IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඌවෙන් ලැබුණ සංඥාව

 

ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂයට ඉතාම තීරණාත්මක මැතිවරණයක් වුණා. මොකද ඒක තමයි ජනාධිපතිවරණයට කලින් තිබුණු අවසාන මැතිවරණය. ඒක අපිට ජනාධිපතිවරණයට පෙර ජනමත විමසුමක් විදියට තමයි වැදගත් වුණේ. ඒක නිසා අපිට ඕනෑ වුණා කොහොම හරි ඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න. 


ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් එක්ක මහ ඇමති අපේක්‍ෂකත්වයට දාන්නෙ කවුද, තිස්ස ප්‍රශ්නය තමයි ආවේ. කවුරුත් බලාගෙන හිටියේ මේ සඳහා කවුරු ඉදිරිපත් වේවිද කියලා. විවිධ නම් යෝජනා වුණා. හරීන් ප්‍රනාන්දු, රංජිත් මද්දුමබණ්ඩාර වගේ නම් ඒ අතර කියවුණා. මේ අතරෙ දවසක මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නවලට උත්තර දෙන අතරෙ හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරල තිබුණෙ පක්‍ෂයේ ඉල්ලීමක් ආවොත් එයා මහ ඇමතිකමට තරඟ කරන්න සූදානම් කියලා. ඒකට විශාල ප්‍රචාරයක් ලැබුණා. ඒ කතාවත් එක්ක ඌව පළාතේ පාක්‍ෂිකයොත් උද්දාමයට පත් වෙච්ච බවක් පෙනුණා. ඒ අය හිතුවෙ හරීන් ආවොත් දිනන්නම පුළුවන් කියලා. අපිටත් හිතුණෙ හරීන් වගේ කෙනෙක් මේ සඳහා ඉදිරිපත් කළොත් වෙනසක් කරගන්න පුළුවන් වෙයි කියලා. 


මේ කතාව දිගින් දිගටම යද්දී හරීන් මහ ඇමති අපේක්‍ෂකයා බවට නිකම්ම පත්වෙලා වගේ තිබුණේ. හරිනුත් මාධ්‍යයට එහෙම නිතරම ඒකට කැමැත්ත පළවෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළා. පක්‍ෂය මේ ගැන සාකච්ඡා කරන්න රැස්වුණු වෙලාවෙ මම රනිල් වික්‍රමසිංහට කිව්වා හරීන් ප්‍රනාන්දු සූදානමක් තියෙනවා මහ ඇමතිකමට තරඟ කරන්න. ඒ නිසා එයා දාමු කියලා. රනිලුත් ඒකට කැමති වුණා. මේ සාකච්ඡාවට හරීන් සහභාගී වුණේ නෑ. ඒ නිසා මම හරීන්ට කතා කරලා මේ ගැන කතා කළා. ඒ වෙලාවේ හරීන් කිව්වා පාර්ලිමේන්තුවෙනුත් අයින් වෙලා එන නිසා ඉල්ලීම් කීපයක් තියෙනවා ඒවට එකඟ වෙනවද කියලා. හරීන් කිව්වෙ පක්‍ෂයේ අර්බුද එක්ක ජයග්‍රහණය ගැන අවදානමක් තියෙන නිසා සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම ඌවෙ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගී විය යුතුයි කියලා. ඒ ගැන සහතික වෙන්න කියලා. හරීන් ඉල්ලුවා. අනික් ඉල්ලීම විදියට හරින් කිව්වෙ මහ ඇමතිකමට තරඟ කරලා ජයග්‍රහණය කරන්න බැරි වුණොත් ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට අරගන්න අවස්ථාවක් ඕනෑ කියලා. මේ කාරණා දෙකට අමතරව තවත් පුංචි කාරණා කීපයක් හරීන් ඉල්ලුවා. 


හරීන්ගේ කතාව අහගෙන ඉඳලා මම කිව්වා “මම හරීන්ගේ ඉල්ලීම් දෙකම ඉටුකරන්න පොරොන්දු වෙන්නම්. බය නැතුව මහ ඇමතිකමට ඉදිරිපත් වෙන්න” කියලා. හරීන් ඒකට එකඟ වුණා. මේ විස්තරය මම රනිල් වික්‍රමසිංහට කිව්වා. සජිත් ගේන වැඬේ මම කරන්නම්. ජාතික ලැයිස්තු ඉල්ලීම ගැන හරීන්ට පොරොන්දුවක් දෙන්න කියලා මම රනිල්ට කිව්වා. ඒකට රනිල් කැමති වුණේ නෑ. එයා කිව්වෙ ජාතික ලැයිස්තුවෙන් අයින් වෙන්න කියල කාටවත් කියන්න බෑ කියලා. හරීන් මහ ඇමතිකමට තරඟ කරලා පැරදුණොත් ඊළඟ මහ මැතිවරණයට තරඟ කරලා පාර්ලිමේන්තුවට එන්න කියන්න කියලා තමයි රනිල් කිව්වෙ. රනිල් කිසිම බුරුලක් හරීන්ට දුන්නෙ නෑ. මම කිව්වා ඔය විදයට දැඩි තීරණයක ඉඳල නම් පක්‍ෂය ගොඩ ගන්න බෑ. මිනිහෙක් ඒ වගේ කැපවීමක් කරන්න සූදානම් වෙද්දී අපිත් එයාට ධෛර්යක් දෙන්න ඕනෑ කියලා. මම කිව්වා ඔබතුමාට ඒක කියන්න බැරිනම් මම ඒ ගැන හරීන්ට පොරොන්දු වෙනවා කියලා. “ඕන දෙයක් කරගන්න” රනිල් කතාව ඉවර කළා. මම අනිත් පැත්තට හරීන්ට අරගෙන කිව්වා “හරීන්ගෙ ඉල්ලීම් දෙක ගැනම නායකතුමා එක්ක කතා කළා. කිසි ප්‍රශ්නයක් නෑ. බය නැතුව මහ ඇමතිකමට තරග කරමු” කියලා. 


හරීන් ඊළඟට කිව්වා එයා පාර්ලිමේන්තුවෙන් අස්වෙලා යනවට එයාගෙ තාත්තා ටිකක් කැමති නෑ පුළුවන් නම් තාත්තා එක්කත් මේ ගැන කතා කරන්න කියලා. මම කරු ජයසූරියට කතා කරලා කිව්වා හරීන්ගෙ තාත්තා එක්ක මේ ගැන කතා කරලා මේ ප්‍රශ්නයට මැදිහත්වීමක් කරන්න කියලා. මොකද කරු ජයසූරිය හරීන්ගෙ තාත්තගෙ හොඳ හිතවතෙක්. ඒ වැඬේ කරු ජයසූරිය බාරගත්තා. ඒ ප්‍රශ්නයත් ඒ විදියට විසඳ ගත්තා. 


සජිත් ප්‍රේමදාසත් ඇවිත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට සහයෝගය දුන්නා. ඒ නිසා මොණරාගල, බදුල්ල දිස්ත්‍රික්ක දෙකේම පාක්‍ෂිකයෝ අතරෙ යළිත් ප්‍රබෝධයක් ඇති වෙන්න පටන් ගත්තා. මන්ත්‍රීවරු කවුරුත් ප්‍රචාරක වැඩට බැහැල වැඩ කළා. මංගල සමරවීර වගේ සමහරු නම් යම් යම් ප්‍රශ්නත් ඇති කර ගත්තා. කොහොම හරි ඒවත් බේරගෙන අපි ඡන්දෙ කළා. ඡන්ද ප්‍රතිඵලයට අනුව අපිට දින්නන බැරි වුණත් ඉතා හොඳ තරඟයක් දෙන්න අපිට පුළුවන් වුණා. ඌවෙ ඡන්දය යූ.එන්.පී. යේ ගමන ජයග්‍රාහී අතකට හරවන්න උපකාරී වුණා කියන එක කවුරුත් පිළිගන්න දෙයක්. 

 


තව කොටසක් ලබන සතියට.


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : ශාන්ත රත්නායක



අදහස් (0)

ඌවෙන් ලැබුණ සංඥාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site