IMG-LOGO

එක රැයින් රටම කැලඹූ අයවැයක්

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නිදහස් ලංකාවේ දසවැනි මුදල් ඇමැතිවරයා වේ. එතෙක් ප්‍රධාන පක්‍ෂ දෙක වන යූ.ඇන්.පී. ය හා ශ්‍රී.ල.නි.ප. ආණ්ඩු අතර දෝලනය වූ මුදල් අමාත්‍ය ධුරය ලංකා සම සමාජ පක්‍ෂය වෙත පිරිනැමුණේ නොසිතූ විරූ ලෙසිනි.


වැදගත්ම අමාත්‍යධුරයක් වන මෙය ආණ්ඩුවක ආර්ථීක ප්‍රතිපත්ති පෙරට ගෙන යාමේ වගකීම තීරණය වන්නේ මුදල් ඇමැතිගේ ක්‍රියාව අනුවයි. 1947 දී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය දින 19ක් පුරා පැවැත්විණ. ඒ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 20 දක්වාය. අගමැති ඩී. ඇස්. සේනානායක ආණ්ඩුවේ මුදල් අමාත්‍යධුරය හිමි වූයේ ජේ. ආර්. ජයවර්ධනටය. 1948දී පූර්ණ නිදහස අප රටට පිරිනැමූ පසු ද ඩී. ඇස්. ගේ ආණ්ඩුවේ මුදල් භාරවූයේ ජේ. ආර්.ටය. අගමැති ඩී. ඇස්. ගාලු මුවදෝර දී අසුපිටින් වැටී මිය ගියේය. ඔහුගේ පුත් ඩඞ්ලි එම කැබිනට් මණ්ඩලයට රැගෙන අප්‍රේල් 08 වැනිදා දක්වා රට පාලනය කළේය. මහ මැතිවරණය ජයගත් පසුව ඩඞ්ලිගේ මුදල් අමාත්‍යවරයා වූයේ ජේ. ආර්. ය. 


1953 අගෝස්තු 12 දින රටේ මහත් කැලඹීමක් සිදුවිණ. යූ.ඇන්.පී. ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා විසින් සහනාධාර ඉවත් කිරීමට ගත් තීරණය නිසාය. එදා වමේ පක්‍ෂ විසින් හර්තාලයක් දක්වා මෙහෙයවීම නිසා ආණ්ඩුව හමුදාව හා පොලිසිය යොදවා කළ පහරදීම් හා වෙඩි තැබීම් නිමා වූයේ අට දෙනෙකු මරණයට පත්වීමෙනි. ජනතා විරෝධය නිසා අගමැති ඩඞ්ලි ඉල්ලා අස් වූයේ සර් ජෝන් කොතලාවලට අගමැතිකම පවරමිනි. සර් ජෝන් බලයට පැමිණි විගස කළේ ජේ. ආර්. මුදල් ඇමැතිකමින් ඉවත්කර ඔලිවර් ගුණතිලකයන්ට තනතුර දීමය.


ඔලිවර් ගුණතිලකයන් ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය බාර ගැනීමට අස්වීම නිසා මුදල් ඇමැති ධුරය දැරීමට සුදුස්සා වූයේ එම්. ඩී. එච්. ජයවර්ධන මන්ත්‍රීවරයාය.


යූ.ඇන්.පී.යේ අතින් අතට දෝලනය වූ මුදල් අමාත්‍ය ධුරය 56 ශ්‍රී.ල.නි.ප. - ම.එ.පෙ. මහජන ආණ්ඩුව පත්ව අගමැති බණ්ඩාරනායකයන් අතට රාජ්‍ය බලය ලැබූ වහාම ශ්‍රී.ල.නි.ප.යේ ස්ටැන්ලි සොයිසා වෙතට මුදල් ඇමැතිකම භාර කෙරිණ. 


ස්ටැන්ලි සොයිසා යනු බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව චෝදනාවලට ලක් වූ නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසාගේ සොහොයුරෙකි. 1959 සැප්තැම්බර 26 වැනිදා සිදු වූ මෙම ඛේදවාචකය නිසා අගමැති තනතුරට ඩබ්ලිව්. දහනායක පත් වූ අතර තම සොහොයුරාට එල්ල වූ චෝදනා නිසා මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයියා ඉල්ලා අස්විය. එම අමාත්‍ය ධුරයට පත් කෙරුණේ මුස්ලිම් මන්ත්‍රී ඇම්.ඇම්. මුස්තාපාය. 1960 මාර්තු මහ මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායකට යළි අගමැතිකම පැවරුණේ යූ.ඇන්.පී. ය ආසන 50ක් දිනාගෙන ආණ්ඩු බලය ලබා ගැනීම නිසාය. ජේ.ආර්.ට යළිත් මුදල් අමාත්‍ය ධුරයට පත්වීමේ වාසනාව පෑදුණේය. 
දින 30කට සීමාවූ යූ.ඇන්.පී. හවුල් ආණ්ඩුවේ ආයු කාලය නිමාකරමින් වමේ පක්‍ෂ හවුල් කරගෙන සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි 20 වැනිදා මහ මැතිවරණයෙන් බලයට පත් වූවාය. ඇගේ මුදල් අමාත්‍යවරයා වූයේ ශ්‍රී.ල.නි.ප. යේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන්ය. ඔහු ප්‍රබල භූමිකාවක් ආණ්ඩුව තුළ රඟපෑ නමුත් එතෙක් පැවැති හාල් සේරු දෙකක් සතියකට ශත 25 බැගින් නිවසකට ලබාදෙන පිළිවෙත හාල් සේරු භාගයකින් අඩු කිරීමට කළ යෝජනාව නිසා මහත් කැලඹීමක් ඇතිවිය.


ශ්‍රී.ල.නි.ප.යේ ඇතැම් මන්ත්‍රීන්ගේ විරෝධය මැද ෆීලික්ස් අමාත්‍යධුරයෙන් අස්විය. ඡන්ද ගුණ්ඩුවක් ලෙස යූ.ඇන්.පී. ය හාල් සේරු දෙක ලබාදුන් අතර එය සීමා කරන්නට ගිය ෆීලික්ස්ට වූයේ තමන් වරද පිළිගෙන ඇමැති තනතුරින් සමුගන්නටය. 


හිස් වූ තනතුරට සී. පී. ද සිල්වා නම් කෙරිණ. අනතුරුව 1962 දී පී. බී. ජී. කළුගල්ල මහතා ද 1963 දී ටී. බී. ඉලංගරත්න මහතා ද අමාත්‍ය ධුරයට පත් වූහ. 1964 දී ශ්‍රී.ල.නි.ප. ය හා සමසමාජ පක්‍ෂය අතර පැවැති විරසකය එක්තරා ප්‍රමාණයකට සමනය විය. ඔවුන් අතර අන්‍යොන්‍ය සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරුණු අතර සභාග රජයේ මුදල් අමාත්‍යධුරය ප්‍රථමවරට සම සමාජයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට පිරිනැමිණ.


1964 දී ඇන්. ඇම්. තම ආර්ථික ඥානය දස දෙස විහිදුවමින් රට ගොඩ ගන්නට අයවැය සකස් කළේය. ඒ සඳහා ඔහුගේ සමාජවාදී අත්දැකීම්, ලෝක සමාජවාදීන්ගේ උදාහරණ හා ධනේශ්වර උපායන් ගැනද මෙරට නිශ්චල දේපොළ උපයෝගී කරගනිමින් මහ පරිමාණ ව්‍යාපාර කරන විජාතික ධනේශ්වරයන් ඇතුළු ජාතික ධනය සූරාකන්නන් වැටලීම පිළිබඳව ඔහුගේ මනස පරිගණකයක් සේ වැඩ කළේය. 


සාමාජවාදිකයකු හදන අය-වැය කෙසේ වේදෝයි ප්‍රධාන පක්‍ෂ දෙක කුතුහලයෙන් බලා සිටි වෙනත් මුදල් අමාත්‍යවරුන්ට කළාත් මෙන් “දෙන්නම් බැටේ” සම්ප්‍රදායෙන් මිනුම් දඬු මුවහත් කරගෙන සිටි ඔවුන් තුෂ්ණිම්භූත කරමින් ඇන්. ඇම්. ගේ මංගල අයවැය 1964 ජූලි 30 වැනිදා එළිදැක්විණ.


මෙරට නිශ්චල දේපොළ සහිත විජාතික සමාගම්වල ආදායමෙන් 10% ක බද්දක් ද, මැණික් හා රේගු බද්දක් හා පුවත්පත් වෙළෙඳ දැන්වීම් බද්දක් ද පනවා තිබිණ. ඒජන්සි හවුස් පාලනයට ද දේශීය ආදායම් කොමසාරිස්ගේ බලතල වැඩි කිරීම ද රාජ්‍ය සේවක වැටුප් වර්ධනය හා ගොවි, ධීවර, සුළු ව්‍යාපාරික හා සරසවි සිසුන් උදෙසා පහසු ණය දීමට රක්‍ෂණ ක්‍රමයක් ඇතිකිරීම ද යෝජනා අතර විය.


ඇන්. ඇම්. ගෙනා ආකර්ෂණීය අයවැය යෝජනා අතර 1965 වසරට බාලාංශ ළමුන් සඳහා “අතක් බර පොතක්” ශත 25 ට ලබාදීමට යෝජනා කෙරිණ. වඩාත් ආන්දෝලනයට ලක්වූයේ ඇන්. ඇම්. ගෙනා පොල් රා යෝජනාවටය. 


“දුප්පත් ගම්බද මිනිස්සු ජීවත් වෙන්නෙ ගමේ කිතුලත්, පොල් ගහත් මැදගෙන, අපි එයාලට නීති දමන එක වැරදියි. අමානුෂිකයි. මං යෝජනා කරනවා එහෙම ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න කියලා.” 


ඇන්. ඇම්. කතා කළේ පොඩි මිනිහා ගැනය. පොඩි මිනිහාගේ ආදායම් මාර්ග ගැනය. තමා වැනි අයට බලයට පැමිණීමට උපකාර වුණු ගමේ පොඩි මිනිහාට ප්‍රති උපකාර කිරීම මන්ත්‍රීවරයකුගේ වගකීමකි. එහෙත් එතෙක් වෙලා පුල පුලා බලා සිටි ප්‍රතිගාමීහු ඇන්. ඇම්. මත්පැන් ව්‍යාපාරයට අත දෙන්නට යෝජනා කළ බව කියමින් ඔහුට අපහාස උපහාස කරන්නට වූහ. “පෙරේ - රා” යනුවෙන් මාධ්‍යවල පවා ඔහු විවේචනය කර තිබිණ. ඇන්. ඇම්. තමන්ට එන අවලාදවලට සිනාසිසී මුහුණ දුන්නා මිස ඉල්ලා අස්වීම හෝ ප්‍රකෝපකාරී වීම හෝ නොකළේය. 


ඇන්. ඇම්. ගේ යෝජනා නිසා රටේ ගොවි කම්කරු ජනතාවට හා ඔවුන්ගේ දරු පරම්පරාවලට සිදුවූ අභිවෘද්ධිය අද ද ගෞරවයෙන් සමරනු ලබති. ඇඟට දැනෙන, අයවැය යෝජනා ගෙන ඒමේ රුසියකු වූ ඇන්. ඇම්. කතා කළේ පොඩි මිනිහාටය. ආරක්‍ෂා කළේත් සුබ සාධනය කළේත් පොඩි මිනිහාවය. දේශීය ධනපතීන්ගෙන් උදුරා දුප්පතාට සහනාධාර දුන් ඔහු නිෂ්පාදන හා වගා සංග්‍රාමයන්ට ඔවුන් දිරිමත් කළේය. 1965 දී ධනවාදීහු මෙම සමාජවාදී යෝජනාවලියත් සමග ශ්‍රී.ල.නි.ප. - සම සමාජ ආණ්ඩුව නිර්දය ලෙස පෙරළා දැමූහ. 


1965 මාර්තු 22 වැනිදා බලයට පත්වූ යූ.ඇන්.පී. හත් හවුල් ආණ්ඩුවේ මුදල් ඇමැතිකම යූ. බී. වන්නිනායකට පැවරිණ. 


“දෙයක් ඇත්නම් යම් සුදුස්සාටම අයිති විය යුතු” 


මෙම උධෘතය සැබෑකරමින් 1970 දී හත් හවුල් ආණ්ඩුව පෙරළා ශ්‍රී.ල.නි.ප. - සම සමාජ ආණ්ඩුව වඩාත් ශක්ති සම්පන්නව බලයට පැමිණියේය. අගමැතිනි සිරිමාවෝ යටතේ මුදල් අමාත්‍යධුරය යළි ඇන්. ඇම්. ට හිමි විය. 
කලින් අයවැය අත්දැකීම් තුළින් පන්නරය ලැබූ ඇන්. ඇම්. යළි තම යුද ප්‍රකාශ කර සිටියේය. “දිය යටින් ගින්දර ගෙන යාමේ සම්ප්‍රදාය” අනුගමනය කළ ඇන්. ඇම්. සිගරැට් මිල ඉහළ දමන බවට ප්‍රචාරය වන්නට හැරියේය. දුම්කොළ සමාගම්වල සල්ලි බලයෙන් රට නැට වූ යුගයක ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය වී තිබුණේත් විජාතික සිගරැට්ටුවයි. හෙළ සංස්කෘතිය කණපිට හැරෙවූවේද සිගරැට්ටුවයි.

 


අයවැයෙන් සිගරැට් මිල වැඩි කරන බව ආරංචි වූ තොග වෙළෙන්දෝ ඒවා සැඟ වූහ. දිවයිනේ උග්‍ර සිගරැට් හිඟයක් ඇති විය. වැඩි කළ මිලට විකුණා අධික ලාභ ලැබීම ව්‍යාපාරික වෙළෙඳ ප්‍රජාවගේ පැතුම විය. එලෙසම ජනතාවට සොච්චම් වැටුපක් ගෙවා ඔවුන්ගේ දේපොළ හා ශ්‍රමය සූරාගෙන මෙරට බැංකු ගිණුම් පුරවාගත් ධනපතීන් නිසා රටේ දැවැන්ත මුදලක් සැඟවී තිබිණ. අයවැය දින උණුසුම් පුවත් මැවුවේ ඇන්. ඇම්. ගේ අලුත් යෝජනාවය.


“සිගරැට් මිල වහාම ක්‍රියාත්මක වනසේ ශතයකින් අඩු කිරීමට යෝජනා කරමි. මෙතෙක් වලංගු වූ රුපියල් සියයේ හා පනහේ නෝට්ටු අවලංගු කරන්නට යෝජනා කරමි”


මේ ආරංචිය කනවැකෙත්ම ධනපති ව්‍යාපාරික වෙළෙඳ ප්‍රජාවගේ සියලු අරමුණු බිඳ වැටිණ. කෝටි ගණන් පාඩුවක් සැඟවුණු සිගරැට් නිසා ඔවුන්ට දරා ගන්නට විණ. අනිත් පැත්තෙන් එතෙක් සඟවා තිබූ පනහේ සියයේ නෝට්ටු අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් බැංකු අබියස පෝලිම් ගැසුණහ. 


ඇන්. ඇම්. ගේ උපක්‍රමය වූයේ ධනපතින් සඟවා තිබූ ජාතික ධනය එළියට ගැනීමය. එය සර්වප්‍රකාරයෙන්ම ඉටුවුවත් වඩාත් භීතියට හා අපහසුතාවට පත්වූයේ දුප්පත් හා මධ්‍යම පන්තික ජනතාවය. ඔවුන් දහඩිය මහන්සියෙන් උපයා සපයාගෙන බැංකුවලට පවා නොදමා සඟවා පරිස්සම් කළ මුදල් නෝට්ටු මෙසේ ප්‍රසිද්ධියේ ගෙන ඒමට සිදුවීම ගැන දුරදිග නොබැලූ ඔවුහු ආණ්ඩුවට බැණ වැදුණහ. හඬා වැටුණහ.


ඇතැම් ප්‍රදේශවල පෙරදින රැයෙහි සිට කොට්ට, පැදුරු, ඇතිරිලි, ගවොම්, චීත්ත සහ සරොන් රැගෙන පැමිණ පසුදා බැංකුව අරිනතුරු නිදා සිටි ජනතාවගෙන් බැංකු අංගණ පිරී තිබිණ. වරෙකට අලුත් නෝට්ටු නිකුත් වූයේ රුපියල් 300ක වටිනාකමට පමණි. එනිසා ජනතාව හැසිරවීමට බැංකු නිලධාරීන්ට අපහසු වීම නිසා පොලිසිය හා හමුදාව යොදන්නට සිදුවූ අවස්ථා ද මාධ්‍යයෙන් දුටිමු. 


ඇතැම් ව්‍යාපාරිකයෝ දුප්පත් මිනිසුන් ගෙන්වා ඔවුන්ට රුපියල් 300ක පරණ නෝට්ටු දී 10% ක කොමිස් පිට ඔවුන් මුදල් මාරු කිරීමට බැංකුවට යැවූහ. එය අමතර ආදායම් මාර්ගයක් නිසා ජනතාව බොහෝ සතුටට පත්වූ බව පෙනුණි. 


යූ.ඇන්.පී. උපක්‍රමවලට හා ධනපතීන්ගේ උගුල්වලට අසු නොවී ශ්‍රී.ල.නි.ප. යේ නායකයන් පවා මවිත කරමින් තම පරිණත බව විදහා දැක්වූ සම සමාජ නායක ඇන්. ඇම්. ගේ නම රන් අකුරින් ඉතිහාසගතවනු ඇත.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

එක රැයින් රටම කැලඹූ අයවැයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 673 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site