේශපාලන ගමනේ දරුණුතම පසුබෑමට ලක්වෙමින් මෙරිල් කාරියවසම් (එ.ජා.ප 27,181) මහතා වෙතින් වැඩි ඡන්ද 11,367ක දැවැන්ත පරාජයක් ලැබීය.

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

එළියෙන් කොළ ඇතුළෙන් රතු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 543 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17302 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site