IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සාර්ථක මිනිසකු පිටුපස සිටි නිහඬ ගැහැනිය

 

තමන්ට කළ කොහැකිව ඇත්තේ, ස්ත්‍රී - පුරුෂ ලිංග විපර්යාසය පමණක් බවට, ප්‍රථම විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් පසු, ඇසූවන් මවිත කරවන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජේ. ආර්., මුළු රටම උඩුයටිකුරු කළේ, විරුද්ධවාදීන්ගේ තර්ජනාංගුලිය, මැටි ගුලියක් තරමටවත් ගණන් නොගෙන, සිය පාර්ලිමේන්තු හයෙන් පහේ බලය පෙන්වමිනි.


1906දී උපත ලැබ, 1932දී නීතිඥයෙකු වී, 1935දී විවාහවී, 1936දී තාත්තා කෙනෙකු වූ ජේ. ආර්, නීතිඥ වෘත්තියෙන් පලාගොස්, ක්‍රිියාකාරී දේශපාලනයට එළඹියේ, 1938දීය.


එතැන් සිට තම ජීවිත ගමනේදී සුවපහසු පලස් මතින් මෙන්ම, කටු ලැහැබ තුළින්, මඩගොහොරු මතින්, වරෙක සිසිල්වද, වරෙක ගිනියම්වද, දේශපාලන මාවතේ ගමනේ යෙදුණු ඔහු, දීර්ඝකාලීන මහජන සේවයෙන් පසු, විශ්‍රාම සුවයෙන් සැහැල්ලු ජීවිතයක් ගත කරද්දී එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ, “තමා මේ වගේ මනුෂ්‍යයෙකු වී ඇත්තේ, තම ආදරණීය බිරිඳ එලීනාගේ මඟපෙන්වීම යටතේ බවත්, ඒ තරමටම ඇය තමාට උපදේශිකාවක් වී සිටි බවත්”ය.


එලීනා නිසා තමා මනමාලයෙක් වූ හැටිද විස්තර කළ ජේ. ආර්, මුලින්ම ඇය බැලීමට ගිය රසවත් පුවතද හෙළිකර ඇත්තේ, ලබමින් සිටි විවේකයට, තවත් මානසික සුවයක් එක් කරගනිමිනි.


දකුණේ සුප්‍රසිද්ධ ප්‍රභූ පවුලක කුලවන්ත දියණියක වූ එලීනා රූපසිංහ, තම නිවසේම හැදුණු වැඩුණු, ඉතිහාස ගත එක්ටැම් ගෙයි තවත් උන්මාදචිත්‍රාවක් වූවාය. ඥාති නිවසකට හෝ වෙනත් විශේෂිත ස්ථානයකට දෙමාපියන් සමඟ විනා, තනිපංගලමේ හෝ වෙනත් ඥතියෙකු සමඟවත් බැහැරට නොගොස් ඇති ඇය, සිප්සතර හැදෑරීමටවත් පාසලකට නොගොස් ඇති අතර, නිවසට ගෙන්වා ගත් ගුරුවරුන් මාර්ගයෙන් ගණිතය ඇතුළු අවශ්‍ය විෂයයන් මැනවින් හදාරා ඇත.


තරුණ නීතිඥයෙකු වූ ජුනියස් රිචඞ් ජයවර්ධන කල වයස් සම්පූර්ණ වෙද්දී, ඔහුගේ දෙමාපියන් විසින් පෙළවහක් කරදීමට කතිකා කරගෙන, රූපසිංහ යුවළගේ රූමත් දියණිය බැලීමට ගියේ, චාරිත්‍රාණුකූලව නැකැත් වේලාවන් අනුවය.


“මගේ දෙමාපියන් මාද කැටුව ඇගේ නිවසට ගොස්, පවුල් දෙකේම අය තම පරම්පරාවන් ගැන පුරසාරම් දොඩද්දී, ඒ ගැන මගේ උනන්දුවක් වුණේ නෑ. මට අවශ්‍යව තිබුණේ මගේ අනාගත සහකාරියගේ ලජ්ජාශීලී බවත් ඇගේ රූපයත් දැක බලා ගන්නයි. බෞද්ධයන් වශයෙන් අපි විශ්වාස කරන සංසාර ගමන අනුව, ඇය හා මා අත්වැල් බැඳගෙන ඒමකැයි, මට සිතුණා. එවැනිම හැඟීමක් එලීනාටද ඇති වූ බව තමාගේ දයාබර බිරිඳ වීමෙන් පසු තමාට පැවසුවා යැයිද ජේ. ආර්. ප්‍රකාශ කර තිබිණ.


තරුණ ජුනියස් රිචඞ් ජයවර්ධන හා එලීනා රූපසිංහ තරුණියගේ සරණ මංගල්‍යය පැවැත්වුණේ, ජේ. ආර්ගේ නිවසේදීය. විශේෂාංග රැසකින් සමන්විත වූ සුබ නැකැත් මුල් කරගෙන, හෙළ සිරිත් ප්‍රකාරව, තැනූ අලංකාර මංගල පෝරුව නිම කරන ලද්දේ සුප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් විසින්ය. එම මංගල පෝරුව දැනටත් කැලණි විහාරයේ තැන්පත්ව ඇත.


ජේ.  ආර්ගේ දෛනික ජීවන රටාවද එක හා සමානව ගලා ගොස් ඇත. තනතුරට අදාළ බැරූරුම් ජීවිතයක් ගත කළ ඔහු නින්දට යනවිට තරමක් රෑ බොවන හෙයින් පසුදින නින්දෙන් අවදිවන්නේ උදේ 8ට පමණය. මුහුණ කට සෝදා පිරිසුදුවීමෙන් පසු, උදේ තේ පානය සඳහා වාඩිවන ඔහු, පැයක් පමණ එහි ගත කරන අතරවාරයේ සැමියාගේ ඕනෑ එපාකම් ආදිය සපුරාලමින් බිරිඳ එලීනාද අසල වාඩිගෙන සිටින්නේ, සැබෑ ස්වාමි භක්තියකිනි. උදේ ආහාරය සඳහා ජේ. ආර්. වැඩිපුර අනුභව කරන්නේ පලතුරුය. කෑම මේසයේ වෙනත් කෑම වර්ග පුරවා ඇතත් ඒවා අනිකුත් අය සඳහාය.


තනිවම කෑම මේසයට වාඩිවන සිරිතක් ජේ. ආර් ළඟ නැත. බොහෝවිට මුනුබුරන් හෝ, මුණගැසීමට පැමිණි හිතවත් කීපදෙනෙකු ඔහු සමඟ සිටියහ.


මුලින්ම පුවත්පත් කියවා ලබාගත් ආරංචි තොරතුරු කතා බහට විෂය වන අතර ඒ පිළිබඳව කෙරෙන විවේචන හා හුවමාරු වන අදහස් සඳහා පැයකට නොඅඩු කාලයක් තේ මේසයේ රැඳී සිටීමට මිඩංගුවේ.


නිවසේ සිටියදී ඔහු දිවා ආහාරය ගත්තේත් බිරිය හා මුනුබුරන් සමග එකටය. ඔහු දිවා ආහාරයට ද බත් මුසුකර නොගන්නා අතර, තම්බාගත් එළවළු කිහිපයක් හා මාළු පෙත්තක් පමණක් ආහාර වශයෙන් ගනී.


දිවා ආහාරය සඳහා ද පැයක් පමණ ගත කරන ඔහු පසුව පැයක විවේකයක් ලබා පොතක් ගෙන කියවයි. ඔහුගේ බිරිඳ ද අසලින් හිඳ පොතක් කියවීමේ යෙදී ඇත. ජේ. ආර්. එලීනාව හඳුන්වා ඇත්තේ බුද්ධිමත් බිරිඳක් ලෙසටය. ඔහුගේ ඇඳුම් පැලඳුම් පවා පිළියෙල කරන්නෙත් සූදානම් කර දෙන්නෙත් ඇය විසින්ය. පොත් පත් කියවීමට මහත් රුචියක් දක්වන ඇය, ඉතිහාස පොත් කියවීමට මහත් උනන්දුවක් දක්වා ඇත.


ජේ. ආර්. ප්‍රතිකාර ගැනීම සඳහා එහෙමට රෝහලකට ගොස් නැතුවා සේය. මස් මාංශ කෑමට එතරම් ප්‍රිය බවක් නොදක්වන ජේ. ආර්. යුවළ හරක් මස් හා ඌරු මස් කෑමෙන් වැළකී සිටියේ කාලයක සිටය. නිරෝගී ජීවිතයක ඇති වටිනාකම තේරුම් ගෙන සිටි ඔවුන් වයස් ගතවීම ලෙඩක නිධානය යැයි නොසිතා, නිතරම සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා සුදුසු දිවිපෙවෙතක් ගත කර ඇත. දෛනිකව ගනු ලැබූ කෑම වට්ටෝරුවද සමන්විත වී ඇත්තේ, නිරෝගී කයක් ඇතිවන අන්දමටය.


මේ අනුව ජේ. ආර්ගේ කෑම සියල්ල පිළියෙල වන්නේ බිරිඳ එලීනාගේ සුපරික්ෂාව යටතේය. තෙල් හෝ පොල් කිරි වඩාත් යෙදූ ආහාර මේ නිවසේ පිළියෙළ වූයේ, අනිකුත් අය සඳහාය. එයද සෞඛ්‍යයට අහිතකරව බලපාන ලෙස නොවේ. කෑමෙන් පසු ඉඳහිට ප්‍රියමනාප චොකලට් කෑල්ලක් රස විඳීමේ සිරිතක් ඔහු වෙත තිබිණ. නිතරම පලතුරුවලින් හා එළවළුවලින් සමන්විත ආහාර ගැනීම ශරීරය සැහැල්ලුවට තබා ගැනීමට බෙහෙවින් උපකාර වන බව ඔවුහු මුලසිටම සිතූහ.


තමාට දාව පුතෙකු ඇතත් දුවක නොමැති වීම ගැන සෑහෙන වේදනාවකින් පසුවූ ජේ. ආර්. අඩුම වශයෙන් මිනිපිරියකගේ සුරතල් බැලීමටවත් වාසනාවක් නොලැබීම ගැනද දුක් වූයේ තම බිරිඳ එලීනා හා සමසේ බෙදා ගනිමිනි. නාමික බොදුනුවකු නොවූ ජේ. ආර්. බෞද්ධ දර්ශනය පිළිබඳව ලියැවුණු පොත් පත් පරිශීලනය කර ලබා ගත් දැනුම ඉතා ඉහළය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, ලොවේ තනිවූ ජපානයේ ඉරණම තම අතට ගනිමින්, බුදුන්වහන්සේ දෙසූ වෛරයෙන් වෛරය නොසන් සිඳේ යන උතුම් බුද්ධ දේශනය උපයෝගී කරගනිමින් ලෝක බලවතුන්ගේ ඇස් පාදා, ජපානයට නිදහස ලබා දුන්නෙත්, තමා උගත් බුදු දහම අනුව යමිනි.
පුනරුත්පත්තිය විශ්වාස කරන ජේ. ආර්. මෙය තමාගේ අවසාන උත්පත්තිය බවත් නිර්වාණය ලබා ගැනීම සඳහා සතිපට්ඨාන භාවනාව කරමින් සිටින බවත් සිරුරේ දිරාපත්වීම මරණය සිහි නුවණින් දැක බලා ගැනීමෙන් එය සාක්ෂාත් කරගැනීමට හැකි බවත් පවසා ඇත.


භාරතයේ අද්විතීය නායක මහත්මා ගාන්ධි තුමන් අගය කර ඇති ජේ. ආර්. ජයවර්ධන සත්‍යය නම් දෙවියාය යන එතුමන්ගේ මතය මත තම ජීවිතය හැඩගස්වා ගත් බවත් ප්‍රකාශ කර ඇත. පාලන කටයුතුවලදී දරදඬු පෙනුමක් දෘශ්‍යමාන බව පෙනුනත් බුදු දහමෙන් ආභාසය ලත් ජේ. ආර්. සාමාන්‍ය දිවි පෙවෙතදී, කාහටත් ළංවිය හැකි නායකයෙකු විය.

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමර



අදහස් (2)

සාර්ථක මිනිසකු පිටුපස සිටි නිහඬ ගැහැනිය

දිලුම් Wednesday, 31 May 2017 08:24 AM

දියවන්නාවේ දැන් ඉන්න ගොන් රැලට මේවගේ මිනිස්සු ගැන පංතියක් කරල රාජ්‍ය පාලනය ගැන දැනුමක් දෙන්න වැඩ පිලිවෙලක් හදන්න බැරිද කාටවත්

:       109       210

sanjeewa Saturday, 03 June 2017 07:34 AM

දිලුම් මන් හිතන්නේ ඔයා ඉපදුනේ 1990 වෙන් පස්සේ වෙන්න ඇති.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site